Print this page

පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ගෙන එනවා

නොවැම්බර් 20, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ඉදිරි මාස කිහිපය තුළ පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වන බව පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය එස්.බී. නාවින්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරුවේ විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද යහ පාලනය හා යටිතල පහසුකම්, මානව සම්පත්, ග්‍රාමීය කටයුතු, ආහාර සුරක්ෂිතතා, නාගරික කටයුතු, සමාජ සුබසාධන, පාරිභෝගික සුබසාධන, ජාතික සම්පත්, විද්‍යාත්මක කටයුතු හා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගිතා අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

මෙතෙක් ඉදිරිපත් අය-වැය ලේඛන දෙස බැලූ විට ජනතා අපේක්ෂා ඉටුකළ අයවැයක් ලෙස මෙය හැඳින්විය හැකියි. අද ලංකාවේ සියලු ම පළාත්වල මාර්ග පද්ධතිය සංවර්ධන කර තිබෙනවා. උතුරු අධිවේගී මාර්ගය සඳහා පසුගියදා මුල්ගල් තැබුවා. ජනාධිපතිතුමා දැදුරු ඔය ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 63,000ක් වැනි මුදලක් වෙන් කළා. මෙගාවොට් 10ක ජල විදුලි බලාගාරයක් ද එහි ඉදිවෙනවා. පානීය ජල අවශ්‍යතා සපුරන මේ ව්‍යාපෘතිය ලබන 22 දින විවෘත කරන බව ද ඔහු කීය.

අද ලංකාවේ වරාය, ගුවන්සේවා දියුණුයි. පාරිභෝගික සුබසාධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ශක්තිමත් පාරිභෝගික පිරිසක් බිහි කළ යුතුයි. සංවර්ධන ප්‍රතිලාභ අද ජනතාවට ලැබෙනවා. පාරිභෝගිකයා ශක්තිමත් කරන්න නම් මේ පනත අවශ්‍යයි. පාරිභෝගික සුබසාධනය අප තේරුම් ගත යුතුයි. පාරිභෝගිකයා අපේක්ෂා කරන පරිදි ගුණාත්මක භාණ්ඩ හා සේවා ලබා දිය යුතුයි. පාරිභෝගික ආරක්ෂණ රෙගුලාසි හා විධිවිධාන පනතට ඇතුල් කළ යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC