Print this page

යුද්ධයට ගිය මුදල සංවර්ධනයට යොමු කළ නිසා ජනතාවට සහන දීමට හැකි වුණා

නොවැම්බර් 18, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) යුද්ධය, ත්‍රස්තවාදය, බෙදුම්වාදය පරාජය කර යුද්ධයට ගිය මුදල සංවර්ධනයට යොමු කළ නිසා අයවැයෙන් මෙතරම් සහන ලබා දිය හැකි වුණ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

අද විශේෂ කාරක සභා වාර්තාවේ ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, අපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු සහ වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන් හි වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට රුපියල් බිලියන 12ක මුදලක් ජනාධිපතිතුමා මෙවර ලබා දුන් බවත් නැවත වගාවට හෙක්ටයාරයකට රුපියල් 350,000 සිට ලක්ෂ 05 දක්වාත් අලුත් වගාවට රුපියල් ලක්ෂ 250,000 සිට ලක්ෂ 04 දක්වාත් මුදල් වැඩි කර ඇති බව අමාත්‍යවරයා කීය.

මෙය 45%ක වර්ධනයක්. මෙතරම් විශාල මුදලක් කවදාවත් කුඩා තේ වතු හිමියන්ට ලබා දී නැහැ. කුඩා රබර් වතු හිමියන්ට රුපියල් 300ක සහතික මිලක් ලබා දී තිබෙනවා. මිල අතර පවතින වෙනස රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් රබර් ගොවියාට ගෙවනවා. මෙහි සම්පූර්ණ ගරුත්වය ජනාධිපතිතුමාට හිමි විය යුතු බව ද ඔහු කීය.

2013දී තමයි නිෂ්පාදනය, ඉතිහාසයේ වැඩි ම මිල, වැඩි ම අපනයනයත්, විදේශ විනිමයත් වාර්තාගත වැඩිවීමත් සිදු වුණේ. මේ වන විට 2013 ඉක්මවා මිල ඉහළ ගිහින්. මේ වන විට තේ මණ්ඩලය රුපියල් මිලියන 4,807ක් එකතු කර ඇති අතර එහි පොලිය රුපියල් මිලියන 869ක් වී තියෙනවා. මේ මුදල හරහා ජාත්‍යන්තරයට සිලෝන් ටී ප්‍රචලිත කිරීමටත් පිරිසිදු තේ හඳුන්වා දීමත් අපේ ඉලක්කයයි. මේ සඳහා චීනය ඇතුළු නව වෙළෙඳපොළවල් ඉලක්ක කර ගෙන තියෙන බවත් නිදහස් වෙළෙඳ ගිවිසුමකට අත්සන් කරන්න සාකච්ඡා කර ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

NDH/HC