Print this page

අමාත්‍ය මණ්ඩල තීරණ - 2017.01.31

පෙබරවාරි 01, 2017

2017.01.31 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල එළැඹි තීරණ පහත සඳහන් වේ.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ ඇති කරගනු ලබන එකඟතා ගිවිසුම

 

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර එළඹුණු අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ එකඟතා ගිවිසුම 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා ක්‍රියාත්මක විය. දෙරටෙහි උසස් අධ්‍යාපන අංශ අතර අන්‍යෝන්‍ය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ සහ දෙරටෙහි උසස් අධ්‍යාපන ආයතන අතර සම්බන්ධතාව තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්, වර්ෂ 2016 - 2020 කාලය සඳහා අදාළ සංශෝධන සහිතව එකී ගිවිසුම ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය සහ වියට්නාමයේ අධ්‍යාපන හා පුහුණු කිරීමේ අමාත්‍යාංශය අතර වන අධ්‍යාපනික සහයෝගිතාව පිළිබඳ නව එකඟතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර කාර්මික නිපුණතා ක්ෂේත්‍රයේ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහන


- නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සමඟ සිසුන් සහ ගුරුවරුන් හුවමාරු කරගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ, මයින්ස්හි පිහිටි තාක්ෂණ විද්‍යාලය (BBS III) විසින් කැමැත්ත පළ කරනු ලැබ තිබේ. ඒ අනුව, සිසුන් හා ගුරුවරුන් හුවමාරු කරගැනීමේ සහයෝගිතා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ, මයින්ස්හි තාක්ෂණ විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

'සුඛිත පුරවර' නගර සංවර්ධන වැඩසටහනට අයත් ව්‍යාපෘති 2017 වර්ෂය තුළ තවදුරටත් ක්‍රියාත්මක කිරීම සහ නව ව්‍යාපෘති ආරම්භ කිරීම


- මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලබන 'සුඛිත පුරවර' නාගරික සංවර්ධන වැඩසටහන යටතේ 2016 වසර තුළ ව්‍යාපෘති 64ක ඉදි කිරීමේ කොන්ත්‍රාත්තු ප්‍රදානය කරනු ලැබ තිබේ. විවිධ සාධාරණ හේතු නිසා 2016 මූල්‍ය වර්ෂය අවසන්වීමට පෙර සම්පූර්ණ කළ නොහැකි වූ ඉන් ඇතැම් ව්‍යාපෘති සහ 2017 වර්ෂය සඳහා හඳුනාගනු ලැබ ඇති නව ව්‍යාපෘති 2017 මූල්‍ය වර්ෂය තුළ ක්‍රියාත්මක කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

උඩරට කලාපයේ කුඩා තේ වතුහිමියන් වෙනුවෙන් විශේෂ ව්‍යාපෘති යෝජනා ක්‍රියාත්මක කිරීම


ශ්‍රී ලංකාවේ මුළු තේ ඉඩම් ප්‍රමාණයෙන් 73%ක් පමණ කුඩා තේ වතු හිමියන් සතු වන අතර, සමස්ත කුඩා තේ වතු ප්‍රමාණයෙන් 17%ක් උඩරට ප්‍රදේශය පුරා පැතිර තිබේ. උඩරට ප්‍රදේශයේ කුඩා තේ වතු හිමියන් විසින් මුහුණ දෙනු ලබන සමාජීය හා ආර්ථික ගැටලුවල‍ට විසඳුම් ලබා දීමේදී තේ දලු පහසුවෙන් ප්‍රවාහනය කිරීමට හැකි වන පරිදි ග්‍රාමීය ප්‍රවේශ මාර්ග පුනරුත්ථාපනය කිරීමත්, ඔවුන්ගේ ආදායම ස්ථාවර මට්ටමක තබාගැනීම සඳහා තේ වගාව හා බැඳුණු ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් විශේෂයෙන් වැදගත් වේ. ඒ අනුව, නුවරඑළිය, මහනුවර හා මාතලේ යන දිස්ත්‍රික්කයන්හි පිහිටි කුඩා තේ වතු ආශ්‍රිත ග්‍රාමීය ප්‍රවේශ මාර්ග 200ක් ගමනාගමනයට යෝග්‍ය වන පරිදි පුනරුත්ථාපනය කිරීමටත්, එළවළු, පලතුරු සහ මල් වර්ග වගා කර අමතර ආදායමක් ලබාගත හැකි වන පරිදි කුඩා තේ වතු ආශ්‍රිතව හරිතාගාර නියමු ව්‍යාපෘතියක් හා කුඩා තේ වතු අමතර යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අපරාධ වැළැක්වීමේ ආඥාපනතට සිදු කරනු ලබන සංශෝධන

දැනට කිසියම් සැකකරුවෙකුගේ ඇඟිලි සලකුණු ලබාගත හැක්කේ අපරාධ වැළැක්වීමේ ආඥාපනතේ සඳහන් අපරාධ ලැයිස්තුවට ඇතුළත් අපරාධ සම්බන්ධයෙන් පමණි. විවිධ ව්‍යවස්ථා මඟින් මෑතකදී අලුතෙන් එක් කරනු ලැබ ඇති අපරාධ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන තැනැත්තන්ගේ ඇඟිලි සලකුණුද ඒ අයුරින් ලබාගත හැකි වන පරිදි, එම නව වරදවල්ද අපරාධ වැළැක්වීමේ ආඥාපනතේ ඇඟිලි සලකුණු ලබාගත යුතු බවට නියම කෙරෙන 'අපරාධ' ලැයිස්තුවට ඇතුළත් කරමින්, එම උපලේඛනය සංශෝධනය කිරීමටත්, එවැනි අපරාධයකට චෝදනා ලැබූ තැනැත්තෙකුට අත්හිටවූ දණ්ඩනයක් පනවා ඇති විට‍කදී සහ එම තැනැත්තා සම්බන්ධයෙන් පෙර වැරදි ඔප්පු වී තිබෙන අවස්ථාවකදී, අත්හිටවූ දණ්ඩනය බලාත්මකව පවතින කාලය ඉකුත් වන තෙක් එම තැනැත්තා පොලිසියේ අධීක්ෂණය යටතේ තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කළ හැකි බවට විධිවිධාන ඇතුළත් කරමින් අපරාධ වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීමටත් පිළියෙල කරනු ලැබ ඇති සංශෝධිත පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම


හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරි කොට්ඨාස 33 ක් ආවරණය කරමින් නව නළ ජල සබඳතා 12,500ක් ලබා දීමට අපේක්ෂා කරනු ලබන අතර, එමඟින් 49,370ක පමණ ජනතාවකට සෙත සැලසෙනු ඇත. ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි හසලක ජල සම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

රජයේ රෝහල් සඳහා අවශ්‍ය හයිපොඩර්මික් සිරින්ජර් මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය


ඖෂධ එන්නත් කිරීමට සහ දේහ තරල පිටතට ගැනීම සඳහා භාවිත කරනු ලබන හයිපොඩර්මික් සිරින්ජර් විවිධ ප්‍රමාණයන්ගෙන් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශල්‍යාගාර සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වූ ප්‍රසම්පාදනය


ශල්‍ය ප්‍රතිකාරවලදී රෝහල් ශල්‍යාගාරවල භාවිත කරනු ලබන අත්‍යවශ්‍ය විවිධ පරිභෝජ්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

අධිකරණ සඳහා නව ගොඩනැඟිලි පහසුකම් ලබා දීම


දැනට පවතින අධිකරණ ගොඩනැඟිලි ඉතා පැරණි ඒවා වීම, ජනගහනය ඉහළ යාමට සාපේක්ෂව නඩු සංඛ්‍යාව ඉහළ යාම සහ එම තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අධිකරණ ගොඩනැඟිලිවල පවතින ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවීම වැනි හේතු මත නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම අවශ්‍ය වේ. ඒ අනුව, ගම්පොළ, රුවන්වැල්ල, මාන්කුලම්, මුලතිවු, යාපනය, අනුරාධපුරය හා පොළොන්නරුව යන ප්‍රදේශවල පවතින අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත විශේෂ කාර්ය බලකායේ භට පිරිස් වෙත අවශ්‍ය උපකරණ මිල දී ගැනීම


එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට නියමිත විශේෂ කාර්ය බලකායේ භට පිරිස් වෙත අවශ්‍ය භාණ්ඩ සහ උපකරණ ප්‍රසම්පාදනය කිරීම පිණිස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

අඩු සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබා දීමේ වැඩසටහන කඩිනම් කිරීම


අඩු ආදායම්ලාභී පවුල් සහ මධ්‍යම ආදායම්ලාභී පවුල් සඳහා නිවාස හිමිකාරිත්වය ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ නිවාස 620,000ක් 2019 වසර වන විට ඉදි කිරීමට අපේක්ෂිතය. මෙම වැඩසටහන නියමිත කාල රාමු තුළ ඉටු වන බව සහතික කරගනිමින්, මෙම ව්‍යාපෘතිය වෙත ජාතික ප්‍රමුඛතාවක් ලබා දෙමින් කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින්, මහා භාණ්ඩාගාරය යටතේ විශේෂ කාර්ය ඒකකයක් (සීමාසහිත පොදු සමාගමක්) පිහිටුවීමටත්, එම කාර්ය ඒකකය වෙත වෙන් කර දෙනු ලබන සියලුම් ඉඩම් සඳහා 'ඉඩම් බැංකුවක්' ස්ථාපිත කිරීමටත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුම


සමානාත්මතා මූලධර්මය මත සහ අ‍න්‍යොන්‍ය ප්‍රතිලාභ මත පදනම්ව දෙරට අතර දේශපාලනික, ආර්ථික, තාක්ෂණික හා සංස්කෘතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ හා නැවත බලගැන්වීමේ අරමුණින්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුව සහ ඉතියෝපියා ෆෙඩරල් ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුව අතර සහයෝගිතාව පිළිබඳ ඒකාබද්ධ කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමට, සිය ඉතියෝපියානු නිල සංචාරය අතරතුර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.


ලංකා රාජ්‍ය ජාලය ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

 

අධිවේගී හා සුරක්ෂිත අන්තර්ජාල සම්බන්ධතා රාජ්‍ය ආයතන වෙත ලබා දීම මඟින් පුරවැසියන් සහ ව්‍යාපාරික ප්‍රජාව වෙත රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව කඩිනමින් ලබා දීමේ අරමුණ පෙරදැරිව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් ක්‍රියාත්මක කරනු ලබන 'ලංකා රාජ්‍ය ජාලය' (Lanka Government Network - LGN) ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි සේවා සැපයීමට අදාළ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශ පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

ශ්‍රී ලංකා මාර්ග සංවර්ධන අධිකාරිය සඳහා මූල්‍ය පහසුකම් සැපයීම

 

- ප්‍රදේශ අතර සම්බන්ධතාව වැඩිදියුණු කරමින් රටෙහි ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම සඳහා වන ප්‍රමුඛ ව්‍යාපෘතීන්ගෙන් එකක් ලෙස මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන (II) කොටස ඉදි කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අවශ්‍ය රුපියල් බිලියන 23.2ක අරමුදල්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලෙස සලසා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.