Print this page

රජයේ හැම කටයුත්තක් ම අද ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් විවේචනය වෙනවා

නොවැම්බර් 14, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) රජයේ හැම කටයුත්තක් ම අද ජනමාධ්‍ය ක්ෂේත්‍රයෙන් විවේචනය වන බවත් මාධ්‍ය වාරණය කරමින් අපට අවශ්‍ය ප්‍රවෘත්ති පළ කරවා ගන්නවා යැයි කියන එක අසත්‍යයක් බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (14) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පස්වරුවේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ 122, 210 හා 211 වැය ශීර්ෂයන් විවාදයට ගැනේ.

අද ලංකාවේ පමණක් නො ව ලෝකයේ සියලු ම ප්‍රවෘත්ති ක්ෂණිකව මෙරටට ගලා එනවා. සත්‍ය හා අසත්‍යයේ වෙනස හොඳින් ග්‍රහණය කර ගන්න මේ නිසා ජනතාවට අවස්ථාව තියෙනවා. අද ඕනෑ ම කෙනෙකුට වෙබ් අඩවියක් පටන් අරන් මඩ ගහන්න හැකි බවත් ඒ සඳහා නීතිමය යාන්ත්‍රණයක් සදා කටයුතු කිරීමට අපහසු බවත් ඔහු පෙන්වා දුන්නේය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ප්‍රවෘත්ති ගලා යාම නතර කරන්න හෝ පාලනය කරන්න අපට බැහැ. මේ සඳහා නව මානයක් ඇති කර ගත යුතුයි. ඕනෑම ප්‍රවෘත්තියක් ජනතාව අතරට යන ලෙස ප්‍රවෘත්ති අංශයේ විකාශයක් පවතී. ජනාධිපතිතුමා දේශපාලන පක්ෂවලටත් බලපත්‍ර දුන්නා. අද ඒවා දේශපාලන පක්ෂ සතුව නැහැ. මාධ්‍ය නිදහස ගැන ජනාධිපතිතුමාගේ විශ්වාසය අදත් හෙටත් තියෙනවා.

එජාප රජයෙන් ජනමාධ්‍යවේදීන්ට සීනි බෝලයක් වත් දීලා නැහැ. ප්‍රථම වරට මාධ්‍යවේදීන් සඳහා ණය පහසුකම් දුන්නේ මේ රජයයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පරිගණක ඇතුළු උපකරණ සඳහා ණය පහසුකම් දුන්නා සහනාදායී පොලියක් යටතේ. මෝටර් රථ ලබා ගන්න රුපියල් මිලියන 1.2ක ණය දුන්නා. පළමු අදියර යටතේ 142ක්, 2 වන අදයරේදී 156 දෙනෙකුට ණය පහසුකම් දුන් අතර  3 වන අදියරේදී 539 දෙනෙකු මේ සඳහා යෝජනා වී ඇති බව ද ඔහු කීය.

එජාපය කාලයට වඩා පෞද්ගලික මාධ්‍ය ආයතන සඳහා වැඩි ඉඩක් ලබා දෙන්න ජනාධිපතිතුමාගේ කාලයේ කටයුතු කළා. මාධ්‍ය ක්ෂේත්‍රය පුළුල් කළේ මේ රජයයි. ප්‍රවෘත්තිවලට අද රටේ තියෙන නිදහස කිසිදු කලෙක පැවතියේ නැහැ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යූහයක් යටතේ රජය විවේචනය විය යුතුයි. මාධ්‍ය පාලන නීතිය ලංකාවේ නැහැ. පාලන නීතියක් නැති නිසා තමන්ට අවශ්‍ය දෙයක් කියන්න නිදහස තියෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රය ඇතුළේ දැවැන්ත වෙනස්කම් රැසක් කරන්න මේ රජයට හැකි වී තිබෙන බව ද ඔහු පැවසීය.

ලංකාවේ තරුණ පිරිස අද මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට ඇවිත්. ඔවුන්ට නිසියාකාර පුහුණුවක් මාධ්‍ය ගැන ලබාදිය යුතුයි. මාධ්‍ය වේදියා අඩු ම තරමින් භාෂා 02ක්වත් දැන සිටිය යුතුයි. මේ සඳහා පුහුණු පාසලක් තිබිය යුතුයි. සෑම මාධ්‍යවේදියෙකුට ම දේශපාලන මතයක් තියෙනවා. සත්‍ය ප්‍රවෘත්ති පළ කරනවා හැර මාධ්‍ය වාරණයක් ලංකාවේ නැති බවත් නූතන තාක්ෂණ හැකියාවත් සමඟ මාධ්‍ය නිදහස අඩු කරන්න කිසිවෙකුටවත් නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

NDH/HC