මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018.07.10

    ජූලි 12, 2018

    සහස්‍ර අභියෝග සංස්ථාව සහ ශ්‍රී ලංකා රජය අතර ප්‍රදානය කිරීමේ හා ක්‍රියාත්මක කිරීමේ ගිවිසුම

    ආර්ථික වර්ධනය තුළින් දිළිඳුකම පිටුදැකීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කරනු ලබන සහස්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) වැඩපිළිවෙල යටතේ ප්‍රදානය කරනු ලබන ආධාර උපයෝජනය පිළිබඳව කටයුතු කිරීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය විසින් කරනු ලැබේ. එහි සම්බන්ධීකරණය යටතේ ඉඩම් පරිපාලනය, ප්‍රවාහන, කෘෂිකාර්මික සැපයුම, විදුලිබල හා බලශක්ති යනාදී ක්ෂේත්‍රවල සංවර්ධනය, උසස් තාක්ෂණික විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීම සහ පෑලියගොඩ සිට මාලඹේ දක්වා කුලුනු මතින් දිවෙන මහා මාර්ගයක් ඉදි කිරීම යන ව්‍යාපෘති මේ යටතේ සිදු කිරීමට නියමිතය. එකී ව්‍යාපෘති අතුරින් ප්‍රවාහන ක්ෂේත්‍රයේ සංවර්ධන ව්‍යාපෘතිය සහ ඉඩම් පරිපාලන ක්‍රියාවලිය සඳහා වන ව්‍යාපෘතිය සඳහා ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 450 - 500 පමණ ප්‍රදාන ලබාගැනීමට අපේක්ෂා කරනු ලබන බවටත් ඇමරිකා එක්සත් ජනපදයේ සහස්‍ර අභියෝග සංස්ථාවේ ප්‍රධාන ආයෝජනවල වර්තමාන තත්වය පිළිබඳවත් ගරු අග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල‍ සටහන අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    රජයේ ඉඩම් සඳහා ඉඩම් දීමනා පත්‍ර නිකුත් කිරීමේ කඩිනම් වැඩසටහන


    ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම සඳහා රජය විසින් මේ දක්වා ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඉඩම් බලපත්‍ර දහසය ලක්ෂයකට අධික සංඛ්‍යාවක් නිකුත් කරනු ලැබ ඇති අතර, එයින් බලපත්‍ර 930,082 ඉඩම් දීමනා පත්‍ර බවට පත් කර තිබේ. එසේ වුවද, බලපත්‍ර නිකුත් කර ඇති තවත් ඉඩම් කැබලි 700,000කට පමණ සහ ජයභූමි දීමනා පත්‍ර යටතේ ලබා දී ඇති ඉඩම් කොටස් 436,992කට පමණ ඉඩම් දීමනා පත්‍ර නිකුත් කළ යුතුව ඇති අතර, ඒ සඳහා එම ඉඩම් කැබලි මැනීම සිදු කළ යුතුව තිබේ. ඒ අනුව, ඉඩම් කැබලි එකොළොස් ලක්ෂයක් සඳහා ඉඩම් දීමනා පත්‍ර ලබා දීම පිණිස කඩිනම් වැඩසටහනක් 2019-2020 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය ඉදි කිරීම


    කොළඹ හා තදාසන්න ප්‍රදේශවල දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සහාය ඇතිව ක්‍රියාත්මක වන දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය (CSREIP) යටතේ කොළඹ දුම්රිය පාලක මධ්‍යස්ථානය (CTCC) සහ දුම්රිය මෙහෙයුම් මූලස්ථානය (ROHQ) ඉදි කිරීමට සහ ඒවායේ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබ ඇති මරදාන ප්‍රදේශයේ පිහිටි අක්කර 01 රූඩ් 02ක භූමි ප්‍රමාණයක් ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙත වෙන් කරවාගැනීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2019 අයවැය පිළියෙල කිරීම සඳහා වන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව


    කාර්යසාධනය මත පදනම් වූ අයවැයකරණ (Performance Based Budgeting - PBB) ක්‍රමවේදය අනුගමනය කරමින් 2019 වර්ෂය සඳහා වන ජාතික අයවැය සකස් කිරීමට සැලසුම් කර තිබේ. මෙහිදී 2021 වර්ෂය වන විට ළඟා කරගැනීමට නියමිත රජයේ සමස්ත රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධ වැඩසටහන යටතේ සපුරා ගැනීමට අපේක්ෂිත, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 17 දක්වා රාජ්‍ය ආදායම වැඩි කරගැනීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15ක මට්ටමකින් රජයේ පුනරාවර්තන වියදම පවත්වා ගෙන යාම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5.5ක මට්ටමක රාජ්‍ය ආයෝජන පවත්වා ගැනීම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අයවැය හිඟය සීමා කිරීම සහ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70ක‍ට වඩා අඩු මට්ටමකින් රජයේ ණය පවත්වා ගෙන යාම යන ඉලක්ක සාක්ෂාත් කරගැනීමට හැකි වන පරිදි ජාතික අයවැය සකස් කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ඒ අනුව, රජයේ මධ්‍යකාලීන සාර්ව රාජ්‍ය මූල්‍ය රාමුව තුළ හඳුනාගෙන ඇති ඉලක්කයන් සපුරා ගැනීම සඳහා රජයේ ප්‍රමුඛතම ව්‍යාපෘති හඳුනාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන රේඛීය අමාත්‍යාංශ වෙත වෙන් කර ලීම මඟින් 2019 වර්ෂය සඳහා ජාතික අයවැය පිළියෙල කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම

     

    මහජන සෞඛ්‍ය, හෙද අධ්‍යාපනය, පාරිසරික හා වෘත්තීයමය සෞඛ්‍ය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා පරිපාලනය, ප්‍රජා සෞඛ්‍ය, ග්‍රාමීය හා නාගරික සෞඛ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම, දේශගුණ විපර්යාසය හා ආපදා කළමනාකරණය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යනාදි සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ සීමාසහිත කළමනාකරණ හා පුහුණු ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


    සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පිළිබඳ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අවබෝධතා ගිවිසුම

    මහජන සෞඛ්‍ය, හෙද අධ්‍යාපනය, පාරිසරික හා වෘත්තීයමය සෞඛ්‍ය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හා පරිපාලනය, ප්‍රජා සෞඛ්‍ය, ග්‍රාමීය හා නාගරික සෞඛ්‍ය කළමනාකරණය, සෞඛ්‍ය සංචාරක කර්මාන්තය, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යොදාගැනීම, දේශගුණ විපර්යාසය හා ආපදා කළමනාකරණය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මානව සම්පත් කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම යනාදි සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර සහයෝගිතාව වර්ධනය කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ බංග්ලාදේශයේ සීමාසහිත කළමනාකරණ හා පුහුණු ජාත්‍යන්තර ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සහයෝගිතාවෙන් යුතුව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාව හා ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම


    සෞඛ්‍ය ක්ෂේත්‍රය හා සම්බන්ධ කටයුතුවලදී ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම, දන්ත සෞඛ්‍ය සත්කාර, රෝහල්වල වෛද්‍ය උපකරණ හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ජාන විද්‍යාව, රුධිර ප්ලාස්ම භාගීකරණය, චිකිත්සාවන්, වෛද්‍ය හා සෞඛ්‍ය සත්කාරක අධ්‍යාපනය සහ බෝ නොවන රෝග යනාදී සෞඛ්‍යමය ක්ෂේත්‍රයන්හි සහයෝගිතාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ෆින්ලන්ත ජනරජයේ සමාජ කටයුතු හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම වෙනුවෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම


    වැවිලි ක්ෂේත්‍රයට අවශ්‍ය ඉහළ ගුණාත්මකභාවයකින් යුත් වෘත්තිකයින් බිහි කරන, නිපුණතාවට ප්‍රමුඛත්වය ලබා දෙන වැවිලි කළමනාකරණ උපාධි පිරිනමනු ලබන ආයතනයක් බවට ජාතික වැවිලි කළමනාකරණ ආයතනය පරිවර්තනය කිරීමට හැකි වන පරිදි, 1979 අංක 45 දරන ජාතික වැවිලි කළමනාකරණ ආයතන පනත සංශෝධනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    තේ තොග අපනයනය මත ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම


    වර්තමානයේදී තේ තොග අපනයනය මත සෙස් බදු ගණනය කිරීමක් සිදු වන අතර, ඒ අනුව, කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක් හෝ කොළඹ තේ වෙන්දේසියේ සාමාන්‍ය මිල ගණන්වලින් 2.5%ක් ලෙස හෝ යන දෙකෙන් වැඩි අගය සැලකිල්ලට ගෙන, මාසික පදනමකින් එම ගණනය කිරීම සිදු කෙරේ. මේ වන විට තේ අපනයනකරුවන් විසින් තේ කිලෝග්‍රෑමයකට ගෙවනු ලබන සෙස් බදු ගාස්තුව රුපියල් 20/-ක් පමණ වන අතර, එය මාසික පදනමකින් ගණනය කිරීම මත තොග මිල කලින් නිශ්චය කිරීමට අපහසු වීම, අපනයන මිල ගණන් ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම වැනි විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට තේ අපනයනකරුවන්ට සිදුව ඇත. ඒ අනුව, මීට පිළියමක් ලෙස තේ තොග අපනයනය සඳහා කිලෝග්‍රෑමයකට රුපියල් 10/-ක ස්ථාවර සෙස් බදු ගාස්තුවක් හඳුන්වා දීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කෙරවලපිටිය ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදි කිරීම සඳහා ඉඩම් වෙන් කිරීම


    ශ්‍රී ලංකාවේ වැඩිවන විදුලිය ඉල්ලුම සපුරා ලීම සඳහා ස්වාභාවික වායුව ඉන්ධනයක් ලෙස භාවිත කරන විදුලිබලාගාර ඉදි කිරීම වඩාත් සුදුසු බව හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඉන්දියාව හා ජපානය සමඟ ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස මෙගාවොට් 500 බැගින් වූ ස්වාභාවික වායු විදුලිබලාගාර දෙකක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ ඇත.
    වැඩිම විදුලි ඉල්ලුම පවතින කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවලට ආසන්නව පිහිටීම, ආනයනය කරනු ලබන ස්වාභාවික වායු ගොඩබෑමේ පර්යන්ත ඉදි කිරීමට සුදුසු පිහිටීමක් සහිත වීම, සිසිලනය සඳහා ජලය ලබාගැනීමට ඇති හැකියාව සහ බලාගාර ඉදි කිරීමට යොදාගත හැකි ඉඩම් පැවැතීම යන කරුණු හේතුවෙන් ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා සුදුසුම ප්‍රදේශය ලෙස කෙරවලපිටිය ප්‍රදේශය හඳුනා‍ගනු ලැබ ඇත. ඒ අනුව කෙරවලපිටිය ප්‍රදේශයේ ඇති රජය සතු අක්කර 110ක භූමි භාගයක් නිසි පාරිසරික ඇගයීමක් සිදු කිරීමෙන් අනතුරුව, යෝජිත ස්වාභාවික වායු බලාගාර ඉදි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පැවරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබලගැන්වීමේ වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම


    උසස් තත්ත්වයේ දේශීය නිෂ්පාදන රට තුළ අලෙවි කිරීම සඳහා වන ව්‍යවසායකත්ව අභිප්‍රේරණ වැඩසටහනක් 'එකම රටක් එකම නිෂ්පාදනයක්' (OTOT - One Tambon. One Product) ලෙස තායිලන්තය තුළ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබයි. මෙරට සමෘද්ධි ප්‍රතිලාභීන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය කිරීම සඳහා වන සවිබලගැන්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී තායිලන්තයේ ක්‍රියාත්මක වන එම වැඩසටහන තුළින් තාක්ෂණික උපදේශකත්වය ලබාගැනීම සඳහා තායිලන්තයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ තායිලන්ත ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය සහ ශ්‍රී ලංකාවේ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මත්ද්‍රව්‍ය පාලනය සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබාගැනීම


    වැඩිහිටි ජනගහනය ‍මෙන්ම තරුණ ප්‍රජාවද ගොදුරු කරගනිමින් රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රමුඛව ශ්‍රී ලංකා පොලීසිය මඟින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන අතර අවශ්‍ය අවස්ථාවලදී ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ ත්‍රිවිධ හමුදාවේ සහායද ලබා ගනු ලබයි. මත්ද්‍රව්‍ය ජාවාරම වඩාත් සාර්ථකව මැඬපැවැත්වීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සක්‍රීය දායකත්වය වැඩි වශයෙන් ලබාගැනීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මත්ද්‍රව්‍ය උවදුර මැඬපැවැත්වීම වඩාත් සාර්ථකව සිදු කිරීම සඳහා යම් නිශ්චිත කාලයකට ත්‍රිවිධ හමුදාව වෙත, නීතිපතිවරයා විසින් නිර්දේශ කරනු ලබන ඇතැම් බලතල පැවරෙන පරිදි මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ විශේෂ විධිවිධාන පනතක් කෙටුම්පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා; සහ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    වැලිඔය ප්‍රදේශයේ අවතැන් වූ පවුල් සඳහා නව නිවාස ඉදි කිරීමේ වැඩසටහන


    වැලිඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හැළඹවැව, මායාවැව, සපුමල්තැන්න, ගජබාපුර, හංසවිල හා නාමල්පුර යන ගම්මානවල ජීවත්ව ගැටුම් හේතුවෙන් අවතැන් වූ පවුල් 1,000කගේ නිවාස ගැටලුව විසඳීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ නිවාස 1,084ක් ඉදි කිරීමේ කටයුතු ආරම්භ කර, ඉන් නිවාස 994ක වැඩ අවසන් කර ඇත. මේ වන විට ඉතිරි නිවාස 90හි වැඩ නිම කෙ‍ෙරමින් පවතියි. එම ගම්මානවල ජීවත්ව සිට ගැටුම් හේතුවෙන් එම ප්‍රදේශ හැර ගිය තවත් පවුල් 256ක් නැවත ගම්බිම් වෙත පැමිණ අඩු පහසුකම් යටතේ තාවකාලික නිවාසවල පදිංචිව සිටින අතර සිය නිවාස ඉදි කරගැනීමට සහාය ලබා දෙන ලෙස ඔවුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව, ඔවුන් සඳහාද ඉහත නිවාස වැඩසටහන යටතේ නිවාස ඉදි කර දීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

     

    අලුතින් සංස්ථාපනය කරන ලද පළාත් පාලන ආයතන සඳහා පහසුකම් සැලැසීම


    - කලින් පැවති අඹගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය, අඹගමුව, මස්කෙළිය හා නොර්වුඩ් වශයෙන් නව බලප්‍රදේශ 03කටත්, නුවරඑළිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය, නුවරඑළිය, කොටගල, ආගරපතන වශයෙන් නව බලප්‍රදේශ 03කටත්, තමන්කඩුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය, පොළොන්නරුව මහනගර සභාව හා පොළොන්නරුව ප්‍රාදේශීය සභාව ලෙස නව බලප්‍රදේශ 02කටත්, බණ්ඩාරගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය, බණ්ඩාරගම හා මිල්ලනිය වශයෙන් නව බලප්‍රදේශ 02කටත් සීමා සංශෝධනය කර නව පළාත් පාලන ආයතන 10ක් සංස්ථාපනය කර තිබේ. එසේ අලුතින් ස්ථාපිත කරන ලද එම පළාත් පාලන ආයතන වෙතින් මහජනතාවට අවශ්‍ය සේවා කඩිනමින් සැපයීම සඳහා එකී පළාත් පාලන ආයතනවලට අත්‍යවශ්‍ය පහසුකම් සැලසීම පිණිස රුපියල් මිලියන 540ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කරවා ගැනීමට පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    දෙනියාය සතිපොළ වැඩිදියුණු කිරීම


    - දෙනියාය නගරය වෙත දිනකට පැමිණෙන 25,000ක පමණ පිරිසකට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා දැනට අබලන් තත්ත්වයක පවතින දෙනියාය සතිපොළ, කඩකාමර 80 - 120කින් සමන්විත වෙළඳපොළ සංකීර්ණයක් ලෙස නව මාර්ග පද්ධතියක් සහ යහපත් සනීපාරක්ෂක පහසුකම්ද සහිතව වැඩිදියුණු කර සංවර්ධනය කිරීම පිණිස තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සිංහරාජ රක්ෂිතයේ වෙසෙන අලි දෙදෙනා රැඳවීම සඳහා වන අලි රැඳවුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම


    - ලෝක උරුම සිංහරාජ රක්ෂිතයේ දැනට ඉතිරි වී සිටින වනඅලි දෙදෙනාගෙන් එම රක්ෂිතය අවට ජීවත්වන ගම්වාසීන්ට සිදුවන ජීවිත හා දේපළ හානි ක්‍රමයෙන් වර්ධනය වී තිබේ. මෙම පසුබිම තුළ අලි දෙදෙනාගේ ආරක්ෂාව සඳහා මෙන්ම ගම්වාසීන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව සඳහා ද කඩිනම් පියවරක් ගැනීමේ අවශ්‍යතාව කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, එම අලි දෙදෙනා රැඳවීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් ඉදි කිරීමට එම සතුන්ට ගැළපෙන පාරිසරික තත්ත්වයන් සහිත, කලවාන දොලේකන්ද ග්‍රාම නිලධාරි වසමේ පාරුගල ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර 36ක පමණ භූමි ප්‍රදේශයක් පවරා ගැනීම පිණිස තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කෙරෙන ගෑස් සිලින්ඩර මිල දී ගැනීම


    - ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ගෑස් බෙදා හැරීම සඳහා භාවිත කරනු ලබන ආරක්ෂිත වෑල්ව සහිත හිස් LP ගෑස් සිලින්ඩර 656,298ක් (විවිධ ප්‍රමාණයේ සිලින්ඩරවලින්), අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ඉන්දියාවේ M/s. Mauriya Udyog Ltd. වෙතින් රුපියල් මිලියන 2,057.1ක මුදලකට මිල දී ගැනීම පිණිස රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියර ඉදි කිරීම


    - යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා මහල් 05කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමේ දෙවන අදියර ලෙස එහි දෙවන (02) මහලේ සිට පස්වන (05) මහල දක්වා ඉදි කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි යාපනය ශික්ෂණ රෝහලේ අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයේ දෙවන අදියරේ ඉදි කිරීම් කටයුතු රුපියල් මිලියන 1,224.6ක මුදලකට ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය සහ මධ්‍යම ඉංජිනේරු සේවා පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    බදුල්ල පළාත් මහ රෝහලේ මහල් 10කින් යුතු ගොඩනැඟිල්ලක් ඉදි කිරීම


    - ඇඳන් 1,493කින් හා වාට්ටු 41කින් සමන්විත බදුල්ල පළාත් මහ රෝහල, ඌව පළාතේ විශාලතම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වේ. එම රෝහලෙහි හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, සහාය සායනික සේවාවන් සහිතව හෘද කැතීටකරණ රසායනාගාරයක් ඉදි කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ශල්‍ය/වෛද්‍ය වාට්ටු පහසුකම් හා හෘද රෝග පහසුකම් මෙන්ම යෝජිත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සේවා ඒකකයද ස්ථාපිත කිරීම සඳහා නව දසමහල් ගොඩනැඟිල්ලක් එම රෝහල් පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 3,958.2ක ආයෝජනයක් සහිතව මෙම දසමහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම


    - කොළඹ මහා නගර ප්‍රදේශ තුළ කාර්යක්ෂම හා ඵලදායී මගී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ශීඝ්‍රගාමී සංක්‍රමණ පද්ධතියක් හඳුන්වා දීම බස්නාහිර කලාපීය මහා නගර ප්‍රධාන සැලසුමේ ප්‍රධාන සංරචකයකි. ඒ යටතේ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ මාර්ග 07ක් ඉදි කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අතුරින් කොළඹ කොටුව ප්‍රදේශය වෙනත් ප්‍රධාන නගර සමඟ සම්බන්ධ කරන මාර්ගය සහ බත්තරමුල්ල හා මාලඹේ ප්‍රදේශය දෙසට විහිදෙන මාර්ගය ප්‍රමුඛතා මාර්ග ලෙස හඳුනාගෙන තිබේ.
    මෙම ප්‍රදේශ තුළ පවතින ඉහළ ජනඝනත්වය හේතුවෙන් එම මාර්ග කුලුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මාර්ග දෙකක් ‍ලෙස ඉදි කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ජපාන රජයෙන් අරමුදල් සහාය ඉල්ලා සිටිනු ලැබ තිබේ. ඒ අනුව, මාලඹේ සිට කොළඹ කොටුවේ පිහිටි බහු මාදිලි ප්‍රවාහන මධ්‍යස්ථානය දක්වා කිලෝමීටර 17ක දිගකින් යුතුව නැවතුම් පොළවල් 16කින් සහ ඩිපෝවකින් සමන්විත සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අඹතලේ ජල පොම්පාගරය ඉදි කිරීම


    - පාරිභෝගිකයන් වෙත වඩාත් ගුණාත්මක ජල සම්පාදන සේවාවක් සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත අඹතලේ ජල පොම්පාගාරය ඉදි කිරීමේ ව්‍යාපෘතිය, කොළඹ අගනගරය ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ හඳුනා ගනු ලැබ ඇති උප ව්‍යාපෘතියකි. ඒ අනුව, අඹතලේ ජල පොම්පාගාරය සැලසුම් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 1,181.5ක (බදු රහිත) මුදලකට මැලේසියාවේ M/s. SALCON ENGINEERING BERHAD වෙත ප්‍රදානය කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අඩු විදුලි පරිභෝජනයක් සිදු කරන විදුලි පාරිභෝගිකයින්ට LED (ආලෝක විමෝචන ඩයෝඩ) විදුලි පහන් සහන මිලට සැපයීම


    - ඉල්ලුම් පාර්ශ්වීය බලශක්ති කළමනාකරණ ජාතික වැඩසටහන යටතේ අඩු විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයන් අතර කාර්යක්ෂම LED විදුලි බල්බ භාවිතය දිරිගැන්වීම සඳහා සහන ණය ක්‍රමයක් යටතේ LED බල්බ බෙදා හැරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව, මෙම ව්‍යාපෘතිය සඳහා LED බල්බ ලක්ෂ 10 බැගින් වූ තොග 10ක්, එක් තොගයක් රුපියල් මිලියන 169.6ක මුදලකට, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි වියට්නාමයේ M/s. Rang Dong Light Source & Vacuum Flask සමාගම වෙත පිරිනැමීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    කෝකිලායි පාලම ඉදි කිරීම


    - කෝකිලායි කලපුව හරහා නව පාලමක් සහ ප්‍රවේශ මාර්ගයක් ඉදි කිරීම මඟින් ත්‍රිකුණාමලය හා ඒ අවට ජීවත්වන ජනතාවට යාපනය ප්‍රදේශය වෙත පහසුවෙන් ගමන් කිරීමට සහ මුලතිව් හා ත්‍රිකුණාමලය දක්වා වන දුර ප්‍රමාණය කිලෝමීටර 80කින් පමණ අඩු කර ගැනීමට හැකි වනු ඇත. මුලතිව් - කෝකිලායි - පුල්මුඩේ මාර්ගයෙහි කෝකිලායි කලපුව හරහා කෝකිලායි පාලම සහ ප්‍රවේශ මාර්ග ඉදි කිරීම සඳහා වන ප්‍රසම්පාදනය මේ සම්බන්ධයෙන් 2014 වර්ෂයේ එළඹි අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි චෙක් ජනරජයේ Bilfinger MCE Slany s.r.o. වෙත යුරෝ මිලියන 48.8ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා සහ ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2019 වසර සඳහා පාසල් සිසුන්ට නොමිලේ ලබා දෙන පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම


    - 2019 වර්ෂයේදී සිසුන් වෙත නොමිලයේ බෙදා හැරීමට නියමිත පාසල් පෙළපොත් 2018-11-04 දිනට ප්‍රථම පාසල්වලට බෙදා දීම සඳහා සැලසුම් කර තිබේ. ඒ සඳහා වර්ග 419කින් හා පිටපත් මිලියන 39.7කින් යුත් පාසල් පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 3,473.1ක මුදලකට දේශීය මුද්‍රණ ආයතන 27ක් වෙත පැවරීම පිණිස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    හියුමන් ඇල්බියුමින් සොලියුෂන් මිලිලීටර 50 බෝතල් 120,000ක් සැපයීම


    - වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධයක් වන හියුමන් ඇල්බියුමින් සොලියුෂන් බීපී/පීඑච් ඊයූආර්, 20% මිලිලීටර 50 බෝතල් 120,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදන, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි, M/s. Shire Singapore Pte. Ltd. වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.82කට ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නැමිය හැකි අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම


    - ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මවලදී ඇසට බද්ධ කිරීම සඳහා භාවිත කරන, නැමිය හැකි හයිඩ්‍රො‍‍ෆෝබික් අන්තඃ අක්ෂි කාච 93,767ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,062.2ක මුදලකට M/s. Hemas Pharmaceuticals (pvt) Ltd. වෙත ප්‍රදානය කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    2018 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව


    - 2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වන වගන්තිය යටතේ දක්වා ඇති නියමයන් අනුව, 2018 වසරේ පළමු මාස හතර (04) තුළ රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ යාවත්කාලීන තොරතුරු ඇතුළත් 'වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව' පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන සැලැස්ම යටතේ වාරි කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු කෙරෙමින් පවතින දැවැන්ත ආයෝජන පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීම


    - මහවැලි සංවර්ධන වැඩසටහන දශක තුනක පමණ කාලයක සිට මෙරට සංවර්ධනයට විශාල දායකත්වයක් සපයනු ලබන අතර, නව රජය බලයට පත් වීමෙන් පසුවද රුපියල් බිලියන 200කට ආසන්න මූල්‍ය ආයෝජනයක් යොදවමින් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ වැඩ අවසන් වී නොතිබුණු දැවැන්ත ජලාශ යෝජනා ක්‍රමයක් වන මොරගහකන්ද සහ කළුගඟ මහා ජලාශයන්ද, මහ කිතුල, මහ කිරුළ, අලිකොට ආර, හඳපානගල, ඩයරබා, පුහුල්පොල යනාදි මධ්‍යම පරිමාණ ජලාශයන්ද, සියවසේ විශාලතම වාරි ඇළ ව්‍යාපෘතීන් ලෙස උතුරු මැද මහ ඇළ, වයඹ මහ ඇළ සහ මිණිපේ මහ ඇළ යන වාරි ව්‍යාපෘතිවලද වැඩ නිම කෙ‍ෙරමින් පවතී.


    එමෙන්ම, මොරගහකන්ද විදුලි බලාගාරය, උමාඔය භූගත ජල විදුලි බලාගාරය, ජලාශ මතුපිට ස්ථාපනය කෙරෙන සූර්යතාප බලාගාර ඉදි කිරීම මඟින් ‍මෙගාවොට් 1,000ක් ඉදිරි වසර දෙක තුළ ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටද සැලසුම් කර තිබේ. තවද, වර්ෂා ජලය එක්රැස් කරගැනීම උදෙසා ඉදි කර ඇති පැරණි එල්ලංගා පද්ධති සිය ගණනක් පුනරුත්ථාපනය කෙරෙමින් ග්‍රාමීය වැව් 2,400ක් ඔස්සේ ගම්බිම්වලට වාරි සහ පානීය ජල අවශ්‍යතා සපයන දැවැන්ත වැඩසටහනද ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී. මෙම දැවැන්ත ආයෝජන වැඩසටහන පිළිබඳව රටේ සමස්ත ප්‍රජාව දැනුම්වත් කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya