අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.08.14

    අගෝස්තු 15, 2018
    2018.08.15 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.
     
    පාර්ලිමේන්තු සංකීර්ණයට අයත් ආරක්ෂක ගොඩනැඟිලි වැඩිදියුණු කිරීම
     
    පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස පිවිසුමේ පිහිටි ජයන්තිපුර ආරක්ෂක ගොඩනැඟිල්ල සහ එහි පිටුපස පිවිසුමේ පිහිටි පින්නියර ආරක්ෂක ගොඩනැඟිල්ල පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරක්ෂාව සහ මෙහෙයුම් කටයුතු සඳහා අවශ්‍ය නව තාක්ෂණික පහසුකම්ද ඇතුළත්ව වැඩිදියුණු කර ප්‍රතිසංස්කර‍ණය කිරීම පිණිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීම
     
    රසායනික අවි සම්මුතිය ක්‍රියාත්මක කිරීම ජාතික ආරක්ෂාවට අදාළ විෂය ක්ෂේත්‍රයක් ලෙස නිරීක්ෂණය කර ඇති බැවින් 2007 අංක 58 දරන රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම භාර අමාත්‍යවරයා වශයෙන් ආරක්ෂක අමාත්‍යවරයා කටයුතු කළ යුතු බවට සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගෙන තිබේ. ඒ අනුව ඉහත පනත සංශෝධනය කිරීම සඳහා කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීම
     
    දිවයින පුරා පිහිටි විහාරස්ථාන හා දහම් පාසල්වල පහසුකම් වැඩිදියුණු කිරීමේදී වඩාත් විධිමත් හා ඒකීයභාවයක් ඇති වන පරිදි ඒවාට පහසුකම් සැලසීම පිණිස අනුගමනය කළ යුතු යෝග්‍ය ක්‍රමවේදයක් නිර්දේශ කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර තීරණය කරන ලදී. ඒ අනුව, විහාරස්ථාන හා දහම් පාසල් සංවර්ධනය කිරීම සඳහා රජය විසින් පහසුකම් සැලසීමේදී ද්විකරණයකින් තොරව වඩාත් විධිමත් ලෙස කටයුතු කිරීමට හැකි වන පරිදි එම කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අනුව කටයුතු කිරීමටත් රජය විසින් ඉදිරියේදී අනෙකුත් ආගමික ස්ථාන සංවර්ධනය සඳහා පහසුකම් සැලසීමේදී මෙම නිර්දේශ අනුව කටයුතු කිරීම පිණිසත් බුද්ධශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍යය අතර ඇති කර ගන්නා ගිවිසුම
     
    දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොළී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    1901 ලාදුරු රෝගීන් පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම
     
    ලාදුරු රෝගය ලන්දේසි ‍යුගයේදී බෝවන රෝගයක් ලෙස නම් කරන ලද අතර, මෙම රෝගය සඳහා ප්‍රතිකාරයක් නොමැති වීම හේතුවෙන් එහි ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලාදුරු රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තබන ලදී. 1901 ලාදුරු රෝගය පිළිබඳ ආඥා පනත යටතේ ලාදුරු රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තැබීම අනිවාර්යය කරන ලදී. නවීන ප්‍රතිකාර හේතුවෙන් ලාදුරු රෝගය සම්පූර්ණයෙන් සුව කළ හැකි බවට හඳුනාගන්නා ලද අතර, 1983 වසරේ සිට මෙම රෝගීන් අන් පුද්ගලයින්ගෙන් වෙන් කර තැබීම අත්හිටුවන ලදී. 
     
    ලාදුරු රෝගයෙන් සුවය ලැබූවද ඉහත ආඥා පනත මඟින් අන් පුද්ගලයින්ගෙන් වෙන් කළ ලාදුරු රෝගීහු 31 දෙනෙක්, හැඳල හා මාන්තිව් ලාදුරු රෝහල්වල තවමත් වාසය කරති. මෙම රෝගීන්ට ඔවුන්ගේ සාමාජීය සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකිවන පරිදි 1901 ලාදුරු රෝගය පිළිබඳ ආඥා පනත සංශෝධනය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමේ ව්‍යාපෘතිය - ඉදි කිරීම් කාලය තුල බස් රථ ගමනාගමන පාලනය
     
    මහනුවර බහුමාදිලි ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීම් කටයුතු සැලසුම් අදියරේ පවතින අතර එහි ඉදි කිරීම් කාලය තුළ බාධාවකින් තොරව බස් රථ ධාවනය කිරීම සඳහා පහසුකම් සැපයිය යුතුව ඇත. නගරය තුළ වාහන තදබදය අවම වන පරිදි එකී බස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කාලසටහනක් සකස් කරනු ලැබ ඇති අතර මධ්‍ය පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලැබ ඇති 'සහසර' වැඩසටහන යටතේ තොරතුරු තාක්ෂණය පාදක කොට ගත් බස් රථ ධාවන මෙහෙයුම් පද්ධතිය වැඩිදියුණු කර මෙහිදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව, යෝජිත තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා යොදා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කොට්ටාව පොලිස් ස්ථානය සඳහා ඉඩම් පවරා දීම
     
    රජය විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇති පර්චස් 49.80ක ඉඩමේ කොට්ටාව පොලිස් ස්ථානය පවත්වා ගෙන යාම සඳහා එම ඉඩම පොලිස් දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාමෙන් හානි වූ වාහනවලට වන්දි ගෙවීම
     
    කොස්ගම සාලාව යුධ හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා ‍යාම නිසා නිශ්චල හා චංචල දේපළ රැසකට හානි සිදු වූ අතර එසේ හානි වූ නිවාස, ව්‍යාපාරික ස්ථාන සහ අනෙකුත් විවිධ දේපළ සඳහා ගෙවිය යුතු වන්දි ගෙවීමට රජය විසින් කටයුතු කර තිබේ. එසේ වුවද, මෙහිදී හානියට ලක්වූ නමුත් නියමිත වන්දි මුදල් නොලැබුණු වාහන සඳහා වන්දි ගෙවීම පිණිස වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහා නව ඉඩ පහසුකම් ලබා දීම
     
    170ක පමණ කාර්යමණ්ඩලයකට සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන 12ක කාර්යයන් සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන කලාකරුවන්ට හා අනෙකුත් පිරිස්වලට පහසුකම් සැපයීම පිණිස බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැඟිල්ලේ පවත්වා ගෙන යන සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සතුව ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බව හඳුනාගනු ලැබ ඇත. එබැවින් මීට ප්‍රථම පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවත්වා ගෙන යන ලද කැප්පෙටිපොළ මාවතේ පිහිටි ගොඩනැඟිලි පරිශ්‍රයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ස්ථාපිත කිරීම සඳහා එම ගොඩනැඟිලි පරිශ්‍රය සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැවරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය
     
    ධීවර වරාය, නැංගුරම් පොළ සහ තොටුපොළ ඉදි කිරීම හා සංවර්ධනය කිරීම, ජල ජීවී වගා සංවර්ධනය සහ ජීවනෝපාය සංවර්ධනය යන සංරචක 03කින් සමන්විත වන උතුරු පළාත් තිරසර ධීවර සංවර්ධන ව්‍යාපෘතිය, 2018 - 2024 කාලපරිච්ඡේදය තුළ ආසියානු සංවර්ධන බැංකුව විසින් සලසා දීමට එකඟවී ඇති ඇමරිකානු ඩොලර් මිලියන 174ක මූල්‍ය සහායක් සහිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතියේ රජයේ දායකත්වය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 27.22කට සමාන මුදලක් වෙන් කරවා ගැනීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    යම් තැනැත්තකුගේ මරණය සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීමේ පනත් කෙටුම්පත
     
    වෙනත් තැනැත්තෙකුගේ සාපරාධි ක්‍රියාවක් නිසා හෝ එසේත් නැත්නම් කළ යුතුව තිබූ ක්‍රියාවක් නොකර සිටීම හෝ අතපසු කිරීම හෝ පැහැර හැරීම හෝ නිසා යම් තැනැත්තෙකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් අලාභ අයකර ගැනීම සහ ඒ හා සම්බන්ධ වෙනත් කරුණු සඳහා විධිවිධාන සැලසීම පිණිස නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද සහිතව සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පාසල් සිසුන් සඳහා පාවහන් යුගලක් ලබා දීම
     
    දුෂ්කර, අතිදුෂ්කර හා හුදෙකලා පාසල්වල සිසුන් 648,151 දෙනෙකු වෙත පාවහන් මිලදී ගැනීම සඳහා තිළිණපත් ලබාදීමේ වැඩසටහනක් 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන හරහා තමන්ගේ අභිමතය පරිදි සුදුසු පාවහන් යුගලක් මිල දී ගැනීමේ අවස්ථාව මෙම සිසුන්ට හිමි වූ අතර, එමඟින් එම සිසුන්ගේ දෙමව්පියන් සඳහාද සැලකිය යුතු ආර්ථික සහනයක් හිමිවූ බව හඳුනාගන්නා ලදී. එබැවින් 2018 වර්ෂය සඳහාද මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දේශපාලනික පළිගැනීම හේතුවෙන් විවිධ පීඩාවට පත් වූ සහ දේපළ හානි වූ පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම
     
    දේශපාලන පළිගැනීම් හේතුවෙන් ජීවිත හානි සහ වෙනත් ශාරීරික පීඩාවන්වලට ලක් වූ තැනැත්තන්ට සහ හානියට පත් වූ දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා පිහිටවනු ලැබූ වන්දි කමිටුවක නිර්දේශ පරිදි වන්දි ගෙවීම පිණිස අවශ්‍ය අරමුදල් සලසා ගැනීම සහ එම වන්දි 2019 වර්ෂය තුළදී ගෙවීම් කර නිරවුල් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා; අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය සහ නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය 2018
     
    මෙම වර්ෂයේ ජාතික වෘත්තීය සුරක්ෂිතතා සතිය යෙදෙන ඔක්තෝබර් මාසයේ 01 දින සිට ඔක්තෝබර් මස 06 දින දක්වා විවිධ ක්‍රියාකාරකම් හා දැනුවත් කිරීමේ වැඩසටහන් දිවයින පුරා පැවැත්වීමට රාජ්‍ය හා පෞද්ගලික ආයතන සැලසුම් කරනු ලැබ ඇත. ඒ යටතේ ඔක්තෝබර් මස 02 දින වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය පිළිබඳ ජාතික සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වීම පිණිස සහ එම සතිය තුළ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය විශිෂ්ඨතා සම්මාන උළෙල ජාතික මට්ටමින් පැවැත්වීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි, පිටත්වීමේ පර්යන්තය තුළ මුදල් හුවමාරු සේවා පවත්වාගෙන යාම සඳහා ලංසු කැඳවීම
     
    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිත කරමින් විදේශ රටවලට සංචාරය කරනු ලබන මඟීන්ගේ මූල්‍ය හා විදේශ විනිමය අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමට හැකිවන පරිදි පිටත්වීමේ පර්යන්තය තුළ පිහිටුවා ඇති බැංකු සහ මූල්‍ය ආයතන විසින් පවත්වාගෙන යනු ලබන මුදල් හුවමාරු කවුළු සංඛ්‍යාව 06ක් දක්වා වැඩිකිරීම සහ 2019 වර්ෂයේ සිට ඉදිරියට එම සේවා පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කර ඇති මූල්‍ය ආයතන වෙතින් ලංසු කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
     
    ශ්‍රී ලංකාව තුළ දුම්රිය හරස් මාර්ග 1,337ක් පිහිටා ඇති අතර, මින් 520ක ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මකව පවතියි. මීට අමතරව දුම්රිය හරස් මාර්ග 400ක ආරක්ෂණ පද්ධති සවි කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතියි. ඉතිරි දුම්රිය හරස් මාර්ග 417හි ආරක්ෂණ පද්ධති සැපයීම, සවි කිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය සහාය ලබා දීම පිණිස හංගේරියානු රජය විසින් සිය එකඟතාව පළ කරනු ලැබ ඇත. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කරනු ලැබ ඇති M/s. Muszer Automatika Ltd. ආයතනය වෙතින් යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය
     
    ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය සහාය සලසනු ලබන මහ කොළඹ ජල හා අපජල කළමනාකරණය වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන යටතේ අඹතලේ ජල සම්පාදන පද්ධතිය වැඩිදියුණු කිරීම හා බලශක්තිය ඉතිරි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හඳුනාගනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් අඹතලේ ජල පවිත්‍රාගාරයේ ජලනළ අලුත්වැඩියාව හා ප්‍රතිස්ථාපනය, උපකරණ සවි කිරීම, පොම්පාගාර ක්‍රියාවලිය සඳහා ස්වයංක්‍රීයකරණ පද්ධතියක් හඳුන්වාදීම, ඝන මීටර 8,000ක ධාරිතාවකින් යුත් ජලාශයක් ඉදි කිරීම යනාදිය සිදු කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව එම ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Zongnan-SZSG JH JV වෙත ප්‍රදානය කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුවලට එළඹීම
     
    ප්‍රශස්ත මට්ටමක ඛනිජතෙල් තොග පවත්වා ගැනීමේ අරමුණින් ‍2018 සැප්තැම්බර් 01 දින සිට 2019 ජුනි 30 දින දක්වා මාස දහයක (10) කාලයක් තුළ, පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තු 02කට එළඹීම සඳහා තීරණය කරන ලදී. ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ M/s Gulf Petrochem FZC ආයතනය වෙත එම ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    මෙහෙවර පියෙස ගොඩනැඟිල්ලේ නඩත්තු හා මෙහෙයුම් කටයුතු සුදුසු සමාගමක් මගින් ඉටුකරවා ගැනීම
     
    සේවාදායකයින්ට වඩාත් ගුණාත්මක හා ඵලදායී සේවාවක් සැපයීමේ අරමුණින් කම්කරු අමාත්‍යාංශය හා එහි සුපරීක්ෂණය යටතේ ක්‍රියාත්මකවන ආයතන සියල්ල එකම ගොඩනැඟිල්ලක ස්ථාපිත කිරීම සඳහා 'මෙහෙවර පියෙස' නමින් මහළ් 32කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ කටයුතු මේ වන විට අවසන් අදියරේ පවතියි. මෙවැනි ගොඩනැඟිල්ලක් නිසි අයුරින් නඩත්තු කර පවත්වා ගෙන යාම සඳහා පුහුණු කාර්යමණ්ඩලවල පවතින සීමිත බව හේතුවෙන් මෙම ගොඩනැඟිල්ලෙහි නඩත්තු කටයුතු ඒ සඳහා සුදුසුකම්ලත් බාහිර ආයතනයක් මඟින් සිදු කරවා ගැනීම පිණිස කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    විසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඕමාන් රාජ්‍ය අතර එළඹෙනු ලබන අවබෝධතා ගිවිසුම
     
    රාජ්‍යතාන්ත්‍රික, විශේෂ, සේවා හා නිල විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් අනෝන්‍ය විසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම පිළිබඳ ශ්‍රී ලංකාව හා ඕමානය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    ශ්‍රී ලංකාව සංචාරකයින් අතර ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම
     
    එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය යන රටවල සංචාරකයින් අතර ශ්‍රී ලංකාව ආකර්ශණීය ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිජිටල් ප්‍රචාරක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, එම එක් එක් රටවලට විශේෂිත වූ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ කටයුතු කරනු ලැබ ඇත. ඒ අනුව එක්සත් රාජධානිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ඩිජිටල් ස්ප්‍රිං ලිමිටඩ් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 703,480 ක මුදලකටද, ජර්මනිය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම මීඩියා කන්සල්ටන්ට් ඉන්ටනැෂනල් හෝල්ඩිංස් ඒජී ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 697,770.92 ක මුදලකටද, ප්‍රංශය තුළ ඩිජිටල් ප්‍රචාරක වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඉන්ටෆේස් ටුවරිසම් ආයතනය වෙත ඇමරිකානු ඩොලර් 706,460 ක මුදලකටද, ප්‍රදානය කිරීම පිණිස සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     
     
    රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් විශේෂ කොමිසමක් පත් කිරීම
     
    මෑතක සිට රාජ්‍ය අංශයේ විවිධ සේවා කණ්ඩායම් විසින් සිය වැටුප් හා දීමනා වැඩි කරගැනීම සඳහා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම හේතුවෙන් මහජනතාවට මුහුණු දීමට සිදුවන දැඩි අපහසුතා මෙන්ම ආර්ථිකයට සිදු වන අහිතකර බලපෑම්ද සැලකිල්ලට ගෙන රාජ්‍ය අංශයේ දැනට පවතින වැටුප් ව්‍යූහයන් පිළිබඳ අධ්‍යයනය කොට, සමස්ත රාජ්‍ය සේවය තුළ පවතින වැටුප් හා සම්බන්ධ ගැටලු විසඳීමට පියවර ගැනීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගෙන තිබේ. මෙම තත්ත්වයට කඩිනමින් විසඳුම් සෙවීම සඳහා එක් එක් ක්ෂේත්‍රයේ දැනුම හා පළපුරුද්ද සහිත ප්‍රවීණයන්ගෙන් සමන්විත විශේෂ කොමිෂන් සභාවක් පත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මෙහිදී දුම්රිය සේවාවේ පවත්නා වැටුප් විෂමතා නිවැරදි කිරීම කොමිෂන් සභාවේ එක් විෂය නිර්ණයක් ලෙස දක්වා ඇත. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ කාර්යයන්ට අමතරව වැටුප් සමාලෝචනය සඳහා විශේෂ කොමිෂන් සභාවක් පිහිටුවීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය හිමි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya