Print this page

ඉදිරි ජනාධිපතිවරණයට පළමු වෙඩිමුරය පත්තු කිරීමට තව ඇත්තේ පැය තිහකටත් අඩු කාලයක්

නොවැම්බර් 18, 2014

(දෙවන යාවත්කාලීන කිරීම- වීඩියෝ) ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් පළමු වෙඩිමුරය පත්තු කිරීමට තව ඇත්තේ පැය තිහකටත් අඩු කාලයක් බව සීනි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

වසා දමා තිබූ , කඩා වැටුණු ආයතන අපි භාරගත්තේ. පැළවත්ත, සෙවණගල, හිඟුරාණ මේවා ගැනයි මම කියන්නේ. සෙවණගල විකුණුවේ එජාපයෙන්. අද අපි සෙවණගල කර්මාන්තශාලව උඩු යටිකුරු කර තිබෙනවා. ඒ කාලේ සෙවණගලින් නිෂ්පාදනය කළේ එතනෝල් විතරයි. සීනි නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් අද වන විට සෙවණගල කෝටි ගණනින් ලාභ ලබන බවත් සීනි නිෂ්පාදනය වැඩි කරිමින් පළමු වතාවට ලාභ ඉපැයීමට සමත් වී ඇති බවත් ඔහු කීය.

මේ වසරේ සේවකයින්ට රුපියල් ලක්ෂ 648ක දිරි දීමනා ලබා දුන්නා. පැළවත්ත රුපියල් ලක්ෂ 880ක දිරි දීමනා ලබා දුන්නා. ගොවි ජනතාව, සේවකයන්, නිලධාරීන් මේ සියලු දෙනාගේම කැපවීම නිසාත් ජනාධිපතිතුමා ගත් වටිනා තීන්දු තීරණ නිසාත් මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකි වූ බව ඔහු පැවසීය.

කන්තලේ කර්මාන්තශාලාව දෙසැම්බර් පළමු සතියේ ආරම්භ කරනවා. මේ සඳහා රුපියල් මිලියන 5,000 වෙන් කර තිබෙනවා. කන්තලේ කර්මාන්තශාලාව එජාපය විසින් විකුණුවේ එක් ලියුම් කැබැල්ලකින්. හිඟුරාණ කම්හලත් ඒ ආකාරයටමයි දුන්නේ. එජාපය මේ ගමන යන්න හදන්නේ පරණ නායකයත් එක්ක ම ද කියලා  මම අහනවා. විසිනව වතාවක් ග්‍රීස් ගහේ නැග්ගා. කොඩිය ගන්න බැරිවුණා. පැරදුණා. වසා තිබූ ආයතන නැවත විවෘත කර ජනතාවට සෙත සැලසීමට මේ රජය දැඩි වෙහෙසක් ගත්තා. මගේ පැරණි නවාතැන එජාපය මේ ආයතන සියල්ල පෞද්ගලික අංශයට විකුණුවා යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

NDH/HC