Print this page

BMICH හීදි ලෝක තරුණ සමුළුවට සමගාමීව ප‍්‍රදර්ශනයක්

අප්‍රේල් 29, 2014
2014 මැයි 06 සිට 10 දක්වා මෙරටදී පැවැත්වෙන ලෝක තරුණ සමුළුවට සමගාමීව දැවැන්ත ප‍්‍රදර්ශනයක් පැවැත්වීමට යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන ඇත. 
 
මෙම ප්‍රදර්ශනය මැයි 07, 08 සහ 09 දිනයන්හි දී කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත‍්‍රණ ශාලාවේදී පෙරවරු 10 සිට රාතී‍්‍ර 10 දක්වා පැවැත්වේ.
 
යුධ බිය නැති රටක ශී‍්‍ර ලාංකේය තාරුණ්‍යය අත්විඳින අසිරිය කියාපෑම සඳහා මෙම ප‍්‍රදර්ශනය "නිදහස" නමින් නම් කර ඇත. එමෙන්ම ලෝක තරුණ සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ එය දැක බලා ගැනීමට හා සහභාගිවීමට නොහැකි දේශීය හා විදේශීය තරුණ තරුණියන්ට මෙහි ඇති වැදගත්කම අවබෝධ කරලීම,  ශී‍්‍ර ලාංකේය තරුණ නිර්මාණශීලීන්ගේ දක්ෂතාවන් ලොවට පෙන්වා දීමට අවස්ථාවක් හිමිකර දීම යන කරුණු මෙම ප‍්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණු වී ඇත. 
 
මෙම ප‍්‍රදර්ශනය සඳහා විවිධ අංශ නියෝජනය කරමින් රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන  සංවිධාන හා විවිධ  තරුණ සංවිධාන විසින් ප‍්‍රදර්ශන කුටි 50ක් පමණ ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. මෙයට අමතරව ප‍්‍රදර්ශනය පැවැත්වෙන දිනයන්හිදී මෙහි ආකර්ෂණීය බව වැඩිකිරීම සඳහා සුවිශේෂි අංග රැසක් ද  අන්තර්ගත කර ඇති අතර, දේශීය හා විදේශීය නර්තනාංග, මනාලියන් දැක්ම, විලාසිතා දැක්ම, වීදි නාට්‍ය  හා කෙටි නාට්‍ය සංදර්ශන, වෙනස් වූ හැකියාවන් සහිත තරුණ තරුණියන්ගේ "සිහිනය" වැඩසටහන, තාරුණ්‍යයේ වික‍්‍රමාන්විත හා ත‍්‍රාසජනක 
අත්දැකීම් සහිත යතුරු පැදි හා පාපැදි සංදර්ශන ඒ අතර වේ.  
 
ශ්‍රී ලාංකේය කලාවට අනුපමේය සේවාවක් සිදුකළ කලාකරුවන් ඇගයීමක්ද මෙහිදී සිදුකිරීමට නියමිත අතර ප‍්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම රාති‍්‍රයේ දිවයිනේ ජනපි‍්‍රය ගායක ගායිකාවන් සහභාගි වන සංගීත ප‍්‍රසංගයක අත්දැකීම ලබාදීමට ද සංවිධායක කමිටුව පියවර ගෙන ඇත.
 
DB