අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ 2018 - 01 - 16

    ජනවාරි 17, 2018

    2018.01.16 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණ පහත සඳහන් වේ.

    කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව (Smallholder Agribusiness Partnership) වැඩසටහන


    - ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂි නිෂ්පාදකයින්ගේ තරගකාරී හැකියාවන් වර්ධනය කරමින් ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග පුළුල් කරගැනීමට සහාය දැක්වීමේ අරමුණින්, කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (IFAD) ආධාර යටතේ 'කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන' (Smallholder Agribusiness Partnership Programme) ක්‍රියාත්මක කෙරේ. සාපේක්ෂව අඩු සංවර්ධනයක් සහිත දිස්ත්‍රික්කවලට ප්‍රමුඛතාව ලබා දෙමින් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් අඩු ආදායම්ලාභී ග්‍රාමීය පවුල් 57,500කට පමණ ප්‍රතිලාභ අත් වනු ඇත.

    සිය ගොවිපළ සංවර්ධනය සහ වාණිජ මට්ටමින් ව්‍යාපාර ශක්තිමත් කරගැනීම සඳහා තරුණ ගොවි ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම මෙම ව්‍යාපෘතියෙහි ප්‍රධාන අංගයකි. ඒ අනුව, නිෂ්පාදන කණ්ඩායම්, ගොවි කණ්ඩායම් සහ තරුණ කෘෂි ව්‍යවසායකයින්ට අවශ්‍ය ප්‍රාග්ධනය සලසා ගැනීම සඳහා 6.5%ක වාර්ෂික පොලී අනුපාතයකට මෙම වැඩසටහන යටතේ ණය පහසුකම් සලසා දීම පිණිස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ශ්‍රී ලංකා දුම්රිය ‍ෙදපාර්තමේන්තුවට අයත් සියලු ඉඩම් සඳහා ඉඩම් සමීක්ෂණ සහ සමාජ ආර්ථික සමීක්ෂණ ක්‍රියාත්මක කිරීම


    - වර්තමාන සහ අනාගත අවශ්‍යතාවන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා රජය විසින් වෙන් කර දෙනු ලැබ ඇති සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතු වේ. විවිධ සමාජ - ආර්ථික හා දේශපාලනික කරුණු හේතුවෙන් දුම්රිය ඉඩම් අනවසරයෙන් අල්ලා ගැනීම හා භාවිත කිරීම නිසා දුම්රිය ඉඩම්වල සීමා මායිම් පිළිබඳ ගැටලු රැසක් උද්ගත වී ඇති අතර, දුම්රිය මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ සහ නවීකරණ කටයුතුවලටද මෙය බාධාවක් වී තිබේ. එමෙන්ම ආදායම් රැස් කිරීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉඩම් කට්ටි 7,000ක් පමණ බදු පදනම මත ලබා දී ඇති අතර, එම ඉඩම් කළමනාකරණය හා හිඟ බදු එක්රැස් කිරීමද සතුටුදායක පරිදි සිදු නොවේ.

    එබැවින්, දුම්රිය ඉඩම්වල සීමා මායිම් මැනුම් කර, පැහැදිලිව නිර්ණය කර, නිශ්චිතව සිතියම්ගත කිරීමට හා ඒවායේ පදිංචිකරුවන් හඳුනාගැනීම පිණිස සියලු දුම්රිය ඉඩම් සඳහා ඉඩම් සමීක්ෂණ පැවැත්වීමටත්, දුම්රිය ඉඩම් අනවසරයෙන් අල්ලාගෙන පදිංචි වී සිටින තැනැත්තන් නැවත පදිංචි කරවීමට සහ බදු පදනම මත ලබා දී ඇති දුම්රිය ඉඩම් කළමනාකරණය විධිමත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් සියලු ඉඩම් ආවරණය වන පරිදි සමාජ -ආර්ථික සමීක්ෂණයක් සිදු කිරීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර ඇති කරගනු ලබන ගිවිසුම


    - ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර මිත්‍රශීලි සබඳතා වැඩිදියුණු කරගැනීමේ අරමුණින්, රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි දෙරටේ පුරවැසියන් දෙරට අතර සංචාරය කිරීමේදී වීසා අවසරපත්‍ර ලබාගැනීමේ අවශ්‍යතාවෙන් නිදහස් කිරීම සඳහා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    අගය එකතු කර අපනයනය කිරීම සඳහා බ්‍රිස්ටල් කෙඳි ආනයනය කිරීම


    - පොල් ආශ්‍රිත නිෂ්පාදනයක් වන බ්‍රිස්ටල් කෙඳි මෙට්‍රික් ටෙන් 8,000ත් 15,000ත් අතර ප්‍රමාණයක් රටවල් 20කට පමණ වාර්ෂිකව මෙරටින් අපනයනය කෙරෙන අතර, එමඟින් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් උයපනු ලබයි. බුරුසු, කොසු හා කළාල වැනි නිමි භාණ්ඩ වශයෙන් අගය එකතු කර බ්‍රිස්ටල් කෙඳි අපනයනය කිරීම මඟින් වැඩි ආදායමක් උපයාගත හැකි නමුත්, බ්‍රිස්ටල් කෙඳි දේශීයව සපයා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් ඊට බාධා එල්ල වී තිබේ.

    එබැවින්, දේශීය පොල් ඵලදාව යථා තත්ත්වයට පත් වන තෙක්, දැඩි ශාක නිරෝධායන නීතිරීතිවලට යටත්ව සහ පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට මෙන්ම අදාළ කොන්දේසිවලට යටත්ව, අගය එකතු කර අපනයනය කිරීම සඳහා අමුද්‍රව්‍ය ස්වරූපයෙන් ඉන්දියාවෙන් බ්‍රිස්ටල් කෙඳි ආනයනය කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව හා තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම


    - කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර හුවමාරු කරගැනීමේ අරමුණින්, කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. තවද ශ්‍රී ලංකාවෙන් තුර්කි ජනරජය වෙත අපනයනය කෙරෙන තේ ප්‍රමාණය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් විශේෂ ගිවිසුමකට එළඹීමට සැලසුම් කරනු ලැබ ඇති බව ද අමාත්‍ය මණ්ඩලය විසින් මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී.

     

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන පලතුරු භෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම, අගය දාමයන් වැඩිදියුණු කිරීම සහ වාණිජකරණය සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම


    - ශ්‍රී ලංකාවේ පලතුරු භෝග වගාවන්හි නිෂ්පාදනය ඉහළ නැංවීම සහ කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම මඟින් දේශීය හා අපනයන වෙළඳ පොළට උචිත පරිදි එම භෝගයන්හි වෙළඳ කටයුතු ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් සඳහා තාක්ෂණික සහාය ලබා දීමට මහජන චීන සමූහාණ්ඩුවේ දකුණු - දකුණු සහයෝගිතා (South-South Cooperation) සංවිධානය විසින් එකඟතාව පළ කරනු ලැබ තිබේ. මේ යටතේ කෙසෙල්, අඹ සහ අන්නාසි යන පලතුරු භෝග ඉලක්ක කරගනිමින් ඒවායේ නිෂ්පාදනය, ගුණාත්මක බව හා ඵලදායීතාව ඉහළ නැංවීමටත්, අගයදාමයන් වැඩිදියුණු කිරීමටත්, පලතුරු උද්‍යාන හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා ආයෝජන ආකර්ෂණය වැඩිවන පරිදි රාජ්‍ය - පෞද්ගලිකත්ව හවුල්කාරිත්ව ක්‍රමවේදය ප්‍රවර්ධනය කිරීමටත් සැලසුම් කරනු ලැබ තිබේ.

    කෙසෙල් භෝගයේ අගයදාම කටයුතු ප්‍රධාන වශයෙන් මොනරාගල හා කළුතර දිස්ත්‍රික්ක පදනම් කරගෙනද, අඹ භෝගයේ අගයදාම කටයුතු අනුරාධපුරය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක පදනම් කරගෙනද, අන්නාසි භෝගයේ අගයදාම කටයුතු ගම්පහ, කුරුණෑගල හා මොනරාගල දිස්ත්‍රික්ක පදනම් කරගෙනද සිදු කෙරෙනු ඇත. මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනයට ඉවහල් වන ඉහත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, චීන රජය සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය අතර ත්‍රෛපාර්ශ්වීය ගිවිසුමක් ඇති කරගැනීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සැකකරුවෙකු / චූදිතයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් නිශ්චිත අවස්ථාවන් වලදී ඉවත් කිරීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම


    - අත්අඩංගුවට ගනු ලැබූ සෑම සැකකරුවෙකුම පැය 24ක් තුළ මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ඉදිරිපත් කළ යුතු අතර, එහිදී ඇප ලබා දීමකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලබන විටකදී එම නියෝගය දීර්ඝ කරගැනීම සඳහා සාමාන්‍යයෙන් සති 02කට වරක් රැඳවූවන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වේ. ‍එමෙන්ම ඇප ලබා දීම සඳහා මහේස්ත්‍රාත්වරයාට අධිකරණ බලයක් නොමැති අවස්ථාවලදී පවා සැකකරු / චූදිතයා වරින් වර මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    මෙරට අධිකරණ පද්ධතිය තුළ පවතින, ප්‍රමාදයන් සහ විශේෂයෙන්ම රැඳවූවන් අධිකරණය වෙත රැගෙන යාමේදී සිදු වූ අවාසනාවන්ත සිදුවීම්, සැකකරුවන්ට එරෙහි ජීවිත තර්ජන සහ ඔවුන් අත්අඩංගුවෙන් පැනයාමට ඇති අවස්ථා සැලකිල්ලට ගෙන, සැකකරුවන්/චූදිතයන් අධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු අවස්ථා සීමා කිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහය හා අපරාධ නඩු විධාන සංග්‍රහය පහත සංශෝධන සඳහා පත් කරන ලද විශේෂ කමිටු‍වේ නිර්දේශය පරිදි, සිරකරුගේ සුබසාධනය පිළිබඳ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාව තවදුරටත් පවත්වා ගනිමින්, රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළ නියෝගය දීර්ඝ කිරීමේ පරමාර්ථය සඳහා සැකකරු හෝ චූදිත තැනැත්තා මහේස්ත්‍රාත්වරයා ඉදිරියට පැමිණවීම අවශ්‍ය නොවන ක්‍රියා පටිපාටියක් නිශ්චිතව හඳුනාගත් අවස්ථාවන් යටතේ හඳුන්වා දීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගරු පළාත් සභා මන්ත්‍රීවරුන‍් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් වැඩි කිරීම


    - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ගරු පළාත් සභා මන්ත්‍රීවරුන‍් වෙත ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම්වල වටිනාකම 2007 වර්ෂයෙන් පසු සංශෝධනය කරනු ලැබ නොමැති අතර, ඒ අතර කාලය තුළ තැපැල් ගාස්තු සංශෝධනය වී ඇත. එබැවින් ඊ‍‍‍ට සමගාමීව නිදහස් තැපැල් පහසුකමට අදාළ වටිනාකමද සංශෝධනය කිරීම සඳහා ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ.

    ඒ අනුව, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 175,000/-ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 350,000/-ක් දක්වා ඉහළ නැංවීමටත්, ගරු පළාත් සභා මන්ත්‍රීවරුන‍් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 24,000/-ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 48,000/-ක් දක්වා ඉහළ නැංවීමටත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම


    - අපරාධ වැළැක්වීම සඳහා වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර ක්‍රියාකාරී හවුල්කාරිත්වය වැඩිදියුණු කිරීමට දෙරට අතර එකඟතාවක් ඇති වී තිබේ. ඒ අනුව, පොලිස් පුහුණුව හා විද්‍යාත්මක පර්යේෂණ සම්බන්ධව යාවත්කාලීන කරන ලද තොරතුරු හුවමාරු කරගැනීම තුළින් සහයෝගිතාව වර්ධනය කරගැනීමේ අරමුණින් වියට්නාමයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මඟින් කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැඩිදියුණු කිරීම


    - කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ, එහි උරුමය සුරැකෙන පරිදි සංවර්ධනය කර සුඛෝපභෝගී හෝටල් සන්නාමයක් බවට පත් කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම පිණිස සිංගප්පූරුවේ HPL Hotels and Resorts සමාගම විසින් යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, එම යෝජනාව ඇගයීම සඳහා ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමටත්, රජයේ අදාළ මාර්ගෝපදේශයන්ට ය‍ටත්ව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරීමටත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා; රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මැතිතුමා සහ සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     


    අකුරේගොඩ, ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය ස්ථාපනය කිරීම


    - අකුරේගොඩ, ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණය ඉදි කිරී‍ෙම් ව්‍යාපෘතියේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය සැලසුම් කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම හා සවි කිරීම (Design, Supply, Installation, Testing and Commissioning of Water Mains for DHQC Project) සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 494.48ක මුදලකට M/s Frigi Engineering Services (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ගුවන් ගමන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම


    - ශ්‍රී ලංකාව සඳහා ගුවන් ගමන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් සැපයීම, ස්ථාපිත කිරීම සහ බලගැන්වීම සඳහා ලංසු කැඳවනු ලැබ ඇති අතර, ප්‍රංශ සමාගමක් හා කැනඩා සමාගමක් විසින් ඒ සඳහා ලංසු ඉදිරිපත් කරනු ලැබ තිබේ. ලංසු ඇගයීමට ලක් කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි, ඊට අදාළ කොන්ත්‍රාත්තුව, යුරෝ මිලියන 3.3ක හා රුපියල් මිලියන 65ක එකතුවට සමාන මුදලකට ප්‍රංශයේ M/s Thales Air Systems S.A.S. වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නාගරික පොදු මගී ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස්රථ 50ක් මිල දී ගැනීම


    - පහසුකම් සහිත, විශ්වාසදායී හා කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම නිසා බොහෝ දෙනෙකු විසින් තම එදිනෙදා ගමන් බිමන් සඳහා පෞද්ගලික වාහන භාවිත කරනු ලබන අතර, ඒ හේතුවෙන් නාගරික මාර්ගවල අධික වාහන තදබදයක් හා වාතය අපිරිසිදු වීමක් දක්නට ලැබේ.

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය(ශ්‍රී ලං.ග.ම) සතුව ධාවනය කළ හැකි තත්ත්වයේ බස්රථ 6,300ක් ඇති අතර, ඉන් බස්රථ 2,467ක් වසර 10කට වඩා පැරණි වේ. එම පැරණි බස්රථ නිතර ආපදාවට ලක්වීම හේතුවෙන් මහජනතාවට විශ්වාසදායී හා කාර්යක්ෂම බස්රථ සේවාවක් සැපයීමේදී බාධා එල්ල වේ. එමෙන්ම, කාලසටහන් අවශ්‍යතා අනුව යෙදවීම සඳහා එම මණ්ඩලයට අවශ්‍ය මුළු බස්රථ සංඛ්‍යාව 7,257ක් වේ. තවද, ශ්‍රී ලං.ග.ම. බස්රථ ඇණිය 100%ක්ම ඩීසල් බස්රථවලින් සමන්විත වන බැවින් එය වායු දූෂණයට ද හේතු කාරකයක් වේ.

    එබැවින්, වයෝවෘද්ධ හා ආබාධිත මගී ජනයාටද පහසුවෙන් භාවිත කළ හැකි, පරිසර හිතකාමී, ශීඝ්‍ර බස්රථ ප්‍රවාහන සේවයක් (Bus Rapid Transit System) කොළඹ නගරය තුළ ස්ථාපිත කිරීමටත්, මේ සඳහා වායු සමීකරණය කරන ලද, පතුල පහත් විදුලි බස්රථ 50ක් ශ්‍රී ලං.ග.ම. වෙත මිල දී ගැනීමටත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම - අදියර 2


    - ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය විසින් කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ උපාධි පාඨමාලා 13ක් පවත්වාගෙන යනු ලබන අතර, වර්තමානයේ සිසුහු 2,200ක් පමණ එහි අධ්‍යයන කටයුතුවල නිරතව සිටිති. එම විශ්වවිද්‍යාලය සඳහා බඳවා ගනු ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් වැඩි කෙරෙමින් පවතින අතර, ඊට සමගාමීව එහි යටිතල පහසුකම් වැඩිදියුණු කළ යුතුව තිබේ.

    ඒ අනුව, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැඟිල්ල, ශ්‍රවණාගාරය, කාර්ය මණ්ඩල ඉගැනුම් ඒකකය, විකල්ප ජල සැපයුම් පද්ධතිය හා ශිෂ්‍ය සුබසාධන මධ්‍යස්ථානය ඉදි කිරීම සහ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ප්‍රවේශය වැඩිදියුණු කිරීමට අදාළ කටයුතු 2018 වර්ෂයේදී ආරම්භ කිරීමටත්, ඒ සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවන් තෝරාගැනීම පිණිස ලංසු කැඳවීමටත් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමයේ අදියර III ක්‍රියාත්මක කිරීම


    - නිදන්ගත වකුගඩු රෝගයට ලක් වී ඇති, සුරක්ෂිත පානීය ජල මූලාශ්‍ර නොමැති ප්‍රදේශයක් වන මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීම ඉලක්ක කරගනිමින් මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමය ක්‍රියාත්මක කෙරේ. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වූ පවුල්ද මෙම ප්‍රදේශයේ නැවත පදිංචි කරවීම නිසා සුරක්ෂිත පානීය නළ ජලය සඳහා ඇති ඉල්ලුම වැඩිවෙමින් පවතින අතර, එම ඉල්ලුම ආවරණය කිරීමේ අරමුණින් මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමය අදියර III ක්‍රියාත්මක කිරීමට තීරණය කරනු ලැබ තිබේ.

    එම අදියර III ව්‍යාපෘතිය යටතේ බෙදාහැරීම් පද්ධතිය සඳහා සැලසුම් සකස් කිරීමේ හා ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, රුපියල් මිලියන 1,230ක මුදලකට M/s Squire Mech Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම


    - නිදන්ගත වකුගඩු රෝගයට සහ දන්ත හා අස්ථි ෆ්ලෝරෝසියාවට හේතුකාරක වන අනාරක්ෂිත භූගත ජලය මත යැපෙන රඹෑව හා මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වෙසෙන ජනතාවට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය සැපයීමේ අරමුණින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියෙහි අදියර 1 ක්‍රියාත්මක කෙරේ.

    එම අදියර 1 ව්‍යාපෘතිය යටතේ ජලය ලබාගැනීමේ ව්‍යූහය ඉදි කිරීම, ජල පවිත්‍රාගාරය, ජල ගබඩා ව්‍යූහයන්, යාන්ත්‍රික, විදුලි ‍හා ගොඩනැඟිලි වැඩ ඉදි කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයෙන් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 6.17ක සහ දේශීය අරමුදල් රුපියල් මිලියන 2,349ක එකතුවට සමාන මුදලකට M/s Access Engineering PLC වෙත පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම


    - ශ්‍රී ලංකාවේ අධිකරණ පවත්වාගෙන යනු ලබන ගොඩනැඟිලි බොහොමයක් ඉතා පැරණි වන අතර, ඒවා නඩත්තුව සඳහා විශාල මුදලක් වැය කළ යුතුව තිබේ. එමෙන්ම, නීති කෘත්‍යයන් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් එම ගොඩනැඟිලිවල පවතින ඉඩකඩද ප්‍රමාණවත් නොවේ. තවද, වැලිමඩ හා රත්නපුර අධිකරණ සංකීර්ණ නාය යාමේ අවදානමක් සහිත ඉඩම්වල පිහිටා ඇති බැවින් ඒවා ප්‍රතිස්ථාපනය කළ යුතුව තිබේ.

    ඒ අනුව, 2018 වර්ෂය සඳහා වූ අයවැය මඟින් වෙන් කරනු ලැබ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් වැලිමඩ, රත්නපුර, තෙල්දෙණිය, පූගොඩ, කන්තලේ සහ කිලිනොච්චිය යන ප්‍රදේශවල පිහිටි අධිකරණ සංකීර්ණ සඳහා නව ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීමට නියමිත CITES CoP, 18 වන සමුළුවට අදාළ සත්කාරක රාජ්‍ය ගිවිසුම (Host Country Agreement)
    - වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ව හා ශාක ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ සම්මුතියට (Convention on International Trade in Endangered Species of Wild Fauna and Flora - CITES) ශ්‍රී ලංකාව 1976 වර්ෂයේ සිට පාර්ශ්වකරුවෙකු වේ. මෙම සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 18 වන සමුළුව 2019 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිණිස සත්කාරකත්වය දැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, 2019 මැයි මස 22 දින සිට 2019 ජුනි 03 දින දක්වා එම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, එහි සත්කාරකත්වය දැරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ඉහත කී ජාත්‍යන්තර සම්මුතියේ ලේකම් කාර්යාලය අතර සත්කාරක රාජ්‍ය ගිවිසුමකට (Host Country Agreement) අත්සන් තැබීම පිණිස තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    සක්‍රීය ණය කළමනාකරණය පනත් කෙටුම්පත


    - ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ. මෙහිදී ඇති විය හැකි ඕනෑම අවදානමක් වළක්වා ගැනීම සඳහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. එබැවින්, සක්‍රීය රාජ්‍ය ණය කළමනාකරණය සඳහා උපායමාර්ගයක් ලෙස වගකීම් කළමනාකරණය යොදා ගැනීම සඳහා නීති කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අනුව, සකස් කරනු ලැබ ඇති සක්‍රීය ණය කළමනාකරණය පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම


    - ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගැනීමට යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් විධිවිධාන සම්බන්ධයෙන් දෙරටෙහිම විශේෂඥයින් විසින් සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඇත. භාණ්ඩ වෙළඳාම, සේවා වෙළඳාම, සේවා නිදහස්කරණය, ආයෝජන, රාජ්‍ය ප්‍රසම්පාදන, තරගකාරිත්වය ආදී ක්ෂේත්‍රවලට අදාළ විධිවිධාන යෝජිත නිදහස් වෙළඳ ගිවිසුමේ ඇතුළත් වේ. කෙටුම්පත් ගිවිසුම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද නිරීක්ෂණද සැලකිල්ලට ගනිමින් යෝග්‍ය සංශෝධන ඇතුළත් කිරීමට කටයුතු කරනු ලැබ තිබේ. මෙම සංශෝධන හඳුන්වාදීම තුළින් ආයෝජන සඳහා වඩාත් හිතකර පරිසරයක් ගොඩනැ‍ඟෙන අතර, එම නිසා ශ්‍රී ලංකාවට සිංගප්පූරුවෙන් ලැබෙන ඍජු විදේශ ආයෝජන ඉහළ නැංවෙනු ඇත.

    ඒ අනුව, අවසන් කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලබාගැනීමට යටත්ව, ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම


    - දෙරට අතර මිත්‍රශීලි සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීම

     

    - අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන්ම වෙන් වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීමට අවශ්‍ය නීති සකස් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ. මෙම කාර්යය සඳහා 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක විසින් පනත් කෙටුම්පතක් සකස් කරනු ලැබ තිබේ.

    ඒ අනුව, අවස්ථානුගත පරිදි, අදාළ වැරදිවල ස්වභාවය, බරපතල බව, සංකීර්ණ බව, රජය හෝ වින්දිතයන් වෙත සිදුව ඇති බලපෑම, ජාතික සුබසිද්ධිය ආදී කරුණු විධිමත් ක්‍රමවේදයකට යටත්ව සැලකිල්ලට ගෙන පනතේ නිශ්චිතව දක්වනු ලබන වරදවල් සම්බන්ධයෙන් වන අපරාධ නඩු කටයුතු නීතිපතිවරයා හෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යෝජිත මහාධිකරණය වෙත යොමු කළ හැකි වනු ඇත. මෙම පනත් කෙටුම්පත මේ වන විට නීතිපතිවරයාගේ නිෂ්කාශනය සඳහා යොමු කරනු ලැබ තිබේ. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කරන ලද ඉහත කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya