Print this page

ජල පිරිපහදු ඒකක 100ක් ස්ථාපිත කර අවසන්

නොවැම්බර් 18, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) ජල පිරිපහදු ඒකක 100ක් පමණ මේ වන විට අනුරාධපුර, පොලොන්නරුව, හම්බන්තොට, මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාපනය කරන්න කටයුතු යොදා ඇති බවත් උතුරු නැගෙනහිර හඳුනාගත් ප්‍රදේශවල තව තවත් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කර ඇති බවත් විශේෂ ව්‍යපෘති අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

ඒ ඒ කාලවල හඳුනාගත් විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම මේ අමාත්‍යාංශයෙන් සිදු වේ. දැනට පවතින වකුගඩු රෝගයට විසඳුම් සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර ඇති අතර එයට අමාත්‍යාංශ 13ක් අයත් වේ. මේ අමාත්‍යාංශය මඟින් ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරන බව ඔහු කීය.

උතුරු මැද, ඌවේ මොනරාගල, දකුණු පළාතේ හම්බන්තොට, වව්නියාව වැනි දිස්ත්‍රික්කවල වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් සිටී. ඉන් අනුරාධපුර හා පොලොන්නරුවේ පිරිස වැඩි නිසා පර්යේෂණ සිදු කරමින් පවතී. ජලය මුල් කර ගෙන වකුගඩු රෝගය වැළදෙන බවට නිර්දේශ වී ඇති නිසා පිරිසිදු ජලය සැයීමට කටයුතු කරනු ඇත.  2015දී දීප ව්‍යාප්තව ජලය පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ජල සම්පාදන මණ්ඩලය පිරිසිදු ජලය ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත. මේ රටින් වකුගඩු රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙළ 2020 වන විට අවසන් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බවත් වකුගඩු රෝගයට විසඳුමක් ලෙස සාම්ප්‍රදායික වී වර්ග වගාවට ජනතාව යොමු කරන්න කටයුතු කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

ගොවීන් 30,000කට සාම්ප්‍රදායික වී නොමිලේ ලබා දෙන්න කටයුතු කළා. අම්පාර, මාතලේ, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, මුලතිවු ප්‍රදේශවලට මේ වී වර්ග ලබා දී ඇත. 2015 - 2016 මහ කන්නය වන විට ලක්ෂ 02කට සාම්ප්‍රදායික වී ලබා දෙන්න අපේක්ෂා කරනවා. කෝමාරිකා ශාඛාව අක්කර 10,000ක වගා කර ඇත. විදේශ රටවලට මේ සඳහා ඉල්ලුමක් පවතී. සුළු වාරිමාර්ග 25,000ක් පමණ මෙරට ස්ථාපිත බවත් ඒවායේ රොන්මඩ ඉවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න මුදල් වෙන් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

NDH/HC