Print this page

පළාත් පාලන ආයතනවල මහජන නියෝජිත දීමනා ඉහළට

නොවැම්බර් 15, 2014

පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ගේ දීමනා වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ඒ.එල්.ඒ.එම්. අතාවුල්ලා මහතා අද (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ එකොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

 

අද පෙරවරුවේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශයේ 130, 312 සිට 319 හා 321 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි‍.

 

මේ අනුව මහ නගර සභාවල නගරාධිපතිවරුන් හා නගර සභාවල නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් 15000 සිට රුපියල් 30000 දක්වා ද උප නගරාධිපති හා උප නගර සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් 10000 සිට 25000 දක්වා ද වැඩි කිරීමට පියවර ගැනේ. මහ නගර සභාවල හා නගර සභාවල මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 7000 සිට රුපියල් 20000 දක්වාත් වැඩි කෙරේ.  


එමෙන් ම ප්‍රාදේශීය සභාවක සභාපතිවරයාගේ දීමනාව රුපියල 10000 සිට රුපියල් 25000 දක්වා උප සභාපතිවරුන්ගේ දීමනාව රුපියල් 6500 සිට රුපියල් 20000 දක්වාත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ දීමනාව රුපියල් 5000 සිට රුපියල් 15000 දක්වාත් වැඩි කෙරේ. මෙම වැඩි කළ දීමනා ලබන දෙසැම්බර් මාසයේ සිට ලබා දෙන බව ද අතාවුල්ලා මහතා සෙනසුරාදා (15) ප්‍රකාශ කළේය.  


ඊට අමතරව සියලුම පළාත් පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයෙන් තොර ව යතුරු පැදි ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

 

ලංකාව පුරා මහනගර සභා 23ක්ද නගර සභා 41ක්ද ප්‍රා දේශීය සභා 271ක්ද  ක්‍රියාත්මක වේ. මේවායේ සිටින මහජන නියෝජිතයින් ගණන 3000 වඩා අධිකය.


HC/NDH