අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.05.24

    මැයි 25, 2016

    2015.05.24 වැනි දින රැස් වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තිරණ පහත සඳහන් වේ.

     

     

    මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන - 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංවර්ධන පාර්ශ්වකරුවකු වන ජපාන රජය විසින් පසුගිය දශක කිහිපයක කාලයක සිට ඔවුන්ගේ සාම්ප්‍රදායික ආධාර වැඩසටහන්වලට අතිරේකව තාක්ෂණික ආධාර වැඩසටහන් යටතේ ශ්‍රී ලංකා රජය වෙත සැලකිය යුතු ප්‍රමාණයක විදේශීය පුහුණු අවස්ථාවන් සලසා දෙනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරින් හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදෑරීමේ අවස්ථාව සලසා දීම පිණිස ජපාන රජය විසින් 2010 වසරේදී මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී. එම වැඩසටහනෙහි දෙවන කාර්ය රාමුවෙහි තෙවන කණ්ඩායම ලෙස අධ්‍යයන කටයුතුවල නිරත වීම පිණිස තෝරාගත් නිලධාරින් 2016 සැප්තැම්බර් මාසයේදී ඔවුන්ගේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර, එම නිලධාරින්ට පහසුකම් සැලසීම සඳහා 2016 වර්ෂය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 231ක ප්‍රදානාධාරයක් (ආසන්න වශයෙන් රුපියල් මිලියන 318ක මුදලක්) ජපාන රජය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබ ඇත. ඒ අනුව එකී ප්‍රදානයට අදාළ හුවමාරු ලිපි ජපාන රජය සමඟ අත්සන් කිරීමටත්, එම ප්‍රදානය ලබාගැනීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය සමඟ ගිවිසුමක් අත්සන් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (Post Graduate Institute of Indigenous Medicine - PGIIM) ස්ථාපිත කිරීම

    ආයුර්වේද වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය නිලධාරින්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහාත්, ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රයේ පශ්චාත් උපාධි කටයුතු වඩාත් ගුණාත්මකභාවයෙන් හා නව්‍යතාවකින් යුතුව සිදු කිරීම සඳහාත් 'දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක්' (Postgraduate Institute of Indigenous Medicine - PGIIM) පිහිටුවීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනා ගෙන ඇත. එබැවින්, ආයුර්වේද වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය නිලධාරින්ට ආයුර්වේද, සිද්ධ හා යුනානි යන ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි සඳහා වන අවස්ථාවන් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක් ස්ථාපිත කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'කෙතට අරුණ පොහොර දිරිය' වැඩසටහන යටතේ සහනාධාර පොහොර ලබන ගොවීන් සඳහා ලබා දෙන වගා රක්ෂණාවරණය

    - පෙර පැවති පොහොර සහනාධාර ක්‍රමය යටතේ වගා කන්නයකදී කිලෝග්‍රෑම් 50ක එක් සහනාධාර පොහොර මිටියකින් රුපියල් 150/-ක් බැගින් අයකර අනිවාර්ය දායකත්ව වගා රක්ෂණාවරණ ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලදී. එහෙත් 2016 අයවැය යෝජනා අනුව පොහොර සහනාධාර වැඩසටහන යටතේ පොහොර මිල දී ගැනීම සඳහා ගොවීන්ට මුදල් ලබා දීමේ වැඩසටහනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බැවින්, අදාළ රක්ෂණ වාරික අරමුදල් ගොවීන්ගෙන් අය කිරීම වෙනුවට බැංකු, මූල්‍ය හා රක්ෂණ ආයතනවල වාර්ෂික ලාභයෙන් 1%ක ප්‍රතිශතයක් ලබා ගෙන වගා හානි පියවීම සඳහා ජාතික රක්ෂණ භාර අරමුදල යටතේ පිහිටුවා ඇති අරමුදලින් දැරීම පිණිස මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

    රබර් සහ පොල් ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම

    දැනට ඉන්දියාව, මැලේසියාව, පිලිපීනය, චීනය, ඉන්දුනීසියාව, වියට්නාමය, ජපානය වැනි රටවල්වලද යුරෝපීය රටවල්වලද වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ජාත්‍යන්තර ප්‍රදර්ශන පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාවේ විවිධ ආයතන ද මෙම ප්‍රදර්ශන සඳහා සහභාගි වේ. නිෂ්පාදකයින්, අලෙවිකරුවන්, නිෂ්පාදන මිල දී ගන්නන් සහ ආයෝජකයින් සහභාගි වන මෙබඳු ප්‍රදර්ශනයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීම මඟින් ජාත්‍යන්තරයට සමීප වීමට අවස්ථාව සැලසෙන අතර, විදේශීය නිෂ්පාදකයින්ගේ සහ අලෙවිකරුවන්ගේ අවශ්‍යතා හඳුනාගැනීමටත්, නව තාක්ෂණය හා පහසුකම් සමඟ බද්ධ වීමටත්, ඒ තුළින් දේශීය නිෂ්පාදනවල තත්ත්වය හා ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අවස්ථාව සැලසෙනු ඇත. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් 2017 අගෝස්තු මාසයේදී 'සිලෝන් ටී එක්ස්පෝ' නමින් ප්‍රදර්ශනයක් පැවැත්වීමට නියමිත අතර, එම ප්‍රදර්ශනය සඳහා භාවිත කරන යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගනිමින් 2017 අගෝස්තු මාසයේදීම පොල් හා රබර් ක්ෂේත්‍ර මූලික කරගනිමින් ජාත්‍යන්තර ප්‍රදර්ශනයක් කොළඹදී පැවැත්වීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය සහ බෙලරුස් ජනරජය අතර ඇති කර ගනු ලබන ද්විපාර්ශ්වික ගිවිසුම

    2000 අංක 39 දරන සිවිල් හා වාණිජ කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත මඟින් විදේශීය රටවලදී අධිකරණ ලේඛන භාර දීම සහ සාක්ෂි ලබාගැනීමේදී සහාය දැක්වීම සම්බන්ධයෙන් විදේශීය රටවල් සමඟ ගිවිසුම් ඇති කරගැනීම සඳහා විධිවිධාන සලසනු ලබයි. ඒ අනුව, ලේඛන හුවමාරු කිරීම සහ භාරදීම, සාක්ෂි ලබාගැනීම වැනි පුළුල් පරාසයක් තුළ ව්‍යාප්ත වන පරිදි සිවිල් හා වාණිජ කාරණාවලදී එක් එක් පාර්ශ්වයට අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීම සඳහා විධිවිධාන සලසන ද්වීපාර්ශ්වික ගිවිසුමක් බෙලරුස් ජනරජය සමඟ ඇති කරගැනීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

    දඩුවම් පමුණුවන ලද තැනැත්තන් භාරදීම සම්බන්ධයෙන් යුක්‍රේනය සහ ශ්‍රී ලංකා රජය අතර ඇති කරගන්නා ගිවිසුම

    1995 අංක 5 දරන වරදකරුවන් භාර දීමේ පනත මඟින් ශ්‍රී ලංකාවේ අධිකරණයක් විසින් වරදකරුවකු කර සිරදඬුවම් නියම කරනු ලැබූ වෙනත් රටක පුරවැසියකුට එම දඬුවම එකී තැනැත්තා පුරවැසියකු ලෙස සලකන රටේදීම විඳීමට හැකි වන පරිදි එම රටට භාර දීමට සහ වෙනත් රටකදී සිරදඬුවමකට යටත් කරන ලද ශ්‍රී ලාංකික පුරවැසියකුට එම දඬුවමේ ඉතිරි කොටස ශ්‍රී ලංකාව තුළදී විඳීම සඳහා ශ්‍රී ලංකාවට භාර දීම පිණිස වන විධිවිධාන සලසයි. ඒ අනුව, දඬුවම් පමුණුවන ලද තැනැත්තන් භාර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ යුක්‍රේනය අතර ගිවිසුමක් ඇති කරගැනීම පිණිස අධිකරණ අමාත්‍ය (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    'ජාතික මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සතිය' පවත්වනු ලබන දිනයන් සංශෝධනය කිරීම

    - දරුවාගේ සංවර්ධනයට බලපාන සාධක හෙට නොව අදම දරුවාට ලබා දීම සඳහා අදාළ පාර්ශ්වකරුවන් පෙලඹවීමේ අරමුණින් සෑම වර්ෂයකම දෙසැම්බර් 14 සිට 20 දක්වා 'ජාතික මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සතිය' ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම සතිය රජයේ මුදල් වර්ෂය අවසාන වන කාලවකවානුවට යෙදී ඇති බැවින්, ඊට අදාළ වැඩසටහන් ඵලදායීව ක්‍රියාත්මක කිරීමේදී විවිධ අපහසුතා පැන නැඟී ඇති අතර, ඊට පිළියමක් වශයෙන් 'ජාතික මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන සතිය' ක්‍රියාත්මක කරනු ලබන කාල සීමාව සෑම වසරකම ජූලි මස 14 සිට 20 දක්වා වශයෙන් සංශෝධනය කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ළමා අපයෝජනය වැළැක්වීම

    ළමා අපයෝජන වැළැක්වීම පිළිබඳ කරුණු පරීක්ෂා කර බලා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පත් කරන ලද අමාත්‍ය මණ්ඩල කමිටුව විසින් ළමා අපයෝජන සිද්ධීන්වලට හේතු වන කරුණු හඳුනා ගැනීමටත්, ළමා අපයෝජනයට එරෙහිව සටන් කිරීමට ඒකාබද්ධ ප්‍රයත්නයක් දැරීමේ වැදගත්කම හඳුනා ගැනීමටත්, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා අදාළ පාර්ශ්වයන්හි අදහස් ලබාගැනීමටත් ක්‍රියා කරනු ලැබ ඇත. ඒ අනුව, එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිණිස කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    ඊශ්‍රායලයේ වැඩිහිටි ආබාධිත සේව්‍යයන්ට ප්‍රතිකාර කිරීමට ශ්‍රී ලංකාවෙන් සත්කාර කරන්නන් 50‍‍ දෙනෙකු ‍බඳවාගැනීම සඳහා වූ ඒකාබද්ධ නියමු වැඩසහන

    ඊශ්‍රායලයේ වැඩිහිටි ආබාධිත පුද්ගලයින්ට උපස්ථාන කිරීම සඳහා එක් රටකින් සත්කාරක සේවා සපයන්නන් 50 දෙනෙකු දක්වා බඳවාගැනීම පිණිස වූ වැඩසටහනක් ඊශ්‍රායල රජය විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව ඊශ්‍රායලයේ සත්කාරක සේවා සපයන්නන් වශයෙන් තාවකාලිකව සේවය කිරීමට කැමති ශ්‍රී ලාංකිකයින් 50 දෙනෙකු පෞද්ගලික රැකියා නියෝජිත ආයතනවල මැදිහත්වීමකින් තොරව, සාධාරණ, පාරදෘශ්‍ය හා අඩු වියදම් ක්‍රමවේදයක් යට‍තේ තෝරා ගෙන සේවයේ යෙදවීම සඳහා ඊශ්‍රායල රජය සමඟ ඒකාබද්ධ නියමු වැඩසහනක් ක්‍රියාත්මක කිරීම පිණිස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මැතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    ජාතික මිලාදුන් නබි උත්සවය වෙනුවෙන් සියලුම අමාත්‍යාංශ මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

    දෙසැම්බර් මාසයේ 12 වන දිනට යෙදී ඇති, ඉස්ලාම් ධර්මය ලොවට දේශනා කරන ලද මොහොම්මද් නබිතුමාගේ උපන් දිනය ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, රාජ්‍ය අනුග්‍රහය යටතේ ජාතික මිලාදුන් නබි උත්සවය සෑම වසරකම පවත්වනු ලැබේ. 2016 වසරේ මිලාදුන් නබි උත්සවය පැවැත්වීම පිණිස රුපියල් මිලියන 15ක මුදලක් වෙන් කරනු ලැබ ඇති අතර, ජාතික මිලාදුන් නබි උත්සවය නිමිත්තෙන් වැඩසටහන් මාලාවක් අනෙකුත් අමාත්‍යාංශවල සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීමටත්, එය බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීම පිණිසත් තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම

    කෘෂිකර්මාන්තයේ සමස්ත ඵලදායීතාව අතින් ශ්‍රී ලංකාව අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා පසුපසින් සිටින අතර, එය පසුගිය දශක කිහිපය තිස්සේ පෙන්වනු ලබන්නේ ඉතා අඩු වර්ධනයකි. ගොවි ජනතාවගේ සහ රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා රටේ කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීමත්, ඉහළ අගයක් සහිත අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීම සඳහා ගැළපෙන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ. ඒ අනුව, කෘෂි ඵලදායීතාව ඉහළ නැංවීම, වෙළඳපොළ ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම සහ සුළු පරිමාණ ගොවීන්ගේ සහ කෘෂි ව්‍යාපාර මඟින් සිදු කෙරෙන අගය එකතු කිරීම වැඩිදියුණු කිරීමේ අරමුණින් කෘෂිකර්මය නවීකරණය කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෝක බැංකුවේ අන්තර්ජාතික සංවර්ධන ආයතනය (IDA) විසින් සපයනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 125ක අරමුදල් යොදා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය එක්ව ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    යාපනය හා කිලිනොච්චිය ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය

    ආසියානු සංවර්ධන බැංකුවේ සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති යාපනය හා කිලිනොච්චිය ජල සම්පාදන සහ සනීපාරක්ෂක ව්‍යාපෘතිය මඟින් යාපනය අර්ධද්වීපයේ ප්‍රධාන කොටසක් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනහරි හා පලෛ ප්‍රාදේශීය බල ප්‍රදේශද ආවරණය කරනු ලැබේ. ප්‍රදේශවාසීන්ට වඩාත් හොඳ ජල සම්පාදන සහ සනීපාරක්ෂක පහසුකම් සැලසීම මෙමඟින් ඉලක්ක කෙරෙන අතර අවතැන් වූ ජනතාව අදාළ ප්‍රදේශයන් වෙත යළි පැමිණීමත්, යාපනය අර්ධද්වීපය තුළ ජල සම්පාදනය වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය යටතේ කල්ලුන්ඩායි, පුංගුඩුතීවු හා පූනහරි යන ප්‍රදේශයන්හි පිරිපහදු භූගත ජල ටැංකි තුනක් (03) ඉදි කිරීමට සහ පලෛ ජල පවිත්‍රාගාරයේ සිට නල්ලූර් දක්වා ප්‍රධාන ජල සම්ප්‍රේෂණ නළ සපයා ඇතිරීම හා නල්ලූර් මීසාලෛ ප්‍රදේශවල පිරිපහදු භූගත ජල ටැංකි දෙකක් ඉදි කිරීම සඳහා වූ කොන්ත්‍රාත්තු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම

    වයඹ පළාත තුළ ක්‍රීඩාවේ නියැළෙන්නන් හට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම සඳහා වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණය ආශ්‍රිතව සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. එහෙත් එම ක්‍රීඩාංගණය තවදුරටත් ක්‍රීඩා සංකීර්ණයක් ලෙස සංවර්ධනය කිරිම පිණිස ප්‍රමාණවත් ඉඩකඩ නොමැති බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුනා ගෙන ඇති බැවින්, ඒ වෙනුවට කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකටම පොදුවේ ප්‍රයෝජනයට ගත හැකි බිංගිරිය මහජන ක්‍රීඩාංගණය හා රජයට පවරා ගනු ලැබ ඇති ඊට යාබදව පිහිටි කණ්ඩක්කුවත්ත නැමැති ඉඩම යොදා ගනිමින් වයඹ පළාත් ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීම පිණිස ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය සඳහා දෙමහල් නේවාසිකාගාරයක් ඉදි කිරීම

    අගලවත්ත ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනය (NILET) විසින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය නිලධාරින්ගේ හා භාෂා ශිෂ්‍යයන්ගේ ද්විභාෂා හා ත්‍රිභාෂා හැකියාව වර්ධනය කිරීම පිණිස නේවාසික හා අනේවාසික පුහුණු පාඨමාලා පවත්වනු ලබයි. නේවාසික පාඨමාලා පැවැත්වීම සඳහා ආයතනය සතු නේවාසික පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් 90 දෙනෙකු සඳහා එකවර නේවාසික පහසුකම් සැපයිය හැකි වන පරිදි ‍නේවාසිකාගාර ගොඩනැඟිල්ලක් රුපියල් මිලියන 98.8ක වියදමින් ඉදි කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, අදාළ ගොඩනැඟිල්ල ඉදි කිරීමේ කොන්ත්‍රාත්තුව රජයට අයත් ආයතන වන ඉංජිනේ‍රුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට සහ මධ්‍යම ඉංජිනේරු සේවා සමාගමට පිරිනැමීම පිණිස ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     
    අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම

    පසුගිය සමය තුළ අතුරුදහන්ව (disappeared) ඇති බවට හෝ සොයාගත නොහැකි බවට (missing) වාර්තා වන පුද්ගලයන් සම්බන්ධයෙන් වන තොරතුරු ඔවුන්ගේ ඥාතීන් වෙත ලබා දීම මඟින් එවන් පුද්ගලයන්ගේ ඉරණම සම්බන්ධයෙන් වන සත්‍ය තොරතුරු අදාළ ඥාතීන්‍ වෙත දැනගැනීමට සලස්වන ලෙසට දැඩිව ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ. එමඟින් මෙවැනි තත්ත්වයකට මුහුණ දී ඇති අයගේ පවුල් යළි එක් කිරීමටද එකී අතුරුදහන්වීම සම්බන්ධයෙන් එම පවුල්වලට අවසන් නිගමනයකට එළඹීමටද එම පවුල් වෙත වන්දි හෝ වෙනත් සහනයන් සහ සහායන් ලබා දීමටද හැකිවනු ඇත. ඒ අනුව සොයාගත නොහැකි පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බැලීම සහ ඒ සඳහා වන යෝග්‍ය ක්‍රමවේදයක් හඳුනා ගැනීම, සොයාගත නොහැකි පුද්ගලයන් හා සම්බන්ධ සිදුවීම්වලට විසඳුම් ලබා දීම පිණිස අදාළ බලධාරින් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම, සොයාගත නොහැකි පුද්ගලයන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට සහ ඔවුන්ගේ ඥාතීන්ට සහන ලබාගැනීමට හිමිකම් ඇති මාර්ග හඳුනාගැනීම සහ ඒ පිළිබඳව ඔවුන්‍ට දැනුම් දීම, රජයේ ආයතන සහ වෙනත් ආයතන විසින් සොයා ගැනීමට නොහැකි පුද්ගලයන්ට අදාළව එකතු කර ගෙන ඇති දත්ත එක්රැස් කර මධ්‍යගත දත්ත පද්ධතියක් පවත්වා ගෙන යාම ආදී කාර්යභාරයන් ඉටු කිරීම පිණිස 'අතුරුදහන් පුද්ගලයන් පිළිබඳ කාර්යාලය' (the Office on Missing Persons - OMP) යනුවෙන් හැඳින්වෙන ස්වාධීන ආයතනයක් පාර්ලිමේන්තු පනතක් මඟින් ස්ථාපිත කිරීම පිණිස ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

     

     
    කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය

    කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය 1985 වර්ෂයේදී ස්ථාපිත කෙරුණු අතර, එමඟින් ඉදිකිරීම් හා සැලසුම්, ජල පරිසරය, මහාමාර්ග හා දුම්රිය මාර්ග, විදුලිබලය, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදනය, යාන්ත්‍රික, සාගර යන විශේෂ ඉංජිනේරු ක්ෂේත්‍රයන්ට අදාළ පාඨමාලා ද සාමාන්‍ය ඉංජිනේරු පාඨමාලා ද පවත්වා ගෙන යනු ලැබේ. මෙම ආයතනය මඟින් ක්‍රියාත්මක කෙරෙන පාඨමාලාවලට ඇතුළත් වීම සඳහා වාර්ෂිකව අයදුම්පත් 2000කට අධික සංඛ්‍යාවක් ලැබෙන මුත් ඒ අතුරින් බඳවාගැනීමට හැකිවනුයේ 450ක පමණ පිරිසකි. පසුගිය වසර ගණනාව පුරා මෙම ආයතනයේ අධ්‍යයන කටයුතුවල නිරත ශිෂ්‍ය සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී ඇති මුත් ඊට සමගාමීව දේශන ශාලා, උපකරණ සහ අවශ්‍ය අධ්‍යයන කාර්ය මණ්ඩලය ආදී පහසුකම් ප්‍රමාණවත් පරිදි වර්ධනය වී නොමැත. ඒ අනුව මෙම ආයතනයට නව තාක්ෂණය හඳුන්වා දීමේ සහ යටිතල පහසුකම් වර්ධනය කිරීමේ වැදගත්කම හඳුනා ගනු ලැබ ඇති අතර, ඒ සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට යෝජනා වී ඇත. අතිගරු ජනාධිපතිතුමා ඔස්ට්‍රියාවේ සිදු කළ සංචාරයෙහි ප්‍රතිඵලයක් ලෙස සහ ඉන් අනතුරුව මුදල් අමාත්‍යතුමා විසින් පවත්වන ලද සාකච්ඡාවන්හි ප්‍රතිඵලයක් ලෙස කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරීම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා යුරෝ මිලියන 9.5ක මූල්‍ය පහසුකම් ලබා දීමට ඔස්ට්‍රියාවේ Raiffeisen Bank International විසින් කැමැත්ත පළ කරනු ලැබ ඇත. ඒ අනුව, එලෙස සපයනු ලබන යුරෝ මිලියන 9.5ක මූල්‍ය පහසුකම් උපරිම ලෙස භාවිත කරමින් කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනය වැඩිදියුණු කිරිම සඳහා වන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya