Print this page

ආසියාවේ ශක්තිමත් ම නායකයා ජනාධිපතිතුමායි

නොවැම්බර් 18, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආසියාවේ ශක්තිමත් ම නායකයා බවට පත්ව ඇති බව නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

උතුරේ පානීය ජල ගැටලුව විසඳීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත. ජල සම්පාදන මණ්ඩලය ජල සම්බන්ධතා ලබා දෙන්න කටයුතු කරගෙන යයි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගත් තොරතුරු අනුව පසුගිය වසර වන විට 225,000ක් පමණ පවුල් උතුරු නැගෙනහිර නැවත පදිංචි කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

මන්නාරමේ පවුල් 21,000ක් වව්නියාවේ 16,000ක් මුලතිව් 40,000ක් කිලිනොච්චියේ 41,000ක් ත්‍රීකුණාමලයේ 35,000ක් හා මඩකළපුවේ 40,000ක් වශයෙන් නැවත පදිංචි කර ඇත. තවමත් පවුල් 7,749ක් පමණ නැවත පදිංචි කිරීම සඳහා සිටී. යුද්ධය අවසන් වී වසර 04ක් ගෙවී ගොස් ඇත. උතුරේ ශීඝ්‍ර සංවර්ධනයක් වෙමින් පවතී. ඇතැම් රටවල සුළි සුළං වැනි දෙයකදී පීඩාවට පත් පවුල් පදිංචි කරන්න අවුරුදු 10ක් පමණ ගත වුණත් ලංකාවේ එසේ වුණේ නැති බව ද ඔහු කීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ 12,000ක් පමණ පුනරුත්ථාපනය කර දෙමාපියන්ට භාර දී ඇත. නිවාස හා සනීපාරක්ෂක ප්‍රශ්න විසඳමින් පවතී. මේ සියලු නිවාස ඉදිකර ඇත්තේ රජයයි. තවත් නිවාස 8,000ක් හා වැසිකිළි 12,000ක් පමණ ඉදිකරන්න බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා පැවසීය.

NDH/HC