Print this page

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එජාපය මහ දවල් රවටලා

නොවැම්බර් 24, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ)  චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පාක්ෂිකයන් මහ දවල් රවටා තිබෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ අවසන් දින විවාදයට එක්වෙමිනි.

අද මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 102, 237, 252, 280, 296, 323, 324 හා 329 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

නූතන ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීම ගැන බොහෝ දෙනා කතා කළා. නමුත් 2005ට පෙර නම් ඔය සාකච්ඡා තිබුණේ නැහැ. ඒ කාලේ කතා කළේ මිනිස් ජීවිත ගොඩගැනම ගැනයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ සාධාරණ සමාජයක් ගොඩනැගීමට සංවිධාන හැදුවා. රනිල් හරහා බැරි වැඩේ කරූ හරහා කරන්නට බැලුවා. රෑ එළිවෙනකොට රනිලුත් නෑ. කරුත් නෑ. කොහෙන්ද කඩන් පාත්වෙච්ච කෙනෙක් ජනාධිපති අපේක්ෂකයා ලෙස දාගත්තා. තානාපති කාර්යාලයකින් චන්ද්‍රකාට පොදු අපේක්ෂිකාව යෝජනා කළා. එයට ඇයගේ පවුලේ අය විරුද්ධ වුණා. ඒ අනුවයි මෛත්‍රිපාල සිරිසේන දැම්මේ. චන්ද්‍රිකා කිව්වා ආණ්ඩුවෙන් 64ක් ගේනවා කියලා කෝ ගෙනාවාද? මේ අය ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වූවා. එහි ඔරිජිනල් ශ්‍රී ලංකාකාරයෝ තුන්දෙනයි හිටියේ. ප්‍රවෘත්ති සාකච්ඡාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක, මෛත්‍රීපාල සිරිසේනට ඇඟිල්ලෙන් ඇන ඇන කියන්න ඕන දේවල්, මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා. දින 100න් රනිල් බලයට ගේනවා කියලා, වික්‍රමසිංහ මහතා දැන් දන්නවා. චන්ද්‍රිකා තමන් රැවැට්ටුවා කියලා . චන්ද්‍රිකාට ඇරියස් කවර් කරගන්න තිබෙනවා. ඒක කවර් කර ගන්න ඕනෑ නිසා රනිල්ට ලණු දෙනවා. 64ක් තියා ඒකෙන් කාලක්වත් ගන්න බැහැ. යම් යම් ප්‍රශ්න ඇති අය ඉන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා කලකිරීමෙන් ඉන්නේ. බැරිවෙලාවත් මෛත්‍රීපාල ජනාධිපති වුනොත් රනිල්ට දෙන්න චන්ද්‍රිකා ඉඩ තබන්නේ නැහැ යැයි ඔහු පැවසීය.

යහ පාලනය හදන්න, හදන්නේ චන්ද්‍රිකා කුමාරතුංග එක්ක එකතුවෙලද? පටන් ගත්තෙම විපක්ෂ නායකයා රවට්ටලා. රාජිත සේනාරත්න මහතා පක්ෂ කීයක හිටියද? මේ අය එදා ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මොනවද කිව්වේ. ජවිපෙත් තක්කු මුක්කු වෙලා. එක්තරා තානාපති කාර්යාලයක් විසින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ලවා ඉටුකරවා ගැනීමට උත්සාහ දැරූ ක්‍රියාවලියේ රූකඩ බවට හසුවීමට එක්සත් ජාතික පක්ෂයට සිදු වුණා.  අද අලියා වෙනුවට බලියක් ඉතුරු වෙලා. අපේක්ෂකයන් පිට්පොකට් ගහල හරියන්නේ නැහැ. 2010 දී හමුදාවෙන් පිට්පොකට් ගැහුවා. 2015 දී ආණ්ඩුවෙන් පිට් පොකට් ගැහුවා. 2020 දි කොහෙන්ද ගහන්නේ යැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

ලංකාවට ම ඉන්නේ එක අපේක්ෂකයයි. චන්ද්‍රිකා බණ්ඩාරනායකට මහ විශාල ආතතියක් තිබෙනවා.කාට අහු වුණත් කමක් නැහැ, චන්ද්‍රිකාට අහු වුණොත් ඉවරයි. මේ රටේ ආර්ථික ගැටලු, ව්‍යවස්ථා සංශෝධන, රටේ අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය යම් යම් දේ තිබෙනව නම් අපි කතාකරමු. එක්සත් ජාතික පක්ෂය මෙහෙය වන්නේ චන්ද්‍රිකායි. මෛත්‍රීපාල සිරිසේන මහතා හිටියේ චන්ද්‍රිකා ආවොත් සහය දෙන්න. නමුත් අන්තිමට වුණේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ උගුලකට අසුවීමටයි. මෛත්‍රීපාල සිරිසේන මහතාට නාමයෝජනා  දෙන්න ලැබෙන්නේ නැහැ. කුමාරතුංග මැතිණිය, වික්‍රමසිංහ මහතාට බලපෑම් කළා. නමුත් දැන් සැබෑ තත්ත්වය අවබෝධය වෙමින් පවතිනවා. තමන්ගේ උවමනාවට ඒ මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාත් එජාපයත් රැවැට්ටුවා යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

 

NDH/HC