මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.07.24

    ජූලි 25, 2018

    2017.07.24 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

     

     

    හෙලනික් ජනරජය (ග්‍රීසිය) සහ ඉතාලිය සමඟ වන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම්


    ග්‍රීසිය අතර සහ ඉතාලිය යන රාජ්‍යයන් සමඟ වන, කෙටි අත්සන් තබන ලද ගුවන්‍ සේවා ගිවිසුම්, ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිතයෙකු ලවා අත්සන් කර, එම ගිවිසුම් බලාත්මක කිරීම සඳහා සුදුසු පියවර ගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීම


    මහනුවර නගරයේ පොදු ප්‍රවාහන සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම පිණිස මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය මඟින් බලපෑමට ලක් වන දුම්රිය දෙපාර්තමේන්තුවේ ගොඩනැඟිලි ප්‍රතිස්ථාපනය කිරීම පිණිස සිව්මහල් හා සත්මහල් ගොඩනැඟිලි දෙකක් ඉදි කිරීමට සහ ශ්‍රී දළදා මාලිගාව වෙත පැමිණෙන වන්දනාකරුවන් සඳහා රථගාලක් ඉදි කිරීමට අවශ්‍ය වන රුපියල් මිලියන 1,460ක අරමුදල් සපයා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දේශගුණික විපර්යාසයන්ට අනුගත වන කෘෂි - වාරි සංවර්ධන ව්‍යාපෘතිය (2018-2024)


    කුඩා වැව්, ඇනිකට් හා ඇළ මාර්ගවලින් සමන්විත සුළු වාරිමාර්ගයන්ගෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් වගා කෙරෙන අතර, සැලකිය යුතු ගොවි පවුල් ප්‍රමාණයක් මෙමඟින් තම ජී‍වනෝපාය සලසා ගනු ලැබේ. සුළු වාරිමාර්ග මඟින් වගා කෙරෙන මෙම කුඹුරු ඉඩම් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඉතා පහසුවෙන් ලක්විය හැකි බැවින්, වියළි කලාපීය දිස්ත්‍රික්ක 11ක් පුරා විසිරී පවතින සම්පූර්ණ එල්ලංගා පද්ධති 53ක් යටතේ ඇති කුඩා වැව් 789ක් දේශගුණික විපර්යාසයන්හි බලපෑමට ඔරොත්තු දෙන පරිදි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනා‍ගෙන තිබේ. ඒ අනුව, එම වැව් මඟින් වගා කෙරෙන වගා බිම්වල ඵලදායිතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඇමරිකානු ඩොලර් මිලියන 140ක මුළු ආයෝජනයක් සහිත ව්‍යාපෘතියක්, 2018-2024 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු අරමුදල් සහායද සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සුපිරිසිදු සිලෝන් තේ (Pure Ceylon Tea) අපනයනය සඳහා වෙළඳනාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය : 2018/2019


    2015 අයවැය යෝජනා අනුව, සිංහ ලාංඡනය සහිත සුපිරිසිදු සිලෝන් තේ වෙළඳ නාමය තවදුරටත් ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා, වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, සමාගම් 19ක් සමඟ ගිවිසුම් ඇති කරගෙන තිබූ අතර, ඒ යටතේ රුපියල් මිලියන 177ක පමණ මුදලක් එම කාර්යය සඳහා වියදම් කර තිබුණි. මෙම වෙළඳ නාම ප්‍රවර්ධන යෝජනා ක්‍රමය 2018/2019 වර්ෂය සඳහාද දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලය සැලසුම් කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් සැලසුම් කරන ලද ගෝලීය තේ ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව පෞද්ගලික වෙළඳ නාම ප්‍රවර්ධනය කිරීම පිණිස අදාළ සුදුසුකම් සපුරන, සම්පූර්ණ දේශීය හිමිකාරිත්වයක් සහිත තේ අපනයන සමාගම්/අපනයනකරුවන් දරනු ලබන ප්‍රවර්ධන වියදමින් 50%ක ප්‍රමාණයක් ඔවුන් වෙත ප්‍රතිපූරණය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අරමුදල්වලින් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කුඩා රබර් වතුහිමියන් සවිබල ගැන්වීම


    පසුගිය කාලය තුළ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ස්වාභාවික රබර් මිල පහත වැටීම හේතුවෙන් දේශීය ස්වාභාවික රබර් නිෂ්පාදනය පහත වැටී ඇත. මේ හේතුවෙන් 130,000ක් පමණ වන කුඩා රබර් වතුහිමියන් ආරක්ෂා කරගැනීමටත්, ඔවුන් රබර් වගා ක්ෂේත්‍රය තුළ තවදුරටත් රඳවා ගැනීමටත් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුව ඇත. ඒ අනුව, නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීමට උපකාරී වන, ශ්‍රී ලංකා රබර් පර්යේෂණ ආයතනය විසින් නිෂ්පාදනය කර වැඩිදියුණු කරන ලද උපකරණ හා ආම්පන්න සහිත රුපියල් 5,000/-ක් පමණ වටිනා උපකරණ කට්ටලය බැගින්, 'තුරු සවිය' සමිති සාමාජිකයින් 10,000ක් වෙත 2018-2019 දෙවර්ෂය තුළ ලබා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කැකිරාව පොලිස් ස්ථානය සඳහා නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම


    කැකිරාව පොලිස් ස්ථානය ග්‍රාම නිලධාරි වසම් 50ක් තුළ වෙසෙන 62,650ක් පමණ වන ජනතාව වෙත සේවය සපයනු ලබන පොලිස් ස්ථානයකි. පොලිස් නිලධාරින් 80ක් පමණ මෙම පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතුවල නියැළී සිටින අතර, ඒ සඳහා දැනට භාවිත කරනු ලබන්නේ ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති ඉතා පැරණි ගොඩනැඟිල්ලකි. ප්‍රදේශයේ මහජනතාව වෙත වඩාත් ඵලදායී සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් කැකිරාව පොලිස් ස්ථානය සඳහා සියලු පහසුකම්වලින් සමන්විත නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා 'ව්‍යවසාය ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන් උපයෝගි කරගැනීම


    නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආදර්ශ ගම්මාන වැඩසටහන හරහා අඩු අදායම්ලාභී ජනතාවට නිවසක හිමිකම ලබා දීමට අමතරව ඔවුන්ගේ අනාගතය ගොඩනැංවීම සඳහා විවිධ වැඩසටහන් ද ක්‍රියාත්මක කරනු ලැබේ. ආදර්ශ ගම්මාන, ප්‍රතිලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධනය සඳහා යොදාගත හැකි වන පරිදි ග්‍රාමීය ජීවනෝපාය සංවර්ධන සැලසුම් සකස් කිරීමටත් එම ගම්මානවල සෑම ප්‍රතිලාභියෙකුටම ජීවනෝපාය මාර්ගයක් තහවුරු වන පරිදි 'ව්‍යවසාය ශ්‍රී ලංකා' සහ 'ගම්පෙරළිය' ජාතික වැඩසටහන් දියත් කිරීමටත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හිංසනයට ලක්වන කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා වූ තාවකාලික රැකවරණ මධ්‍යස්ථානවලට පහසුකම් සැලසීම


    යාපනය, මුලතිව්, මඩකළපුව, කොළඹ හා මාතර පිහිටි හිංසනයට ලක් වූ කාන්තාවන් සඳහා ආරක්ෂාව සැලසීම සඳහා පිහිටුවා ඇති තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන පරිපාලනය කිරීම සඳහා Women in Need හා Jaffna Social Action Center යන ආයතන සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී ඇත. මෙම මධ්‍යස්ථාන ක්‍රමවත්ව කළමනාකරණය කිරීම පිණිස සුදුසුකම් ලත් කාර්යය මණ්ඩල සහ අවශ්‍ය වෙනත් පහසුකම් රජය මඟින් සැලසීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නිල්වලා ගංගා ද්‍රෝණිය සංරක්ෂණය කිරීම


    මාතර දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන කොටපොළ සහ පිටබැද්දර ප්‍රදේශ නිරන්තර ගංවතුර තත්ත්වයන්ගෙන් පීඩාවට පත් වන ප්‍රදේශ වේ. ගංවතුර තත්ත්වයන් හේතුවෙන් සිදුවන ජීවිත හා දේපල හානිවලට අමතරව නිල්වලා ග‍ඟේ ඉවුරුවලට, ගඟ හරහා ඉදි කර ඇති පාලම්වලට සහ ගඟට සමාන්තරව දිවෙන මාර්ගවලටද හානි සිදු වේ. මෙම හානි අවම කරගැනීම පිණිස, නිල්වලා ගංඉවුර පිළිසකර කිරීම සහ ඉවුරුවල මී, කුඹුක් වැනි රුක් රෝපණය කිරීම මඟින් සංවර්ධනය කර සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා රුපියල් මිලියන 62ක ආයෝජනයක් සහිතව පිටබැද්දර සිට කොටපොළ දක්වා නිල්වගා ගංඟා ද්‍රෝණිය වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේද සහාය ඇතිව සංරක්ෂණය කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සඳහා තොරතුරු තාක්ෂණ යෙදවුම් පද්ධතියක් ස්ථාපනය කිරීම


    සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරගැනීම සහ ඉහළ තරගකාරි වෙළඳ පොළ පරිසරයක් පවත්වා ගනිමින් වඩාත් ගුණාත්මක රක්ෂණ සේවා සැපයීමේ අපේක්ෂාවෙන්, ජීවිත රක්ෂණ කටයුතු සහ සාමාන්‍ය රක්ෂණ කටයුතු සඳහා භාවිත කිරීම පිණිස තොරතුරු තාක්ෂණය මත පදනම් වූ රක්ෂණ පද්ධති දෙකක් ප්‍රසම්පාදනය සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය අලුතින් ආරම්භ කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා රත්මලාන ගුවන් තොටුපළ සඳහා සන්නිවේදන පද්ධතියක් සැපයීම, සවිකිරීම හා ක්‍රියාත්මක කිරීම


    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හා රත්මලාන ගුවන් තොටුපළේ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම සඳහා සන්නිවේදන පද්ධතියක් සැපයීම, සවිකිරීම හා ක්‍රියාත්මක කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි යුරෝ මිලියන 1.7ක හා රුපියල් මිලියන 6ක මුදලකට M/s. SITTI S.P.A. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දුම්රිය මාර්ග සඳහා අවශ්‍ය රේල් පීලි 5000ක් ප්‍රසම්පාදනය කිරීම


    දුම්රිය මාර්ග පද්ධතිය සඳහා අවශ්‍ය EN 45 E1 වර්ගයේ පීලි 5000ක සංඛ්‍යාවක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඇමරිකානු ඩොලර් මිලියන 2.13ක මුදලකට M/s. Angang Group International Panzhimua Co. Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ පහසුකම් වැඩිදියුණු කිරීම


    ශ්‍රී ලංකා නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලයට අනුබද්ධ ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනය, සංගීත හා නැටුම් විෂය ක්ෂේත්‍රයන්ට අමතරව නාට්‍ය හා රංගකලාව සහ රූපණ හා ශිල්ප කලා ආදී පාඨමාලාවන්ද හැදෑරීමට හැකිවන පරිදි එහි අධ්‍යයන කටයුතු පුළුල් කිරීමට කටයුතු කරනු ලැබ ඇත. එබැවින් එම ආයතනය සතු පහසුකම් වර්තමාන පාඨමාලාවන්ට හා අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි ඉහළ නැංවීමේ අවශ්‍යතාවය හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ස්වාමි විපුලානන්ද සෞන්දර්යය අධ්‍යයන ආයතනයේ ශ්‍රවණාගාරය නවීකරණය කිරීම, ශ්‍රව්‍ය හා වීඩියෝ පටිගත කිරීමේ සහ සංස්කරණ පහසුකම්වලින් සමන්විත ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීම හා ඒ සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දෙමින් වැඩිදියුණු කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතිය ඉන්දියානු රජයේ මුල්‍යාධාරයක් ලෙස ලැබෙන රුපියල් මිලියන 275ක් සහ රජයේ රුපියල් මිලියන 60.7ක සමස්ත ආයෝජනයක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන


    හරිත බලශක්ති සංවර්ධන හා බලශක්ති කාර්යක්ෂමතා ඉහළ නැංවීමේ ආයෝජන වැඩසටහන යටතේ කොළඹ 'බී' ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම, කොළොන්නාව සහ කොළඹ 'සී' උපපොළවල් අතර ඇති කේබලයෙන් විදුලිය ලබාගනීමේ සහ පිට කිරීමේ සම්බන්ධතාවය පිහිටුවීම සහ කොළොන්නාව සහ කොළඹ 'සී' උපපොළවල් වැඩිදියුණු කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,260.78ක මුදලකට M/s. Hyosung Corporation වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළොන්නාව රජයේ කර්මාන්තශාලාවේ විදුලි රැහැන් පද්ධතිය නවීකරණය කිරීම


    රජයේ විවිධ ආයතන සඳහා අවශ්‍ය විශේෂ ආකාරයේ යාන්ත්‍රික කටයුතු සඳහා සේවා සලසන රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුව සඳහා විදුලිබලය ලබාගැනීමට දැනට භාවිතා කරනු ලබන භූගත අඩු වෝල්ටීයතා විදුලි රැහැන් පද්ධතිය නවීකරණය කළ යුතුව ඇත. රුපියල් මිලියන 34.6ක පිරිවැයක් දරමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රත්නපුර හා කිළිනොච්චි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම


    රත්නපුර දිස්ත්‍රික්කයේ අධිකරණ කටයුතුවල පවතින තදබදය, එහි දැනට පවතින ගොඩනැඟිලිවල ස්වභාවය හා නායයෑමේ අවදානම හේතුවෙන් රත්නපුර අධිකරණ සංකීර්ණයේ ඉදි කිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට අවධානය යොමු වී ඇත. එමෙන්ම කිලිනොච්චි අධිකරණ සංකීර්ණයද ප්‍රමාණවත් යටිතල පහසුකම් සහිතව පුළුල් කළ යුතුව ඇති බව හඳුනාගනු ලැබ ඇත. මේ අනුව රත්නපුර හා කිලිනොච්චි අධිකරණ සංකීර්ණ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සෞඛ්‍ය සේවාවන් සඳහා වන වියදම්, එකතුකළ අගය මත බද්දෙන් (VAT) නිදහස් කිරීම


    2016 අංක 20 දරන එකතු කළ අගය මත බදු පනත මඟින් වෛද්‍ය උපදේශන ගාස්තු, රෝහල් කාමර ගාස්තු, චැනල් ගාස්තු සහ වෛද්‍ය වෘත්තිකයින්ට ගෙවන ගාස්තු යන සෞඛ්‍ය සේවාවන් සැපයීමට අදාළව එකතු කළ අගය මත බදු පනවන ලද අතර රෝහල් කාමර ගාස්තු හැර අනෙකුත් සෞඛ්‍ය සේවාවන් මත පනවා තිබූ එකතුකළ අගය මත බද්ද 2018 ජූලි මස 02 දින සිට ඉවත් කිරීමට තීරණය කරන ලදී. එම කාර්යය සඳහා නිකුත් කරනු ලැබ ඇති, අංක 2078/6 දරන 2018 07-02 දිනැති අතිවිශෙෂ ගැසට් නිවේදනය, 2002 අංක 14 දරන එකතුකළ අගය මත බදු පනතෙහි විධිවිධාන යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනයේ 17 වන මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම


    ආසියා ශාන්තිකර කලාපය තුළ දියුණු සහ නවීන විද්‍යුත් මාධ්‍ය පරිසරයක් ඇති කර ගැනීමේ අරමුණ ඇතිව ආසියා ශාන්තිකර විකාශ සංවර්ධන ආයතනය පිහිටුවා ඇති අතර, එම ආයතනය එහි සාමාජික රටවල මාධ්‍ය උපදේශන ආයතනක් ලෙස ද කටයුතු කරයි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව 1982 වර්ෂයේ සිට මෙම ආයතනයේ පූර්ණ සාමාජිකත්වය දරන අතර, එහි තාක්ෂණික හා පුහුණු අවස්ථා ප්‍රතිලාභ ලබා ගනී. මෙම සමුළුවේ 17 වන මහ සමුළුව 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමටත්, එහි සත්කාරක ආයතනය ලෙස ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විසින් කටයුතු කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය අතිරේක බඩ ඉරිඟු ආනයනය කිරීම


    2018 වසරේදී සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 500,000ක් පමණ අවශ්‍ය වනු ඇතැයි පුරෝකථනය කරනු ලැබ තිබේ. එසේ වුවද, 2018 වසරේ මහ කන්නයේ බඩ ඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 150,000ක් පමණද, යල කන්නයේ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 30,000ක් පමණද වනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත. ඒ අනුව සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා යොදා ගැනීම පිණිස ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය විසින් බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 50,000ක් ආනයනය කිරීමටත්, ඒ මත කිලෝවකට රුපියල් 10/-ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමටත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමා සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගිංතොට හා අම්පාර ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්තාවන් හේතුවෙන් හානි වූ දේපළ සහ පූජනීය ස්ථානය සඳහා වන්දි ලබා දීම


    පසුගිය වසරේදී ගිංතොට ප්‍රදේශයේ හා මේ වසරේදී අම්පාර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයන් හේතුවෙන් හානි වූ දේපළ සහ පූජනීය ස්ථානය සඳහා වන්දි ලබා දීම පිණිස එවැනි සමාන සිද්ධීන්වලදී වන්දි ගෙවීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන්ද සලකා බලමින් වන්දි ලබා දීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නියඟයෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කවල වෙසෙන කාන්තාවන්ට ලබා දෙන ලද ක්ෂුද්‍ර මූල්‍ය ණය සඳහා වූ ණය සහන

    කාන්තාවන් සඳහා ගෙයින් ගෙට යමින් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේ ක්‍රමවේදයක් අනුගමනය කරන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ලබා දෙන ණය සඳහා සියයට 40 සිට 220 දක්වා වාර්ෂික පොලියක් අය කරනු ලැබේ. වැඩි අවදානමක් සහිත ආර්ථික ක්‍රියාකාරකම් සහ පරිභෝජනය උදෙසා ලබා දෙන මෙම ණය හේතුවෙන් ග්‍රාමීය මට්ටමේ ණයලාභීන් ණය උගුලක සිරවී ඇති අතර, එය මේ වන විට බරපතල අර්බුදයක් බවට පත් වී තිබේ. මෙයට වැඩි වශයෙන් මුහුණ දී ඇති නියඟයෙන් හානියට පත් වූ දිස්ත්‍රික්කවල ක‍ාන්තාවන් එකී ණයගැති භාවයෙන් මුදවා ගැනීම සඳහා 'ව්‍යවසාය ශ්‍රී ලංකා' වැඩසටහනට සමගාමීව ණය සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya