Print this page

අමාත්‍ය මණ්ඩල තීරණ 2018.06.12

ජූනි 13, 2018

2018.06.12 දින පවැත්වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹුණු තීරණ පහත සඳහන් වේ.


හානිපූරණය සඳහා වන කාර්යාලය පිහිටුවීම

උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්වලට මැදිවීම, දේශපාලන නොසන්සුන්තා, සිවිල් කැලඹීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම වැනි විවිධ හේතු මත පීඩාවට පත්, හානිපූරණය සඳහා යෝග්‍ය තැනැත්තන් හඳුනාගෙන ඔවුන්ට හානිපූරණයක් ලබාදීමේ කටයුතු වඩා විධිමත්ව හා විනිවිදභාවයකින් යුක්තව සිදු කිරීම සඳහා වන්දි ගෙවීම/හානිපූරණය සඳහා වන කාර්යාලයක් පිහිටුවීම පිණිස නීති සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ අනුව, ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් පිළියෙල කරන ලද හානිපූරණය සඳහා වන කාර්යාලය සංස්ථාපනයට අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව එම පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම


ශ්‍රී ලංකාවේ පරිසරය හා සම්බන්ධ සියලු අංශ ජාතික මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නීතිමය රාමුව 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත මඟින් සලසා ඇති අතර, එම පනතට අදාළ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ මූලික ආයතනය ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ස්ථාපිත කර තිබේ. කාලීන අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි මෙම පනත අවස්ථා කිහිපයකදී සංශෝධනය කරනු ලැබූවද පරිසරය සම්බන්ධයෙන් වර්තමා‍නයේ උද්ගත වී ඇති ගැටලු සහ අනාගතයේදී උද්ගත වනු ඇතැයි අපේක්ෂා කෙරෙන ගැටලු සඳහා විසඳුම් සෙවීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ ඇත.

ඒ අනුව, විශේෂයෙන්ම කර්මාන්තශාලා මඟින් සිදුවන ජල දූෂණය, නාගරික කැලි කසළ සම්බන්ධ ගැටලු, අනවසර ඉදි කිරීම් නිසා ඇතිවන ගැටලු ආදී කාලීන හා අනාගත ගැටලුවලට සාර්ථකව මුහුණ දීම සඳහා 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීමත් ඊට අදාළ නීති සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමත් පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දුම්රිය එන්ජින් මිල දී ගැනීම සඳහා අරමුදල් සලසා ගැනීම


උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය මෙහෙයුම් සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12ක් මිල දී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ සඳහා අවශ්‍යවන ඇමරිකානු ඩොලර් මිලියන 48.67ක අරමුදල් කැනඩා අපනයන සංවර්ධන ආයතනයේ සහයෝගය මත ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව වෙතින් සපයා ගැනීම සඳහා ගිවිසුමකට එළඹීමට අදාළ කටයුතු සිදු කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මුතුරාජවෙල අවරකොටුව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ හිමිකරුවන්ට හිමිකම් ඔප්පු නිකුත් කිරීම


1994 වර්ෂයේදී සිදු කරන ලද මුතුරාජවෙල සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මුතුරාජවෙල වගුරු බිම තුළ පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන්ව එම භූමිය සංවර්ධනය කිරීමෙන් අනතුරුව, එම භූමියේම කොටසක නැවත පදිංචි කරවනු ලැබ තිබේ. එම ඉඩම්වල පදිංචිකරුවන්ට හිමිකම් ඔප්පු ලබා දීමට අදාළව සිදු කරන ලද සමීක්ෂණයකින් හඳුනා ගන්නා ලද පවුල් සඳහා හිමිකම් ඔප්පු ලබා දීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

අඩු ආදායම්ලාභී පවුල් 150,000කට සමෘද්ධි සහනාධාරය ලබාදීම


සමෘද්ධි සහනාධාර වැඩසටහන යටතේ මේ වන විට පවුල් මිලියන 1.38ක පමණ පිරිසකට ප්‍රතිලාභ සලසනු ලැබේ. එසේ වුවද, මෙම සහනාධාරය ලැබීම සඳහා යෝග්‍යයැයි හඳුනා ගෙන ඇති, දැනට සමෘද්ධි ප්‍රතිලාභ නොලබන, උතුරු නැ‍ඟෙනහිර ප්‍රදේශවල නැවත පදිංචි කරනු ලැබ ඇති පවුල් සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලද ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් රාශියක් සඳහා එම ප්‍රතිලාභය නොලැබෙන බව වාර්තා වී තිබේ. ඒ අනුව, අදාළ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ නිර්දේශ සහිතව, සමෘද්ධි ප්‍රතිලාභය හිමිවිය යුතු තවත් අඩු ආදායම්ලාභී පවුල් 150,000ක් සඳහා මෙම සහනය ව්‍යාප්ත කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය පී.හැරිසන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ආදර්ශ ගම්මාන තුළ 'සම්පත් පියස' වැඩසටහන ක්‍රියාත්මක කිරීම


නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය විසින් ක්‍රියත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහනෙහි ආදර්ශ නිවාස ගම්මාන වැඩසටහන යටතේ නිවසක් තනා ගැනීමට බිම් කොටසක් නොමැති අඩු අදායම්ලාභී හෝ දිළිඳු පවුල් වෙත ඉඩමක, නිවසක හා ජනාවාසයක අයිතිය ලබා දීම සඳහා කටයුතු කෙරේ. මෙම වැඩසටහන යටතේ මේ වන විට ප්‍රජා අයිතියට පත් කර ඇති ආදර්ශ ගම්මාන 75ක ප්‍රතිලාභීන්ට මත්ද්‍රව්‍ය නිවාරණ, සෞඛ්‍ය ප්‍රවර්ධන හා ගෙවතු වගා වැනි ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් අත් කර දීමට හැකි වී තිබේ. එම ගම්මානවල එක්රැස් වන නොදිරන අපද්‍රව්‍ය පරිසර හිතකාමී ලෙස බැහැර කිරීමට හැකි වනු පිණිස මධ්‍යම පරිසර අධිකාරිය විසින් හඳුන්වා දෙනු ලැබ ඇති 'සම්පත් පියස' ඒකකය බැගින් පරිසර සංරක්ෂණය පිළිබඳ ජනාධිපති කාර්යසාධන බලකායේ මෙහෙයවීම යටතේ සෑම ආදර්ශ ගම්මානයකම පිහිටුවීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

බේරුවල, අලුත්ගම ප්‍රදේශවල සිදුවූ සිද්ධියේ දී විනාශයට පත්වූ දේපල සඳහා විශේෂ වන්දි ප්‍රදානය


කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල හා අලුත්ගම යන ප්‍රදේශවල 2014 වර්ෂයේදී සිදුවූ මහජන කැලඹීම් හේතුවෙන් හානි වූ දේපළ සඳහා පවතින රෙගුලාසි යටතේ ලබා දිය හැකි උපරිම වන්දි මුදල් ලබා දීම සඳහා රජය විසින් කටයුතු කරනු ලැබ තිබේ. එසේ වුවද, එමඟින් ආවරණය නොවූ ගෘහ හා අනෙකුත් උපකරණවලට සිදු වූ හානිවලට අදාළව තවදුරටත් ගෙවිය යුතු බවට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පත් කරනු ලැබ ඇති විශේෂ තක්සේරු කමිටුවක් විසින් නිර්දේශ කරනු ලැබ ඇති ගෙවීම් සිදු කිරීමට හැකි වන පරිදි රුපියල් මිලියන 185.9ක මුදලක් වෙන් කරවා ගැනීම පිණිස නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමිනාදන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරන ලදී.

 

මගී දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම


ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මගී සේවා තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින්, ඉන්දියානු ණය ආධාර යටතේ දුම්රිය මගී මැදිරි 160ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි, ඇමරිකන් ඩොලර් මිලියන 82.63ක මුදලකට එම්/එස්. රයිට්ස් ලිමිටඩ් සමාගම වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

පිරිවැය ඇස්තමේන්තු සමාලෝචන කමිටුව පිහිටුවීම


රජය විසින් ක්‍රියාවට නංවනු ලබන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමේදී ඒවා බොහෝමයක ඉංජිනේරු ඇස්ත‍ෙම්න්තුව ඉක්මවූ මුදලකට කොන්ත්‍රාත් ප්‍රදානය කිරීමත්, ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතරතුර ඒවායේ පිරිවැය ඉහළ යාමත් නිතර සිදුවන බව පෙනී ගොස් ඇත. මෙම තත්ත්වය නිවැරදි කිරීම සඳහා නිසි යන්ත්‍රණයක් හඳුන්වා දීමත් යථාර්ථවාදී පිරිවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා ප්‍රසම්පාදන අස්ථිත්වයන්ට මඟ පෙන්වීමත් කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන ප්‍රසම්පාදන කමිටුවල අධිකාරි බලය යටතේ වන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු හා කොන්ත්‍රාත් පිරිවැය විචලනයන් සමාලෝචනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ අදාළ නිලධාරින්ගෙන් සමන්විත පිරිවැය ඇස්තමේන්තු සමාලෝචන කමිටුවක් ස්ථාපිත කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දෙල්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය


ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙහි ප්‍රධාන ආයෝජන සැලැස්මෙහි ඇතුළත් ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන දෙල්තොට ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඔස්ට්‍රියාවේ M/s. M-U-T GmbH ආයතනය සමඟ කටයුතු කිරීමටත්, එම ආයතනය වෙත යෝජනා කැඳවීම් නිකුත් කිරීමටත් නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනයේ ඛනිජ වැලි විකිණීම


කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන ලංකා මිනරල් සෑන්ඩ්ස් ආයතනය ප්‍රධාන වශයෙන් ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් සහ හයි ටයි ඉල්මනයිට් කැනීමේ, වෙන් කිරීමේ සහ විකිණීමේ යෙදෙන රාජ්‍ය සමාගමකි. එම සමාගම විසින් ඉල්මනයිට් මෙට්‍රික් ටොන් 25,000ක් විකිණීම සඳහා මිල ගණන් කැඳවනු ලැබ ඇති අතර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් කමිටුවේ නිර්දේශය පරිදි, මෙට්‍රික් ටොන් 01ක් ඇමරිකානු ඩොලර් 145.25ක මුදලකට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, ‍ඩුබායිහි Rescom Mineral Trading FZE සමාගම වෙත එම ඉල්මනයිට් තොගය විකිණීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඌව පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීම


දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 900ක අරමුදල් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර ඇති අතර, එම වැඩසටහන උතුරු, නැ‍ඟෙනහිර, ඌව සහ බස්නාහිර යන පළාත්වල ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. ඒ යටතේ ඉදි කිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය ඇතුළත්ව ඌව පළාතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශක ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, කොරියාවේ Pyunghwa Engineering Consultants ආයතනය සහ ශ්‍රී ලංකාවේ Consulting Engineers and Architects Associated (Pvt) සමාගම එක්ව පිහිටුවා ගනු ලැබූ හවුල් ව්‍යාපාරය වෙත රුපියල් මිලියන 1,154.8ක මුදලකට පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

බිබිල සිට චෙන්කලාඩි, පදියතලාව සිට ටැම්පිටිය මාර්ග වැඩිදියුණු කිරීම


බිබිල සිට චෙන්කලාඩි දක්වා වන කිලෝ මීටර 86.75ක දිගකින් යුතු මාර්ග කොටස පුනරුත්ථාපනය කර, වැඩිදියුණු කිරීම සඳහා සවුදි අරමුදල විසින් ණය පහසුකම් සලසනු ලැබ ඇත. එම ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් කොන්ත්‍රාත් පැකේජ 02, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි Consulting Engineers & Contractors (Pvt.) Ltd. වෙත ප්‍රදානය කි‍රීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

* බිබිල සිට පදියතලාව දක්වා වන කිලෝමීටර 29ක මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 2,389.07ක මුදලකට.

* පදියතලාව සිට ටැම්පිටිය දක්වා වන කිලෝමීටර 30ක මාර්ග කොටස පුනරුත්ථාපනය හා වැඩිදියුණු කිරීම රුපියල් මිලියන 2,295.63ක මුදලකට.

 

උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වල සංවර්ධන වැඩසටහන් මෙහෙයවීම, සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස කාර්යසාධක බලකායක් පත් කිරීම


උතුරු නැ‍ඟෙනහිර පළාත්වල පැවති ගැටුම්කාරී තත්ත්වය නිමා වීමෙන් අනතුරුව, එම පළාත්වල සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, එම පළාත්වල ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම පිණිස එම ව්‍යාපෘති මඟින් ප්‍රමාණවත් බලපෑමක් සිදුව ඇති බවක් නිරීක්ෂණය නොවේ. එබැවින්, රජයේ විවිධ ආයතන විසින් උතුරු සහ නැ‍ඟෙනහිර පළාත්වල ක්‍රියාත්මක කරනු ලබන සංවර්ධන වැඩසටහන් සම‍ාලෝචනය, සම්බන්ධීකරණය, මෙහෙයවීම හා පසුවිපරම් කිරීම පිණිස සිය සභාපතිත්වය යටතේ සහ ගරු අග්‍රාමාත්‍යතුමා, පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, සන්නද්ධ හමුදාවන්හි හා ශ්‍රී ලංකා පොලීසියේ එකී පළාත් භාර නිලධාරින් සහ අනෙකුත් අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් සමන්විත කාර්යසාධක බලකායක් පත් කිරීමට පියවර ගෙන ඇති බවට අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

 

භූමිතෙල් මිල අඩු කිරීම


ලෝක වෙළඳ පොළේ ඉහළ මිලගණන්වලට සාපේක්ෂව ‍ සහන මිලක් යටතේ ලබා දුන් භූමිතෙල් මිල යම් පමණකින් ඉහළ දැමීමට රජය විසින් මීට පෙර තීරණය කරන ලදී. එසේ වුවද, සිය බෝට්ටු/යාත්‍රාවන් සඳහා ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදාගනු ලබන ධීවරයන් මෙන්ම ආලෝකය ලබාගැනීම සඳහා භූමිතෙල් භාවිත කරනු ලබන අඩු ආදායම්ලාභීන් විසින්ද සිදු කරන ලද ඉල්ලීම සැලකිල්ලට ගනිමින්, රුපියල් 101/- දක්වා වැඩි කරන ලද භූමිතෙල් ලීටරයක මිල, රුපියල් 70/- දක්වා අඩු කිරීම පිණිස ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ ඇමතිතුමා සහ මුදල් හා ජනමාධ්‍ය ඇමතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව - 2017


2003 අංක 03 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතෙහි විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ හා මහජනතාවගේ දැනගැනීම පිණිස අවසන් අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් මුදල් ඇමතිතුමා විසින් පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබිය යුතුය. ඒ අනුව, එම තොරතුරු ඇතුළත්, 2017 වර්ෂය සඳහා වන මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.