Print this page

2015 අය-වැය: අමාත්‍යංශ එකොළහක වැය ශීර්ෂයන් සම්මත වේ Featured

නොවැම්බර් 18, 2014

විසර්ජන පනත් ‍කෙටුම්පත (අය-වැය) 2015 ‍වෙනු‍වෙන් කාරක සභා අවස්ථාවේ විවාදය සඳහා වෙන් කළ දින 17න් 13 වැනි දිනය වන අද (18) අමාත්‍යාංශ එකොළහක වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහා පාර්ලි‍මේන්තු විවාදය පැවැත්වුණ අතර විවාදය අවසානයේ සියලු වැය ශීර්ෂයන් සංශෝධන රහිත  සම්මත විණි.


2015 වර්ෂයේ අය-වැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්‍යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා යෝජනා කළ අතර පාර්ලිමේන්තුව එම යෝජනාව සම්මත කර තිබුණි.


2015 වර්ෂයේ අයවැය ඇස්තමේන්තු පිළිබඳ කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා වෙන් කොට ඇති කාලසීමාව දින 17ක් වන හෙයින් ද, අයවැය කාරක සභා අවස්ථාවේ වැඩසටහන සඳහා දිනකට පැය 8ක් පමණ වෙන්කර ඇති අතර, එක් දිනකදී අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂයන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට ඇති හෙයින්, ඒ අනුව එක් වැය ශීර්ෂයක් සඳහා වෙන් කර ඇත්තේ ආසන්න වශයෙන් පැය 02ක පමණ කාල සීමාවක් වන හෙයින් ද, ඒ අනුව එක් එක් අමාත්‍යංශය තුළ වැය ශීර්ෂ සාකච්ඡා කිරීම සඳහා වෙන්කර ඇති කාලය සීමාසහිත වන හෙයින් ද,


පාර්ලිමේන්තුවේ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ සහ විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයාගේ එකඟත්වය පරිදි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කරන ලද මතු සඳහන් ඇමිණුමේ පරිදි අමාත්‍යංශ 22 සහ විශේෂ කාර්යයන් පිළිබඳ ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයන් පිළිබඳව සාකච්ඡා කිරීමට විශේෂ කාරක සභාවක් පත් කළ යුතුයැයි මෙම පාර්ලිමේන්තුව යෝජනා සම්මත කරයි. යනුවෙන් එහි දැක් වේ.


එසේ විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද අමාත්‍යංශ 22න් 11ක වාර්තාව සලකා බැලීම සඳහාත් එම අමාත්‍යංශ 11හි වැය ශීර්ෂයන් සම්මත කර ගැනීම සඳහාත් ආණ්ඩු පක්ෂය අද පාර්ලි‍මේන්තුවට ඉදිරිපත් කර ති‍බුණි.


ඒ යටතේ

ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ පුනරාවර්තන වියදම් සඳහා රු. 667,150,000ක් ද මූලධන වියදම් සඳහා රු. 95,900,000ක් වැය ශීර්ෂ 181 හා 328 යටතේ අනුමත කරගැනීමට ද

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 1,416,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 3,200,000,000ක් වැය ශීර්ෂ 135 හා 293 යටතේ  අනුමත කරගැනීමට ද

සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍යාංශයේ   පුනරාවර්තන වියදම් සඳහා රු. 550,432,000ක් වැය ශීර්ෂ 180 හා 289 යටතේ  මූලධන වියදම් සඳහා රු. 480,050,000ක් ද අනුමත කරගැනීමට ද

පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 977,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 918,000,000ක් වැය ශීර්ෂ 178 යටතේ  අනුමත කරගැනීමට ද

සීනි කර්මාන්ත සංවර්ධනඅමාත්‍යාංශයේ   පුනරාවර්තන වියදම් සඳහා රු. 318,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 81,000,000ක් වැය ශීර්ෂ 186 යටතේ අනුමත කරගැනීමට ද

විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 41,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 50,000,000ක් වැය ශීර්ෂ 191 යටතේ අනුමත කරගැනීමට ද

සමාජ සේවා අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 4,670,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 400,000,000ක් වැය ශීර්ෂ 124 හා 216 යටතේ අනුමත කරගැනීමට ද
 
නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 192,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 186,050,000ක් වැය ශීර්ෂ 145 යටතේ අනුමත කරගැනීමට ද

ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 940,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 2,200,000,000ක් වැය ශීර්ෂ 106 හා 304 යටතේ අනුමත කරගැනීමට ද

උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 515,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 995,900,000ක් වැය ශීර්ෂ 188, 294 හා 322 යටතේ  අනුමත කරගැනීමට ද

වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ  පුනරාවර්තන වියදම් සඳහා රු. 730,000,000ක් ද මූලධන වියදම් සඳහා රු. 670,000,000ක් වැය ශීර්ෂ 179 හා 284 යටතේ අනුමත කරගැනීමට ද අද විවාදය පැවැත්විණි.


පෙරවරු 10.00 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණු විවාදයෙන් අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාදය අවසන් වීමෙන් පසු ව නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා ඉහත අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ට කාරක සභාවේ එකඟත්වය විමසීමෙන් පසු ව එයට අනුමැතිය පළවිය.


අනතුරු ව යළි පාර්ලිමේන්තුව රැස්විණි. එහිදී ඉහත අමාත්‍යංශ එකොළහට අයත් වැය ශීර්ෂයන් කාරක සභා අවස්ථාවේ සලකා බලා සංශෝධන රහිත ව සම්මත වූ බව නියෝජ්‍ය කාරක සභා සභාපති මුරුගේසු චන්ද්‍රකුමාර් මහතා සභාවට දැනුම් දෙන ලදී.


HC/NDH