Print this page

ඉතිහාසයේ පළමු වරට විරැකියාව 5%කට වඩා අඩු වී තිබෙනවා

නොවැම්බර් 13, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) තාක්ෂණවේදය පාසල්  විෂයධාරවට හඳුන්වාදීමත් සමඟ පාසලයි වැඩපොළයි අතර පාලම් නිර්මාණය කිරීමට රජය සමත්වූ බවත් ඉතිහාසයේ පළමු වරට විරුකියාව 5%කට වඩා අඩු වී තිබෙන බවත් යෞවන කටයුතු හා නිපුණාත සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (13) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ නවවෙනි දින විවාදයට එක්වෙමිනි.

අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ 156 හා 215 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

යෞවන කටයුතු හා නිපුණතා කියන විෂය අපේ ජනාධිපතිතුමා ඉතා හොඳින් තේරුම් ගෙන තිබුණා. එතුමා රුපියල් මිලියන 214ක් ගිය වසරට වඩා මේ වසරේ දේශීය අරමුදල්වලින් ලබා දී තිබෙනවා. ලෝකයේ ඕනෑ ම රටක වයස අවුරුදු 20ත් 24ත් අතර විරැකියා ඉතා වැඩියි. විශ්වවිද්‍යාල සිසුනුත් ඊට ඇතුළත් වෙනවා. තාක්ෂණික ශ්‍රී ලාංකිකයෙක් ගොඩනගාගැනීමේ අරමුණ ඇතිව මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවා යැයි ඔහු කීය.

මේ රටේ වෘත්තීය අධ්‍යාපනය කාර්මික අධ්‍යාපනය යම් දිශානතියකට රැගෙන යන වැඩපිළිවෙළක් අපේ ඉතිහාසයේ තිබුණේ නැහැ. 1893දී මරදාන කාර්මික විදුහල ආරම්භ කළ පසු කාර්මික අධ්‍යාපනයේ ඉදිරි පියවරක් ගන්න අප රට ශතවර්ෂයක් බලාගෙන හිටියා. ජාතික වෘත්තීය සුදුසුකම් මැනීමට කිසිදු මට්ටමක් මේ රටේ තිබුණේ නැහැ. එය ආරම්භ කර වෘත්තීය අධ්‍යාපනයට විශ්වවිද්‍යාල අධ්‍යාපනය එකතු වුණේ වසර 122න් පසුවයි. තාක්ෂණ විශ්වවිද්‍යාලය වෘත්තීය අධ්‍යාපනයේ උපාධිධාරීන් බිහි කළා. තාක්ෂණවේදය පාසල් විෂයධාරවට හඳුන්වා දුන්නා. ඒ තුළින් පාසලත් වැඩපොළත් අතර පාලමක් බිහි වී තිබෙනවා. විශ්වවිද්‍යාලවට යන 6%ක ප්‍රමාණය ඉලක්ක කර සකස් කළ ආර්ථික ක්‍රමය වෙනුවට සියලු ම දරුවන් ඊට අනුගත කරන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මකයි. මධ්‍යම මට්ටමේ ඉංජිනේරුවන් ඇති කිරීමට විශ්වවිද්‍යාල විද්‍යායතන මඟින් අවශ්‍ය සුදුසුකම් ලබාදෙනවා. ලබන වසරේ ශ්‍රී ලංකා ජාතික සුදුසුකම් පාසලක් ඇති කිරීමට පියවර ගන්නවා. නිපුණතා සංවර්ධනයට කිසිදු රජයක් නොකළ වැඩකොටසක් මේ රජය සිදු කර තිබෙන බවත් මේ අංශයේ පාඨමාලා අධ්‍යාපන ආයතන මෙන් ම සිසුන්ගේ සංඛ්‍යාව ද විශාල වශයෙන් වැඩි වී තිබෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

NDH/HC