අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංගම සතු ඉඩම් වෙනත් රාජ්‍ය ආයතන පවරා ගන්නවා නම් ඒ සඳහා වන්දි ලබාගැනීම කැබිනට් පත්‍රිකාවක්

    නොවැම්බර් 20, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ලංගම සතු ඉඩම් විවිධ කාර්යන් සඳහා වෙනත් රාජ්‍ය ආයතන මඟින් පවරා ගන්නවා නම් ඒ ඉඩම් සඳහා වන්දි ගෙවීමට අවශ්‍යවන පරිදි කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බවත් ඊට අනුමැතිය හිමි ව ඇති බවත් ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (20) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ 114, 306 හා 307 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    ලංගමට බස්රථ 2,200ක් ගත්තා. ඒකට හේතුව පරණ බස් මඟ කැඩෙනවා. එය හදන්න ගියහොත් ලොකු අලාභයක් සිදු වෙනවා. එම නිසා තමයි අලුතින් බස් ගන්න කටයුතු කළේ. පරණ බස් වෙන්දේසි කරලා ඒ ලැබෙන මුදල් අර්ථසාධක අරමුදලට එක් කිරීම ඉතා හොඳයි. CTB එකට නිකන් බස් දෙන්නේ නැහැ. මීට පෙරත් බස් රථ 300ක් ගත්තා. මේ සියල්ලම ගත්තේ සීයට සීයක් ණයටයි. මේ වෙන කොට මුල් 300ට ගෙවා ඉවරයි. ලංගමට නිකම් බස් දෙන්න එපා කියලා මමයි කිව්වේ. මොකද නැතිනම් අපේ සේවකයෝ වැඩ කරන්නේ නැහැ. දැන් අපි හම්බකරලා ඒ ණය ගෙවන බවත් සේවකයන් උවමනාවෙන් වැඩ කරන බවත් ඔහු සඳහන් කළේය.


    අලුතින් ගත් බස් 900ක් දැන් පාරේ දුවනවා. සීට් 35 පොඩි බස්රථ 400ක් ගන්න කටයුතු කළා. එය ගත්තෙත් ගෙවීමේ පදනමටයි. එම බස් ග්‍රාමීය මාර්ගවලට යොදවනවා. පරණ බස් ග්‍රාමීය මාර්ගවලට යොදා වැඩක් නැහැ. ඉන් ලැබෙන ලාභයෙන් ණය මුදල් ගෙවනවා. ඊට අමතරව සුඛෝපභෝගී බස්රථ 500ක් ගත්තා. එයින් බස් 300ක් දුර ගමන් සේවා සඳහා පිට පළාත්වලට යොදවනවා. මොකද මේ මඟින් තමයි අපට යම් කිසි ලාභයක් ලබාගත හැකි වන්නේ. ජනාධිපතිතුමයි. ගෝඨාභය මහත්තයයි එකතු වෙලා කොළඹ පිරිසිදු නගරයක් කරන්න අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. එතකොට අපේ යුතුකම තමයි කොළඹටත් හොඳ බස් යෙදවීම. ඒ සඳහා නව බස් රථ 200ක් යොදවනවා. කොළඹට ඇතුළු වන දොරටු හයක් තිබෙනවා. ඒ දොරටු හයට මේ බස් යොදවන බවත් ඔහු කීය.

    මා දන්න විදිහට බස් එකක ආයු කාලය අවුරුදු 10යි. පළමු එන්ජින් අලුත්වැඩියාව රුපියල් ලක්ෂ හයක් යනවා. දෙවන නඩත්තුව ලක්ෂ 10න් සිදු කරනවා. ඉන් පසුව බස් එකෙන් ගන්න දෙයක් නැහැ. කළ යුතු හොඳ ම දේ එම බස් විකුණලා අලුත් බස් ගන්න එකයි. ඩලස් ඇමැතිතුමාගේ කාලේ ගෙනා එන් ඒ බස් ටික සිසු සැරියට යොදවන්න තීරණය කර තිබෙනවා. දැනට තිබෙන බස් ප්‍රමාණය මදි. මහජනතාව සඳහා හොඳ සේවාවක් ලබාදීමට නම් අඩුම ගානේ බස් රථ 7,000ක් පමණ අවශ්‍යයි.

    උතුරු මිතුරු අරමුදලෙන් රුපියල් මිලියන 40ක් ලැබී තිබෙනවා. ඒ මුදල්වලින් දුම්රිය ස්ථාන සහ විවිධ ඉදිකිරීම් කළා. එහෙම නැතුව අපි එම මුදල් නිකරුණේ නාස්ති කළේ නැහැ. පසුගිය කාලේ පීලිපැනීම් සහ හැප්පීම් සිදු වුණා. මෙය සාමාන්‍යයෙන් සිදුවන දෙයක්. මෙය වළක්වා ගන්න අප ක්‍රියාමාර්ග සකස් කරමින් සිටිනවා. ඒකාබද්ධ කාලසටහනට මම කැමැතියි. එය සියලු ම මාර්ගවලට ඒ අයුරින් ම සියයට සීයක්  ක්‍රියාත්මක විය යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya