Print this page

මානව ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා වැඩසටහන් රැසක්

නොවැම්බර් 18, 2014

රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන ඉලක්ක කර ගෙන මානව ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බව ඵලදායිතා ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය සේගු දාවුඩ් මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

 

අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

මේ අමාත්‍යාංශයේ ප්‍රධාන අරමුණ මානව ඵලදායිතාවයි. මේ සඳහා සංවර්ධන නිලධාරීන්ට විශේෂ පුහුණුවක් ලබා දී දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා අනුයුක්ත කර ඇති බවත් ඔවුන්ගෙන් ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම අරමුණ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආසියානු ඵලදායිතා කර්යාලය හා එක් ව මේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. වාර්ෂික ව වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම මෙන් ම ඵලදායිතා සම්මාන උළෙලක් ද පැවැත්වේ. 2020 වන විට ජාතික ඵලදායිතාව පළමු අරමුණයි. ඵලදායිතා හා සක්‍යතා වැඩසටහන් ක්‍රියාත්මක කරමින් උසස් අධ්‍යාපන ආයතනත් ඵලදායිතාව සම්බන්ධයෙන් අවධානයක් යොමු කර තිබේ. මේ වන විට පාසල් 5,000ක ඵලදායිතා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මකයි. මාතර දිස්ත්‍රික්කයේ පෙරපාසල් 137ක් මේ සඳහා යොදා ගෙන ඇත. ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මේවා මෙහෙයවනු ඇත. ජනතාවට මිත්‍රශීලී සේවයක් ලබාදීම මෙහි අරමුණ බවත් රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක් මේ සඳහා සහභාගි වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC