Print this page

එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් විශේෂ වැඩපිළිවෙළක්

නොවැම්බර් 21, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) එල්.එල්.ආර්.සී. නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් 2015දී ලක්ෂ 01ක් සඳහා ඉඩම් කැබලි ලබා දෙන්න රුපියල් මිලියන 500ක් වැය කරන බව ඉඩම් හා ඉඩම් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ 153, 286, 288 හා 327 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

නැගෙනහිර ඉඩම් ප්‍රශ්න රාශියකට මුහුණ දී ඇති අතර ඒවා විසඳීමට කටයුතු කරනවා. පවුල් දහස් ගණනක් ඉඩම් ආරවුල්වලට මැදි වී ඇති නිසා ඒවා විසඳීමට විශේෂ සමත මණ්ඩල පත් කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශය ඒ සඳහා සහය වන බව ඔහු සඳහන් කළේය.

ඉඩම් ආඥා පනත අනුව 12 ලක්ෂයක් ඉඩම් කැබලි ජනතාව සඳහා ලබා දී ඇති අතර ඉන් ලක්ෂ 2ක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලයේ ලබා දී තිබෙනවා. නිරවුල් බිමක හිමිකම් ලබා දෙන්න කටයුතු කර තිබෙන අතර බිම් සවිය වැඩපිළිවෙළ යටතේ ලක්ෂ 5කට ඉඩම් සඳහා බලපත්‍ර දීමට කටයුතු යොදා ඇත. සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි මේ ඉඩම් ලබා දෙනවා. ඉඩම් ඔප්පු නැති අයට ජංගම සේවා මඟින් බලපත්‍රදීම සිදු කරනවා. ජංගම සේවා මඟින් 2014 වසරේ 114,000කට බලපත්‍ර ලබා දී ඇති බව ද ඔහු අවධාරණය කළේය.

දකුණේ 15,000කට, නැගෙනහිර 8,000කට 2015 ඉඩම් ඔප්පු දෙනවා. රත්නපුර, බදුල්ල, මොනරාගල 15,000ක් දෙනාට ඉඩම් කැබලි දෙන්න වැඩපිළිවෙළක් ආරම්භ කර තියෙනවා. මැනුම් කටයුතු දෙපාර්තමේන්තුව මහා මාර්ග, ඉදිවන ජලාශවල, වැව්, අධිවේගී මාර්ගවල මේ වන විට මැනුම් කටයුතු කරගෙන යනවා. මේ සඳහා එම දෙපාර්තමේන්තුවට අලුතින් නිලධාරීන් 200ක් බඳවා ගත්තා. ජාතික මැනුම් සංග්‍රහය පැවතියේ ඉංග්‍රීසි භාෂාවෙන් පමණයි. දැන් එය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන් ම සමන්විතයි. මිලියන 25ක් භූ තත්ත්ව තොරතුරු නිර්මාණය කර තියෙනවා. ඉඩම් ලේඛන පරිගණකගත කිරීම දීමනාපත්‍ර නිකුත් කිරීම පරිගණක ජාලගත කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC