අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2018-09-04

    සැප්තැම්බර් 05, 2018

    අමාත්‍ය මණ්ඩල තීරණ- 2018-09-04

    නේපාලයේ ශ්‍රී ලංකා මහා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම
     
    - ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවූ නේපාලයේ ලුම්බිණි පූජාභූමියට යාබඳව පිහිටි ශ්‍රී ලංකා මහා විහාරය බෞද්ධ වන්දනාකරුවන්ගේ වන්දනාවට පාත්‍ර වූ පූජා භූමියකි. එම පූජා භූමිය ථෙරවාදී බුදු දහම මනාව විහිදා පෙන්වන සිද්ධස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ අරමුණින් එහි තවදුරටත් සිදු කළ යුතු අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් අවශ්‍යවන ප්‍රතිපාදන සලසා දීම පිණිස බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බස් සහ දුම්රිය සඳහා භාවිත කිරීමට හැකි පෙර ගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීම
     
    - ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා නවීකරණය සහ මගීන්ගේ පහසුව පිණිස පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමයක් යටතේ විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අවශ්‍ය වන ප්‍රමිතිගත පොදු කාඩ් පත් ව්‍යාපෘති රාමුවක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් පිහිටුවීම
     
    - කන්කසන්තුරේ සිමෙන්ති කම්හල පිහිටා තිබූ අක්කර 100ක භූමිය යොදා ගනිමින් එම පළාත්වල කුඩා කර්මාන්ත සංවර්ධනය කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව එම භූමිය කුඩා පරිමාණ ව්‍යවසායකයින් සඳහා කර්මාන්ත කලාපයක් ලෙස වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 998ක පමණ ආයෝජනයක් යටතේ, කර්මාන්ත සඳහා අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව සංවර්ධනය කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාපුරම් සමුපකාර ගම්මාන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
     
    - මන්නාරම දිස්ත්‍රික්කයේ තාරාපුරම් සමුපකාර ගම්මාන වැඩසටහන යටතේ සිදු කරනු ලබන සංවර්ධන වැඩසටහන් සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන භාවිත කරමින් දැනට ඉදි කෙ‍ෙරමින් පවතින බහු කාර්ය ගොඩනැඟිල්ලේ ඊළඟ අදියර වශයෙන් සම්මේලන මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධනය කිරීම
     
    - කාලීන ප්‍රවණතා සහ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් 2007 අංක 7 දරන සමාගම් පනත සංශෝධන කිරීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව, ලෝක බැංකුවේ ව්‍යාපාර පවත්වාගෙන යාමේ පහසුව පිළිබඳ ශ්‍රේණිගත කිරීම් දර්ශකයේ ඉහළ ශ්‍රේණිගත කිරීමක් ළඟා කරගැනීමට හේතු වන පරිදි, අලුත් සමාගමක් සංස්ථාගත කිරීම පිළිබඳ පොදු මහජනතාවට නිවේදනය කිරීම සඳහා රෙජිස්ට්‍රාර්වරයා වෙත හැකියාව ලබා දීම සහ සමාගමක නාමය වෙනස් කිරීම සඳහා එම සමාගම වෙත විධාන කිරීමට සමාගම් රෙජිස්ට්‍රාර්වරයාට හැකියාව ලබා දීම පිණිස මෙම පනතේ 5,9 සහ 10 යන වගන්ති සඳහා සිදු කරනු ලැබ ඇති සංශෝධන ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
     
    - කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මේ වන විට පවත්වා ගෙන යන කුලී ගොඩනැඟිල්ල වෙනුවට ස්ථිර ගොඩනැඟිලි පහසුකම් ලබා දීමට හැකි වනු පිණිස එම කාර්යාලය කොත්මලේ නව නගරයේ හෙක්ටයාර 0.0452ක ඉඩම් කොටසක පිහිටි පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කර එහි ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අවශ්‍යවන අරමුදල් වෙන් කරගැනීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිලි පහසුකම් ලබා දීම
     
    - කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලය මේ වන විට පවත්වා ගෙන යන කුලී ගොඩනැඟිල්ල වෙනුවට ස්ථිර ගොඩනැඟිලි පහසුකම් ලබා දීමට හැකි වනු පිණිස එම කාර්යාලය කොත්මලේ නව නගරයේ හෙක්ටයාර 0.0452ක ඉඩම් කොටසක පිහිටි පැරණි ගොඩනැඟිල්ලක් ප්‍රතිසංස්කරණය කර එහි ස්ථාපිත කිරීමටත් ඒ සඳහා අවශ්‍යවන අරමුදල් වෙන් කරගැනීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම
     
    - 1993 අංක 52 දරන තේ පර්යේෂණ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය දෙනු ලැබ ඇත. ඒ අනුව, පාරිසරික ආරක්ෂක පියවර ඇතුළත් කිරීමේ මණ්ඩලයේ කර්තව්‍ය පුළුල් කිරීම හා පර්යේෂණ ප්‍රතිඵල විවිධ පාර්ශ්ව වෙත නිකුත් කිරීම පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන ඇතුළත් කිරීම, තේ පර්යේෂණ මණ්ඩල පනත හා වෙනත් අදාළ නීති අතර ඇති අනනුකූලතාව වැළැක්වීම සඳහා විධිවිධාන සැලසීම සහ තේ පර්යේෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම පිණිස වූ සංශෝධන ඇතුළත් කරමින් සකස් කර ඇති කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    යාපනය අර්ධද්වීපයේ ජනතාවට පානීය ජලය සැපයීම
     
    - වඩමාරච්චි කලපුවෙහි ජල සම්පත යොදා ගනිමින් යාපනය අර්ධද්වීපයේ වෙසෙන ජනතාව වෙත පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා යෝජිත ව්‍යාපෘතිය පිළිබඳ සිදු කරනු ලැබ ඇති ශක්‍යතා අධ්‍යනය අනුව රුපියල් මිලියන 2,000ක ආයෝජනයක් සහිතව පානීය ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ආපදා අවම කිරීමේ පියවර මඟින් නාය යාම් අවදානම අඩු කිරීම
     
    - දේශගුණික විපර්යාස නිසා ඇති වන අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නාය යාම් ඇති විය හැකි ස්ථාන සහ අස්ථාවර බෑවුම් හඳුනා ගෙන ඒවා මඟින් විය හැකි ආපදා අවම කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 104ක් පමණ ආයෝජනයක් සහිතව ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය අරමුදල් සහාය ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අරමුදල් මඟින් සලසා ගැනීමටත් වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනතෙහි විධිවිධාන සංශෝධන කිරීම
     
     
    - ශ්‍රී ලංකාව 1988 එක්සත් ජාතීන්ගේ මාදක සහ මනෝවර්තක ද්‍රව්‍ය ජාවාරමට එරෙහි සම්මුතියට එළඹී ඇති අතර, එම පනතින් බැඳියාවකට ලක්ව ඇති වගකීම ඉටු කිරීම පිණිස 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත සම්මත කරනු ලැබ තිබේ. එසේ වුවද, මෙම ද්‍රව්‍ය නීති විරෝධීව ජාවාරම හා භාවිතය වැළැක්වීම දේශීයව හා ජාත්‍යන්තරව දැඩි අභියෝගයක්ව පවතියි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ශක්තිමත් ලෙස මුහුණ දීමට හැකි නීති පද්ධතියක් ස්ථාපිත කිරීම පිණිස 2008 අංක 1 දරන මාදක ඖෂධ සහ මනෝවර්තක නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට එරෙහි සම්මුති පනත සංශෝධනය කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    සංවිධානාත්මක අපරාධ වැළැක්වීම පිළිබඳ දකුණු ආසියානු කලාපීය බුද්ධිමය තොරතුරු හුවමාරු හා සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම
     
     
    - එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාංශයේ දකුණු ආසියානු කලාපීය කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 'දකුණු ආසියානු මත්ද්‍රව්‍ය පිළිබඳ නීතිය බලාත්මක කිරීමේ හැකියාව ශක්තිමත් කිරීම' පිළිබඳ ව්‍යාපෘතියේ සම්බන්ධීකාරක මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව මෙම මධ්‍යස්ථානයේ සාමාජික රටවල් වන ඉන්දියාව, නේපාලය, මාලදිවයින, බංග්ලාදේශය, භූතානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    භූගෝලීය නාම ප්‍රමිතිකරණය සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දීම
     
    - ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂාවන් වන සිංහල භාෂාව හා දෙමළ භාෂාව රෝමානු නොවන අක්ෂර මාලාවලින් සමන්විත වේ. සිංහල හා දෙමළ නම්වලින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ ගම්, නගර, ගංඟා ආදී භූගෝලීය නාම ඉංග්‍රීසි අක්ෂවරවලින් ලිවීමේදී නිවැරදි සිංහල/දෙමළ උච්චාරණය ඒ අයුරින්ම සටහන් නොවන බැවින් නිවැරදි උච්චාරණය සඳහන් වන පරිදි ප්‍රමිතිකරණය කරන ලද ක්‍රමවේදයකට අනුව ඉංග්‍රීසි අක්ෂරවලින් ලිවීම රෝමානුකරණ ක්‍රමවේදය ලෙස හැඳින්වේ. මේ ක්‍රමය දැනටමත් දෙමළ භාෂාවෙන් වූ භූගෝලීය නාම ලිවීම සඳහා යොදා ගැනේ. සිංහල භාෂාවෙන් භූගෝලීය නාම ලිවීමේදී එම නම් අන්තර්ජාතික වශයෙන්ද භාවිත කිරීමටද හැකි වන පරිදි රෝමානුකරණ ක්‍රමවේදය භාවිතාකර ලිවීම පිණිසත් එම රෝමානුකරණ ක්‍රමවේදය සිංහල භාෂාව සඳහා පිළිගත් රෝමානුකරණ ක්‍රමවේදය ලෙස එක්සත් ජාතීන්ගේ ප්‍රමිතිකරණය පිළිබඳ සමුළුව වෙත යෝජනා කිරීමටත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් විශෝධනය කිරීමේ ව්‍යාපෘතිය
     
    - මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිකරුවන් විශෝධනය මඟින් මත්ද්‍රව්‍යවලින් මුදවා ගෙන ඔවුන්ගේ ආර්ථික තත්ත්වය ශක්තිමත් කිරීමට ස්වයං රැකියා සඳහා යොමු කිරීමේ නියමු ව්‍යාපෘතියක් වයඹ පළාත තුළ ක්‍රියාත්මක කරනු ලැබ ඇත. එම නියමු වැඩසටහනේ සාර්ථකත්වය මත මෙම ව්‍යාපෘතිය 2019 වසරේ සිට වයඹ, දකුණ, සබරගමුව හා නැ‍ඟෙනහිර පළාත්වලද ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සංචාරක ප්‍රවර්ධනය
     
    - ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංවර්ධිත රටවලින් ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් ආකර්ශණය කරගැනීමටත්, ඔවුන් වැඩි දින ප්‍රමාණයක් රටතුළ රඳවා ගැනීමටත්, එම සංචාරකයින් අතර ශ්‍රි ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ගෝලීය මට්ටමින් සිදු කිරීමට රජය සැලසුම් කර තිබේ. එම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය විසින් අදාළ ආයතනවල නියෝජිතයන්ගෙන්ද සමන්විත කමිටුවල නිර්දේශ පරිදි සිදු කිරීම‍ පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සංචාරක ප්‍රවර්ධනය සඳහා වන ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන
     
     
    - එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ඉන්දියාව සහ චීනය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය සංචාරක මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. එම වැඩසටහන යටතේ ඉන්දියාව හා චීනය සඳහා වන ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස වන කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි පිළිවෙලින් හාවාස් මීඩියා ඉන්දියා පුද්ගලික සමාගම වෙත සහ අයොනික් මීඩියා ආයතනය වෙත පිරිනැමීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
     
    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා නව ටයර් කට්ටල සැපයීම සහ බෙදාහැරීම
     
     
    - ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා අවශ්‍ය විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් ටයර් කට්ටල මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,124.14ක මුදලකට, සිමාසහිත සියැට් කැලණි ඉන්ටර්නැෂනල් ටයර්ස් පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
    ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටු පිහිටුවීම
     
     
    - සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ප්‍රසම්පාදන තීරණ ගැනීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිණිස රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, අතිරේක ලේකම්වරුන්, ප්‍රධාන මූල්‍ය නිලධාරින් වැනි ජ්‍යෙෂ්ඨ මට්ටමේ නිලධාරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුවල සාමාජිකයින් වශයෙන් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය
     
     
    - මීරිගම, කල්එළිය, කණ්ඩලම සහ යෝජිත මීරිගම කර්මාන්ත කලාපයේ කොටසකට ජලය සම්පාදනය කිරීම පිණිස මීරිගම ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් M/s China Aero Technology International Engineering Corporation (CATIC) ආයතනය විසින් ශක්‍යතා අධ්‍යනයක් සිදු කරනු ලැබ ඇති අතර, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා එම ආයතනය විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම යෝජනාව ඇගයීම සඳහා කමිටුවක් පත් කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
     
     
    බ්ලූමැන්ඩල්හි, සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450කින් යුත් නිවාස ව්‍යාපෘතිය
     
     
    - බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ සිරිල් සී. පෙරේරා මාවතේ නිවාස ඒකක 450ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 2,737.35ක මුදලකට සීමාසහිත ඇක්සස් ඉංජිනියරින් පොදු සමාගම වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පොහොර ප්‍රසම්පාදනය කිරීම
     
     
    - සීමාසහිත ලංකා පොහොර සමාගම සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සඳහා ඔක්තෝබර් මාසයට අවශ්‍ය කරන රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, යූරියා (ග්‍රැනියුලා) මෙට්‍රික් ටොන් 38,500ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 309.60ක මුදලකට ලයිවන් ඇග්‍රිකෙම් ප්‍රයිවට් ලිමිටඩ් වෙතින් මිල දී ගැනීම සහ මියු‍රියේට් ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 20,000ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 329.50ක මුදලකට හා ට්‍රිපල් සුපර් පොස්පේට් මෙට්‍රික් ටොන් 7,500ක් මෙට්‍රික් ටොන් එකක් ඇමරිකානු ඩොලර් 317.25ක මුදලකට ඇග්‍රි කොමෝඩිටීස් ඇන්ඩ් ෆයිනෑන්ස් වෙතින් මිල දී ගැනීම වෙනුවෙන් අනුමැතිය ලබාගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම
     
    - සයිටම් වෛද්‍ය පීඨයේ දීර්ඝ කාලයක සිට පැවැති අර්බුදයට පිළියමක් වශයෙන් එහි අධ්‍යාපනය ලබමින් සිටි 900කට ආසන්න වෛද්‍ය සිසුන් ශ්‍රීමත් ‍ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අන්තර්ග්‍රහණය කරනු ලැබ තිබේ. සයිටම් වෛද්‍ය පීඨයට අනුබද්ධව ක්‍රියාත්මක වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා ගැනීම පිළිබඳව ඉදිරිපත් වී ඇති යෝජනාව සැලකිල්ලට ගෙන මේ සම්බන්ධයෙන් සාකච්ඡා සම්මුති පැවැත්වීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya