අගෝස්තු 23, 2019
tami eng youtube  twitter facebook

    2014 මත්ස්‍ය නිෂ්පාදනය ටොන් ලක්ෂ පහමාරක්

    නොවැම්බර් 12, 2014

    මේ අවුරුද්දේ මුල් මාස 09ට විතරක් මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් තුන් ලක්ෂ අනූහය දහස් නවසිය තිහක් තිබෙ‍න බවත් ඒ අනුව මෙට්රික් ටොන් පන්ලක්ෂ පනස් දාහක් මේ අවුරුද්දේ මත්ස්‍ය නිෂ්පාදනයෙන් සම්පූර්ණ කර ගත හැකි බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.


    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් එදින විවාදයට ගැනිණි.


    විවාදයේදී ධීවර අමාත්‍යවරයා කරන ලද කතාව මෙසේයි. "අද දින ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙක් කතා කළා. ඒ මන්ත්‍රීවරුන් සියලු දෙනාට ම  මා ස්තූතිවන්ත වෙනවා. සමහර මන්ත්‍රීතුමන්ලා කරුණු කිව්වා, නිවැරදි ‍ තොරතුරු දන්නේ නැතිව. මම මේ ඉදිරිපත් කරන කරුණුවලින් ම අද ධීවර කර්මාන්තයේ තත්ත්වය මොකක් ද කියා තමුන්නාන්සේලාට සොයා ගත හැකියි. 2009 වර්ෂය වෙනකොට මම අමාත්‍යාංශය භාර ගන්න අවස්ථාවේදී  ධීවර නිෂ්පාදනය තිබු‍ණේ මෙට්රික් ටොන් තුන්ලක්ෂ තිස්නව දාහයි. අපි  පසුගිය අවුරුද්ද වෙනකොට ‍මෙට්රික් ටොන් පන්ලක්ෂ දොළොස්දාහ ඉක්මවා මාළු නිෂ්පාදනය කර තිබෙනවා. නිෂ්පාදනය වැඩි වෙලා. ධීවර නිෂ්පාදනයේ වර්ධනය බැලුවා ම, කරදිය ධීවර නිෂ්පාදනය 4%කින් වැඩි වෙලා තිබෙනවා. මිරිදිය ධීවර නිෂ්පාදනය 21%කින් වැඩි වෙලා තිබෙනවා.


    ධීවර යාත්‍රා ප්‍රමාණය ගත්තොත්  2009 වර්ෂයේ  තිබුණේ  ධීවර යාත්‍රා 40,014යි. 2013 වර්ෂය වෙනකොට  මේ රටේ  ධීවර යාත්‍රා 62,786ක් තිබෙනවා. යාත්‍රාවල 50%කට වැඩි වර්ධනයක්. එම නිසා ධීවරයින්ට අමාරුයි කියන එක පිළිගන්නට බැහැ. එහෙම නම්, ධීවර ක්ෂේත්‍රයට‍ මේ තරම් ධීවරයින් ප්‍රමාණයක්, යාත්‍රා ප්‍රමාණයක් පිවිසෙන්නේ නැහැ. 2009ත් බහුදින යාත්‍රා තිබුණේ 2,934යි. අද බහුදින යාත්‍රා 4,183ක් තිබෙනවා.  එක් දින යාත්‍රා තිබුණේ 958යි. අද එම ප්‍රමාණය 888ට අඩු වෙලා, පිටත එන්ජිම තිබෙන  එක් දින යාත්‍රා 17,183 සිට  23,210 දක්වා වැඩි වෙලා තිබෙනවා.


    පාරම්පරික යාත්‍රා ගැන බැලුවා ම,  යාන්ත්‍රික ඒවා 2,126 සිට 2,483 දක්වා වැඩි වී තිබෙනවා. පාරම්පරික යාත්‍රා  18,243 සිට  22,980 වනතුරු  හැම ක්ෂේත්‍රයක ම යාත්‍රා වැඩිවෙලා තිබෙනවා. කරදිය ධීවරයින් ප්‍රමාණය මා අමාත්‍යාංශය භාර ගන්නකොට සිටියේ  එක්ලක්ෂ හැත්තෑදාහයි. දැන් ‍ මේ වෙනකොට දෙලක්ෂ දහඅටදහස් පන්සිය පණහක් බව 2013 වර්ෂයේදී වාර්තා වෙලා තිබෙනවා.


    අපනයනය ගත්තොත්, 2013 වර්ෂයේදී මෙට්රික් ටොන් 15,662ක් අපනයනය කළා. 2014 අවුරුද්දේ මේ වෙන‍කොට මෙට්රික් ටොන් 19,709ක් අපනයනය කර තිබෙනවා. ඒ විතරක් නොවෙයි, ගිය අවරුද්දේ  අපි ලබා ගත්තේ, රුපියල් මිලියන 22,284 යි. මේ වෙනකොට රුපියල් මිලියන 26,635ක් ලබමින් 19.5%ක  වර්ධනයක් තිබෙනවා.  2013 වර්ෂයේදි මාළු හා මාළු නිෂ්පාදන මෙට්රික් ටොන් 60,656ක් ආනයනය කළා. 2014 වර්ෂයේදී 56,300ක් ආනයනය කර තිබෙනවා. ඒ කියන්නේ, මේ මුල් මාස 09දී  රුපියල් මිලියන 16,278 සිට මිලියන 13, 434 දක්වා  අඩු වීමක් තිබෙනවා.  ඒ කියන්නේ, ගිය අවුරුද්දේ මුල් මාස නවයත් එක්ක බැලුවාම මේ අවුරුද්දේ මුල් මාස නවයේදී 14.5%ක ආනයනය අඩුවීමක් තිබෙනවා. එම නිසා වෙළෙඳ ශේෂය 19.8%ක ප්‍රතිශතයකින් වැඩි වි තිබෙනවා.


    දිලිප් වෙදආරච්චි මැතිතුමා කිව්වා, මත්ස්‍ය නිෂ්පාදනයෙන් 90%ක් යුරෝපයට යවනවා කියා. අපි ගිය අවුරුද්දේ යුරෝපයට යවා  තිබෙන්නේ 31.7%යි. තුනෙන් එකක්වත් යුරෝපා සංගමයට නොවෙයි යන්නේ. ඒ වගේම කරවල ආනයනය 32%කින් අඩු වෙලා තිබෙනවා.  වියළි හාල්මැස්සන් ආනයනය 20.7%කින් අඩු වෙලා තිබෙනවා. උම්බලකඩ ආනයනය  26%කින් අඩු වෙලා  තිබෙනවා.  ටින් මාළු ආනයනය 25%කින් අඩු කර ගෙන තිබෙනවා.


    පරිභෝජනය ගැන මතක තියා ගන්න. 2009 වර්ෂය වෙනකොට පරිභෝජනය  එක පුද්ගලයෙකුට එක්දින පරිභෝජනය තිබුණේ ග්‍රෑම් 28යි. මේ අවුරුද්ද වෙනකොට මෙය ග්‍රෑම් 43.2කට  50%කින් වැඩිකර ගෙන තිබීම ගැන මා සන්තෝෂ වෙනවා.  2009 සිට 2012 දක්වා ලෝකයේ  පරිභෝජනය ගැන බැලුවොත් වැඩි වෙලා තිබෙන්නේ  එකදවසකට ග්‍රෑම් 3කින්. ඒ මුළු ලෝකයේ ම  තත්ත්වය.  නමුත් අපේ රටේ තත්ත්වය, දවසකට  ග්‍රෑම් 12.6කින්  අපේ පරිභෝජනය වැඩි වෙලා තිබෙනවා.  ඒ ලෝක තත්ත්වය වා‍ගේ 04 ගුණයකින් වැඩි වී තිබෙනවා.  මේක FAO  වාර්තාව අනුවයි.


    ඒ වගේම දළ‍ දේශීය නිෂ්පාදනයට ධීවර දායකත්වය බැලුවොත් 2013 වර්ෂයේ තිබුණේ 8.1%යි. අද වෙනකොට 8%කට වර්ධනය වෙලා  තිබෙනවා. විසිතුරු  මත්ස්‍ය අපනයනය 2010 දී තිබුණේ රුපියල් මිලියන 919 යි. 2013 වෙන‍කොට  බිලියනය පැන්නුවා.  රුපියල් මිලියන 1,383ක්  අපනයනය කර ගත්තා. මේ අවුරුද්දේ සැප්තැම්බර් වෙනකොට රුපියල් මිලියන  1,201ක් තිබෙනවා.  මේ අවුරුද්ද අවසාන වෙනකොට බිලියන එකහමාර පනිනවා ඇත කියා අප බලාපොරොත්තු වෙනවා.


    නව මත්ස්‍ය වගාවන් ආරම්භ කළා. වලෙයිපාඩුවල අපි මුහුදු පැලෑටි - seaweed -   ආරම්භ කළා.  එතැන උතුරේ ජනතාව 300ක් රැකියාවේ නියුක්ත වී සිටිනවා.  ඒ වාගේම මුහුදු කූඩැල්ලන් ගැන කියන්න  ඕනෑ. මෙතෙක් කළේ මහුදු කූඩැල්ලන් අල්ලා ගත් එක විතරයි. දැන් ඒ කූඩුවල මුහුදු කූඩැල්ලන් වගා කරන්නටත් කටයුතු ආරම්භ කළා. ඒක තේවාපිටම්,  අම්බුපුරම්, වලෙයිපාඩු මේ ස්ථාන තුනේම මේ කූඩැල්ලන් වගා කිරීම ආරම්භ කර  සිය ගණනකට රැකියා දී තිබෙනවා.


    කිවුල් දිය ඉස්සන් වගාව වාකරේ පොකුරු ඉස්සන් වගා ගොවිපොළ තුළ කෙරෙනවා. අපි මුලින් ම මඩකළපුවේ හැදුවා, කිවුල් දිය ඉස්සන් අභිජනනාගාරයක්. ඒකට අපි රුපියල් මිලියන 20ක් වියදම් කළා. ඊට පසුව රුපියල් මිලියන 90ක් වියදම් කරලා අක්කර 200ක ගොවිපොළක් හැදුවා. ඒ අක්කර 200 වගා කරලා අපි ඒ පැත්තේ දුප්පත් මිනිසුන්ට දුන්නා. ඒ අක්කර 200ට  වියදම් කරලා අද ඒ ගොවිපොළේ සිය ගණනාවක් රැකියා  කරනවා. මේ අවුරුද්දේ ආරම්භ කරනවා, මඩකළපුවේ මිරිදිය ඉස්සන් අභිජනනාගාරයක්.


    මෝදා මත්ස්‍ය ව්‍යාපාරයත්. මෝදා මත්ස්‍ය ව්‍යාපෘතිය ත්‍රීකුණාමලයේ වාගේම හලාවතත් ආරම්භ කරලා තිබෙනවා. ත්‍රීකුණාමලයේ මෝදා මත්ස්‍ය වගා ව්‍යාපෘතියේ 175 දෙනෙක් විතර රැකියා කරනවා.


    බෙල්ලන් ව්‍යාපෘතිය. මන්නාරම බෙල්ලන් ව්‍යාපෘතිය ආරම්භ කරලා, මේ වන විට අපි බෙල්ලන් අපනයනය කරනවා. අපේ තරු පහේ හෝටල්වල තමුන්නාන්සේලාගේ පරිභෝජනය සඳහා තිබෙන්නේ අපි වගා කරන බෙල්ලන් තමයි.


    වියට්නාම් රජයත් එක්ක ඒකාබද්ධ වෙලා, ඒ රටේ විද්‍යාඥයන් ගෙන්වාගෙන අපි ආරම්භ කළා, මුහුදු පැළෑටි ව්‍යාපෘතියක්. ඒ ව්‍යාපෘතිය අපි වලේපාඩුවල ආරම්භ කළා. මුහුදු කූඩැල්ලන් අභිජනනාගාරයක් හලාවත හැදුවා. මුහුදු කූඩැල්ලන් පොකුණු තුළ ඇති කිරීමේ තවත් ව්‍යාපෘතියක් ආරම්භ කළා, පුලියන්කුළම සහ කිරංචි කියන ප්‍රදේශවල.


    පොකිරිස්සන් තර කිරීම. පොකිරිස්සන් ලොකු ප්‍රමාණයට වර්ධනය කර ගැනීමේ ව්‍යාපෘතියක් වලේපාඩුවල ආරම්භ කළා. මේ අවුරුද්දට මිරිදිය පසුකීටයන් නිෂ්පාදනය කරලා තිබෙනවා, මිලියන 87.46ක්. එය  ධීවරයන්ට දීලා තිබෙනවා. ඇඟිල්ලන් මිලියන 58.52ක් නිපදවා තිබෙනවා.


    ඒ වාගේම ජීවී පාෂාණ - artificial coral reefs  - මුහුදු පතුළේ තැන්පත් කරන්නට ආරම්භ කළා, ඒ ජීවි පාෂාණ අපනයනය කිරීමෙන් ඇමෙරිකානු ඩොලර්  41,679ක ආදායමක් ලබා ගත්තා, මේ කෘත්‍රිම පාෂාණ හදලා. 2000 වර්ෂයේ ටූනා අපනයනයෙන් ලබා ගත්තේ ඩොලර් මිලියන 50යි. 2014 වන කොට මේ ගණන ඩොලර් මිලියන 13,876කට වර්ධනය කරලා තිබෙනවා. මේ රටේ මත්ස්‍ය අපනයනයෙන් 43%ක් කරන්නේ ටූනා මත්ස්‍යයන් අපනයනයයි.


    මාළු මිල 2012-2014 වන තෙක් ස්ථාවර කර තිබෙනවා. මාළු මිල විතරයි අද වෙළෙඳපොළේ වෙනස් නොවී අවුරුදු 02ක කාලයක් තුළ තිබෙන්නේ. ඒකට ‍හේතුව අද මේ වන කොට ලංකා ධීවර සංස්ථාව වෙළෙඳපොළෙන් 10%ක් අරගෙන තිබීම. අපි අලෙවිසැල් 144ක් හදලා තිබෙනවා. සතොස වෙළෙඳසැල්  225ක අපේ මාළු විකුණනවා. Co-op City  61ක අපේ මාළු අලෙවියට තිබෙනවා. හැම ආර්ථික මධ්‍යස්ථානයක ම මේ වෙළෙඳසැල් හදලා තිබෙනවා. කොළඹ බොහෝ තැන්වල අපි ජංගම අලෙවිසැල් සූදානම් කරලා තිබෙනවා. ධීවර සංස්ථාව ධීවරයන්ගෙන් මාළු මිලදී ගෙන තිබෙනවා, 2009 දී මෙට්රික් ටොන් 2,329ක්, 2012 දී  මෙට්රික් ටොන් 4,845ක්, 2013 දී මෙට්රික් ටොන් 4,115ක්. ඒ තරම් විශාල මාළු ප්‍රමාණයක් අපි ධීවරයන්ගෙන් ගන්නවා. ඒ වාගේම මෙවර අයවැයෙන් අතිගරු ජනාධිපතිතුමා අපට වෙන් කර දීලා තිබෙනවා, ශීතාගාර පද්ධතිය හදන්නටත්,වෙළෙඳසැල් 250ම හදන්නත් මගේ වැඩපිළිවෙළ සඳහා රුපියල් මිලියන 1,500ක්.


    සහන දුන්නේ නැහැයි කියලා කිව්වා. අපි සියලු ම ධීවරයන්ව ආදායම් බද්දෙන් නිදහස් කළා. අද කිසිම ධීවරයෙක් ආදායම් බදු ගෙවන්නේ නැහැ.  දැල් ආම්පන්න, එන්ජින් සියලු ම දේවල් ආදායම් බද්දෙන් නිදහස් කළා. මේවාට අද බදු අය කරන්නේ නැහැ. මේ බදු අඩු කිරීම නිසා එන්ජින් එකක මිල රුපියල් 40,000කින් මේ වන කොට අඩු වෙලා තිබෙනවා. ආම්පන්නවලට යොදා ගන්නා රැහැන්වලට 15%ක බදු සහනයක් දුන්නා. මත්ස්‍ය ඇමවලට 15%ක බදු සහනයක් දුන්නා.  රුපියල් 480කට තිබුණු මාළු ඇම කිලෝ එකක මිල දැන් රුපියල් 250ට  බැහැලා තිබෙනවා. ධීවර බලපත්‍ර ගාස්තු සම්පූර්ණයෙන් ම නිදහස් කළා.  අද  එක ම බලපත්‍රයකටවත් ගාස්තුවක් ගන්නේ නැහැ.


    ධීවර දිරිය ණය 2002 දී රුපියල් මිලියන 1,000ක් දුන්නා. 2013 දී රුපියල් මිලියන 2,000ක් දුන්නා. එහි  4%ක පොළියක් ගෙවන්නේ ආණ්ඩුවෙන්. ධීවරයා ගෙවන්නේ 6%යි. උතුරේ ධීවරයන්ගෙන්  ණයෙනුත් 25%ක් ආණ්ඩුව ගෙවනවා. ඒ විධියට තමයි ධීවර ණය ලැහැස්ති කරලා තිබෙන්නේ.


    ඉන්ධන සහනාධාරය  වෙනුවෙන් 2013 දී රුපියල් මිලියන 3,950ක් වැය කළා. මේ අවුරුද්දෙත් ඒ ගණන ම වැය කරනවා, ඒකට ආම්පන්නත් දෙනවා. අපි හැම තැනකම ආම්පන්න බෙදා ගෙන යනවා. ආම්පන්න බෙදන්නේ නැහැයි කියලා කිව්වා. මේවා නිෂ්පාදනය කරන්න ඕනෑ. නිෂ්පාදනය කරන්නේ North sea එකේ.  මේවා පිටරටින් ගෙන්වන්නේ නැහැ. ඒ ගොල්ලෝ නිෂ්පාදනය කරන ඒ සියල්ල ම අපි බෙදා හරිනවා. දැල් කට්ටල විතරක් මේ අවුරුද්දේ 22,50,000ක් බෙදා හරිනවා. මේ යෝජනා ක්‍රමය යටතේ, ආරක්ෂක කබා 37,000ක් අපි ධීවරයන්ට බෙදා හරිනවා.


    ධීවරයන්ට අපි රක්ෂණයක් ලබා දුන්නා. ඒ යටතේ දැනට 19,360 දෙනෙක් රක්ෂණයට එකතු වෙලා සිටිනවා. රුපියල් 10,000ක විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලැහැස්ති කරලා දුන්නා.  ඒකට ධීවර කර්මාන්තයේ යෙදී සිටින 68,465 දෙනෙක් එකතු වෙලා තිබෙනවා.  ඒ වාගේම ධීවර යාත්‍රා සඳහා රක්ෂණය කර තිබුණේ පූර්ණ හානියක් වුණොත් විතරයි. අපි ඒ අයව ගෙන්වලා කතා කරලා, blacklist  කරනවා කියලා බය කරලා අර්ධ හානි සඳහා වන්දි ලබා දෙන රක්ෂණ ක්‍රමයක් ලැහැස්ති කර ගත්තා. දැන් ඕනෑම යාත්‍රාවක එන්ජින් එක කැඩුණත්, යාත්‍රාවේ කොටසක් කැඩුණත් රක්ෂණයෙන් ධීවරයන්ට මුදල් ගෙවනවා. මෙවර තමයි ඉතිහාසයේ පළමුවැනි වතාවට ධීවර යාත්‍රාවල අර්ධ හානියකට රක්ෂණ වන්දි ලැබෙන්නේ.


    අපි ජාතික ධීවර සම්මේලනය හැදුවා. දැන් මාසයකට එක වතාවක් දවසකින් වරුවක් මම ඒගොල්ලොත් එක්ක වාඩිවෙනවා. ඒගොල්ලන් හැම තැනකම වාර්ෂික සම්මේලන පවත්වලා ඡන්දයෙන් තමයි නියෝජිතයෝ පත් වෙන්නේ. ඒ විධියට ශාඛා 1,259ක් පිහිටුවලා තිබෙනවා. ඒවායේ සාමාජිකත්වය 1,04,596ක් ඉන්නවා. මේක තමයි ලංකාවේ තිබෙන විශාල ම ධීවර සංවිධානය. රුපියල් 100ක සාමාජික මුදලක් ගෙවලා, අවුරුද්දක් පුරා දිස්ත්‍රික් මට්ටමෙන් නිලවරණ තියලා  ගොඩනැ‍ඟෙන එකම සංවිධානය. ඒ යටතේ අපි ක්ෂුද්‍ර මූල්‍ය බැංකු හැදුවා. දැන් බැංකු 17ක් හදලා තිබෙනවා. අපේ ඉලක්කය ලබන අවුරුද්ද  ඉවර වෙන කොට බැංකු 100කට යන්නයි.


    ඒ වාගේම නියම ධීවරයින්ගේ දරුවන්, ධීවර තරුණයින් කොරියන් භාෂාව නැතිව කොරියන් රැකියාවලට යවන්න අපි ආරම්භ කළා. ඒ වාගේම ස්වයංරැකියා සඳහා වැඩපිළිවෙළක් සහ ධීවර ජනතාවට නිවාස ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. මේ ස්වයංරැකියා වැඩපිළිවෙළේ  වැදගත්කම දැකලා ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා හැම ගමකම ඒක ආරම්භ කරන්නය කියලා ලබන අවුරුද්දේ ඉඳලා රුපියල් මිලියන 750 ගණනේ වෙන් කර තිබෙනවා. අවුරුදු තුනකට රුපියල් 750 ඒවා තුනක්, රුපියල් මිලියන 2250ක්. ඊට අමතරව අපේ ඇස්තමේන්තුවල තව රුපියල් මිලියන 120ක් තිබෙනවා. ඒ නිසා මේ ස්වයංරැකියා වැඩපිළිවෙළ සඳහා ලබන අවුරුද්දට රුපියල් මිලියන 870ක් තිබෙනවා.


    "දිවි නැගුම" වැඩපිළිවෙළ යටතේ ධීවර අංශයේ ස්වයංරැකියා කරන ප්‍රතිලාභීන් 6,842ක් හදලා තිබෙනවා. ඒ වාගේම අපි දැන් ධීවරයින්ට ජීවිතාක්ෂක කබා අනිවාර්ය කරලා තිබෙනවා. යාත්‍රාවල ප්‍රමිතිය බලලා අපි ලබා දෙන සහතිකය මත හැර යාත්‍රා එළියට දමන්න දෙන්නේ නැහැ. ඉස්සර බොහෝ අනතුරු සිදු වුණේ ප්‍රමිතියක් නැති යාත්‍රා හැදීම නිසායි.


    ඒ වාගේම ඉස්සන් කර්මාන්තය ගත්තොත් සුදු පුල්ලි රෝගය නිසා ඉස්සන් කර්මාන්තය කඩා ගෙන වැටුණා. කඩා ගෙන වැටිලා ඒ කර්මාන්තයේ යෙදෙන අය අනාථ වුණා.  මම මහ බැංකුව ඇතුළු සියලු බැංකු ගෙන්වලා කතා කරලා තීන්දුවක් අර ගෙන ඒගොල්ලන්ගේ සියලු ම ණය පොලී කපා හැරියා.  පොළී රුපියල් මිලියන 1,778ක් එක පෑන් පහරින් කපා හැරියා.  ඒක තමයි ලංකා ඉතිහාසයේ වැඩි ම පොලියක් කපා හැරි වැඩපිළිවෙළ.  එහෙම කරලා නැවත ඔවුන්ට ණය ලබා දුන්නා. ඒ  ණය අවුරුදු 10කින් ගෙවන්න ලැහැස්ති කරලා දුන්නා. අද මෙවර  සම්මේලනයට මම ගිය වෙලාවේ ඔවුන්  ආවේ පැජරෝ, බෙන්ස්, ප්‍රාඩෝවලින්.


    ඒ විතරක් නොවෙයි, අපි ධීවර නිවාස ණය රුපියල් 1,00,000 බැගින් දෙන්න ආරම්භ කළා. ලබන අවුරුද්දේ ඉඳලා අපි ඒක ආරම්භ කරනවා. දැනටත් සුළුවෙන් ආරම්භ කර තිබෙනවා. ඒ වාගේම උතුර,  නැ‍ගෙනහිර ගැනත් කියන්න ඕනෑ. උතුර තමයි අපේ ධීවර කර්මාන්තයේ මධ්‍යස්ථානය. අපේ “economic hub”  එක.  1983 වන විට උතුරේ  ධීවර කර්මාන්තය 44%ක් තිබුණා.  ම‍ගේ බලාපොරොත්තුව 50%ක් කරන්න.  උතුරේ සංවර්ධනයට මේ වන විට රුපියල් මිලියන 1,800ක් වැය කර තිබෙනවා. 1983 මත්ස්‍ය අස්වැන්න තිබුණේ 44%ක්‍. ජාතික නිෂ්පාදනයෙන් 44%ක් ඒගොල්ලෝ කළා. 2009දී ඒ ප්‍රමාණය 7%කට කඩා ගෙන වැටුණා. අද අපි කියන්න සන්තෝෂයි, 23.8% දක්වා ධීවර නිෂ්පාදනය වැඩි වෙලා තිබෙනවා. 1983 නැ‍ගෙනහිර පළාතේ ධීවර නිෂ්පාදනය 15.5%ක් තිබුණා. යුද්ධය අවසන් වන විට ඒක 3%කට විතර වැටිලා තිබුණා. අද අපි කියන්න සන්තෝෂයි, ජාතික නිෂ්පාදනයෙන්  23%ක් නැ‍ගෙනහිර පළාතෙන් ධීවර නිෂ්පාදන සපයනවා.


    ඒ වාගේම ඉරණමඩු අභිජනනාගාරය සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙනවා.  ඒ මධ්‍යස්ථානයේ  මිලියන 50ක් මත්ස්‍ය ඇඟිල්ලන් බීජ නිෂ්පාදනය කරනවා. ඒක කළාම මුළු උතුරේ ම මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයට ඒක ඇති.  ඒ වාගේම රුපියල් මිලියන 20ක් දීලා නැ‍ගෙනහිර ඉස්සන් අභිජනනාගාරය පුදුකුඩිඉරිප්පුවල හැදුවා කියලා මම කිව්වා. අන්තර් පළාත් ධීවර සහයෝගිතා සමුළුවට අපි සියලු ම ඇමතිවරුන් ගෙන්නුවා. ගෙන්වලා සාකච්ඡා කළා. උතුරු පළාත් සභාවේ ධීවර ඇමතිතුමා මාත් එක්ක එකට වැඩ කරන්නේ. මම උතුරට ගියා ම ඒ ධීවර ඇමතිතුමාත් මමත් එකට යන්නේ. අනෙක් කට්ටියට තිබෙන ප්‍රශ්න මට නැහැ. මෙවර මම උතුරට ගිය වෙලාවේ මාව පිළිගත්තේ විග්නේෂ්වරන් මහ ඇමතිවරයා. කැබිනට් මණ්ඩලයේ අනෙක් සියලු ම අයත් ගෙනැල්ලා මට බුලත් අතක් දීලා, මල් මාලයක් දමලා පිළිගෙන මාව මූලාසනයේ තියා ගෙන ඒගොල්ලෝ උතුර නැ‍ගෙනහිර ප්‍රශ්න  සාකච්ඡා කළා. ඒ නිසා උතුරේ ධීවර ඇමතිවරයාට මම කියලා තිබෙන්නේ "තමුන්නාන්සේ වැඩ කර ගෙන යන්න, මම ගන්නා ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කරන්න" කියලා. අපි ආරම්භයක් වශයෙන් සියලු ම පළාත් සභා ඇමතිවරයකුට ම වෙන ම රුපියල් මිලියනය බැගින් සල්ලි දුන්නා, තමන්ගේ අමාත්‍යාංශවලට වියදම් කර ගන්න. ඒ විතරක් නොවෙයි, "ඒ සංවර්ධන වැඩ කටයුතු සම්පූර්ණයෙන් ම  කර ගෙන යන්න මම ඇවිල්ලා අඩුපාඩු බලන්නම්" කියලා ඒගොල්ලන්ට කිව්වා. මම ගිහිල්ලා අඩුපාඩු බලනවා. මම ගියාම මමත් විග්නේෂ්වරන් මහ ඇමතිතුමා, මේ චන්ද්‍රකුමාර් මැතිතුමන්ලා අපි එක වේදිකාවේ ඉඳගෙන එකට වැඩ කරන්නේ. මේක තමයි  මම කියන බලය බෙදීම. මේ බලය බෙදීම ගැන අපි කටින් කියලා වැඩක් නැහැ.


    අපි ඒක කරන්න  ඕනෑ. ඒ මොන ප්‍රශ්න තිබුණත් අපි ඒ අයත් එක්ක වැඩ කරනවා. ඒ අයත් අපිත් එක්ක ඉතා හොඳින් වැඩ කරනවා. ඒ වාගේම නව වරායන්  ගැන කතා කරන විට  ගන්දර, පේසාලේ, ගුරුනගර්, සිලාවතුර, මුලතිව්, චාලෙයි, පුඩුවකඩ්ඩු, ඉලංගතුරෙයි, වාලච්චේනෙයි, කළමැටිය සහ වෙන්නප්පුව යන ස්ථානවල අලුතින් වරයන් ඉදිකරනවා. නැංඟුරම් පොළවල් 26ක් සංවර්ධනයට ලක් කර තිබෙනවා.  බේරුවල, කයිකාවල, පළඟතුරේ,  පෝරුතොට, කරෙයිනගර්, පැරෑලිය,  කප්පරතොට  යන මේ ස්ථානවල නව  නැංඟුරම් පොළවල් හදන්න පටන් අරගෙන  තිබෙනවා,. ඒ සඳහා අයවැය ලේඛන දෙකකින් අතිගරු ජනාධිපතිතුමා රුපියල් මිලියන 3,000ක් වෙන් කර තිබෙනවා.  ඒ වාගේම සුදුවැල්ල ධීවර වරාය රුපියල් මිලියන 370ක් වියදම් කරලා හැදුවා. Cod Bay ධීවර  වරායට  Slipway එකට  රුපියල් මිලියන 87ක් වියදම් කළා. අලුතින් ම නවීන automated crane  එකක් ගෙනාවා. ඒකට රුපියල් මිලියන 77ක් වියදම් කළා. ලංකාවට පළමු වරට ජපානයෙන් රුපියල් මිලියන 900ක් වටිනා Grasshopper dredger එකක් හම්බ වුණා.  රුපියල් මිලියන 326ක් වටිනා මව් යාත්‍රා දෙක ලබන අවුරුද්දේ මුල වෙනකොට ලැබෙනවා.


    ජාතික වාගේම ජාත්‍යන්තර සහයෝගය ගැන බැලුවොත් මම මේ තනතුරට එනකොට  ඉන්දියානු සාගර කොමිසමෙන් අපි blacklist  කරන්න මාස එක හමාරයි තිබුණේ.  එතැන ඉඳලා ආරම්භ කරපු  වැඩ පිළිවෙළේදී  2011 සහ 2014දී  IOTC සම්මේලන  පවත්වන්න ලංකාවට පුළුවන් වුණා.  ඒ  වාගේම  2011දී  ආසියාතික ධීවර  අමාත්‍ය සම්මේලනය ලංකාවේ පිහිටෙව්වා. ඒකේදි කොළඹ  ප්‍රකාශනයක් ඇති කර ගත්තා,  මිරිදිය කර්මාන්තය ගොඩ නඟන්නේ කොහොමද කියන එක ගැන. ඒකෙදී ජනාධිපතිතුමා යෝජනා කළා, ගෝලීය ජලජීවී අරමුදලක් ඇති කරන්න.  මම ඒ යෝජනාව අරගෙන FAO එකට ගියා. 2012දී අපි ඒක  පිළිගැන්නුවා. 2013දී  ඒක සම්මත කර ගත්තා. මතක තියා ගන්න, මහින්ද රාජපක්ෂ නාමයට ජාත්‍යන්තරයේ හැම තැනකින්ම ගහද්දි FAO එකෙන් අපට  පුළුවන් වුණා, මහින්ද රාජපක්ෂ ගෝලීය ජල අරමුදල කියා අරමුදලක් හදා ඩොලර් මිලියන 25ක් නෝර්වේ රාජ්‍යයෙන් අපිත් ඩොලර් ලක්ෂයක් දීලා ඒක පිහිටෙව්වා. එතැන විතරයි ජාත්‍යන්තරයේ මහින්ද රාජපක්ෂ  නාමය  තිබෙන්නේ. ඒ විතරක් නොවෙයි අපි FAO එක  Bureau  එකක් බවට පත් කළා, 2012දී ලෝක ධීවර කර්මාන්තය කළමනාකරණය කිරීම සඳහා. ඒකට රටවල් හයයි තිබුණේ. ඒ රටවල් හයෙන් එකක් බවට ලංකාව පත් කර ගත්තා. මුළු ආසියාවෙන්ම ලංකාව තමයි ගත්තේ. ලංකාව තමයි ධීවර කර්මාන්තයෙන් වැඩි ම වර්ධනයක් පෙන්වන රට.  මේ වනකොට තායිලන්තය හා වියට්නාමය අපට වඩා හුඟාත් ඉස්සරහිනුයි ඉන්නේ. නමුත් වර්ධනය ගැන බලනකොට  පහුගිය අවුරුදු තුනේදී අපේ වර්ධනය වැඩි වෙලා තිබෙනවා. ඒ Bureau එකට තෝරා ගත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය, නෝර්වේ, මොරොක්කෝ, බ්‍රසීලය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව. ඒ  වාගේම 2013 FAO එකේදි කෙටුම්පත් කමිටු‍වේ සභාවේ සභාපති ධූරය අපේ රටට පැවරුවා. ඒ විතරක් නොවෙයි,  මෙවර FAO එකේ  විශේෂ සම්මේලනය 19 වැනි දා සිට 21 වැනි දා දක්වා තිබෙනවා. එහි විශේෂ දේශනය  කරන්නට ආරාධනා කර තිබෙනවා. ඒ වාගේම ආසියානු ශාන්තිකර කලාපයේ -APFC- ධීවර කොමිසම  75 වන සැසි වාරය දැන් ලංකාවේ පැවැත්වෙනවා.  11 වැනි දා සිට 13 වැනි දා තෙක් එය පැවැත්වෙනවා.


    ඒ වාගේම මාධ්‍ය අංශය ගැන  බැලුවොත් අපි සයුර රේඩියෝ සේවය  හැදුවා  රාත්‍රී 12.00 ඉඳලා උදේ 4.00 වන තෙක් අපි ධීවරයින් සමඟ සම්බන්ධ වෙනවා. ඒ වාගේම 'දිනමිණ' පුවත්පත සමඟ එකතු වී 'ඔරුවැල්ල'  පත්තරය පටන් ගත්තා. ඒ වාගේම, 2005දී ධීවර අමාත්‍යාංශයට වෙන් කළේ රුපියල් මිලියන 114.96යි. නමුත් 2014 වනකොට රුපියල් මිලියන 1,888.52ක්  අපට වෙන් කර තිබෙනවා.


    මෙහිදී  යුරෝපා සංගමය ගැන කිව්වා.  2012දී මේ ප්‍රශ්න තිබෙද්දී  2013දී  මම යුරෝපා සංගමයට ගිහිල්ලා  එහි අධ්‍යක්ෂ ජනරාල්වරියත් එක්ක කථා කළා. එතුමිය ඉතාමත්  පැහැදුණා‍. පැහැදිලා,   2013.12.06 වැනි දා යුරෝපා පාර්ලිමේන්තුවට මෙන්න මේ  වාර්තාව ඉදිරිපත් කළා.  එහි මේ විධියට තිබෙනවා.  I quote:


    “During these last months, we were able to convince some countries of moving to an effective fisheries control system.  In particular, Fiji, Togo, Sri Lanka and Panama have made credible progress”

    එහෙමයි කිව්වේ. Credible progress කියා තමයි කිව්වේ. Ms. Nrua Damanaki කියන කොමසාරිස්වරිය තමයි එහෙම කිව්වේ.  ඔක්තෝබර් මාසයේ 18 වැනි  දා බ්‍රසල්ස්වල ඉන්න අපේ තානාපතිතුමාට Cesar Deben  කියන තාක්ෂණික කමිටුවේ ප්‍රධානියාට  මේ විධියට කියා එවා තිබෙනවා.
              I quote:

                    “Dear Ambassador,

                     I recall that the Commission recognized the positive cooperation and progress made by Sri Lanka in the fight against IUU fishing”

    positive cooperation and progress  කියා තමයි එතුමිය කිව්වේ.  ඊටපසුව Ms. Lowri Evans කියන අධ්‍යක්ෂ ජනරාල්වරිය  ඔක්තෝබර් මාසයේ 25 වැනි දා  මට ලියුමක් එවා තිබෙනවා. එහි මේ විධියට තිබෙනවා.
    I quote:

    “Dear Minister,

    From recent correspondence between our services, I am pleased to see that Sri Lanka is making an effort to remedy the situation highlighted in the list of necessary actions to be taken sent to you in June this year”.


    ඒ ගොල්ලන් බොහොම  හොඳ කියනවා. එහෙම කියා  ජූලි මාසයේදී  ඉඳලා කිසිම වර්ධනයක් තිබුණේ නැහැ කියනවා.


    මට තේරෙන්නේ නැහැ, ඒකට හේතුව මොකක්ද කියලා. දැන් බලන්න. ජාත්‍යන්තරව අපේ පිළිගැනීම තිබෙන්නේ, EU market එක නිසායි. නමුත් අපිව govern කරන්නේ ඉන්දියානු සාගර ටූනා කොමිසමෙන්. ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ලේකම්තුමා මගේ උපදේශකවරයා වන ආචාර්ය සුබසිංහ මහතාට එවපු ලිපිය මා ළඟ තිබෙනවා. ඒ ලිපිය ලියා තිබෙන්නේ ඔක්තෝබර් මාසයේ 14වන දා. ඒ ලිපියේ මෙසේ සඳහන් වනවා:


                    "Dear Suba,

                    I’m very sad to hear about the decision of the EU.  This is an extremely challenging moment for your developing and growing fishing industry.  Please let me know how you think IOTC Secretariat may be able to assist within the next three months and beyond so that this decision may be reversed”


    ඒ ගොල්ලෝ කියනවා, "අපට ඉතාමත් සන්තෝෂයි ඔය ගොල්ලන්ගේ වැඩ කටයුතු ගැන. ඒවා‍යේ විශාල වර්ධනයක් තිබෙනවා. මේ EU එකේ නරක තීන්දුවට එරෙහි ව අපි කොහොමද ඔය ගොල්ලන්ට උදවු කරන්නේ?" කියලා. දැන් ඒ අය ලංකාවට එනවා.


    මෙහි තිබුණා, කරුණු අටක්. මේ කරුණු අටෙන් දැන් කරුණු හතක්ම ඉවරයි. ඒ කරුණු හතක් ඉවර වුණාම දැන් එක කරුණක් ඉතුරු වෙලා තිබෙනවා, ඔබතුමා කිව්වා වාගේ ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතිය. මේක මා පටන් ගත්තේ ඒ ගොල්ලන් කියපු වෙලාවේ නොවෙයි. 2010 වන කොට මා ඒක ආරම්භ කරලායි තිබෙන්නේ. 2010 අගෝස්තු මාසයේදී තමයි කොම්පැනි 22ක් අපට (ක්වෝටේෂන්) දුන්නේ. එදා ඉඳලායි ඒක ආරම්භ කළේ. ඒකට අවුරුදු 4ක් ගත වුණා. අන්න ඒක තමයි EU එකට තිබෙන ප්‍රශ්නය. ඒ මොකද, ඒ ගොල්ලෝ හිතන්නේ නැහැ, අවුරුදු 4ක් ගත වනවාය කියලා. මේ ලංකාවේ ක්‍රමයයි. මට තාක්ෂණ කොමිටියක් පත් කරන්න බැහැ. මොකද, තාක්ෂණය දන්නා නිලධාරීන් සිටියේ නැහැ. එම නිසා මා කැබිනට් මණ්ඩලයට ගිහින් Project Committee එකක් ඉල්ලුවා. ඒ Project Committee එකට වාඩි වුණේ Moratuwa University එකේ මහාචාර්යවරුන්, නාවික හමුදාවේ ඉංජිනේරුවරුන්, TRC එකේ නිලධාරීන්, භාණ්ඩාගාරයේ නිලධාරීන් සහ අපේ නිලධාරීන්.


    2011 දී මේ Project Committee එක පත් කරලා, ඒ කටයුතු කරන්න අපට මාස 7ක් විතර ගත වුණා. ඊට පස්සේ Cabinet Appointed Negotiating Committee එක appoint කළා. ඒක appoint කළේ 2011 ඔක්තෝබර් මාසයේ. අපට ඒකේ වාර්තාව දුන්නේ 2013 ඔක්තෝබර් මාසයේ. ඒ සඳහා අවුරුදු 2ක් ගත්තා. ඊට පස්සේ අපි නීතිපති දෙපාර්තමේන්තුවට ගියා. නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ පෙරේදා වන කල් ඒක තියා ගෙන සිටියා. නීතිපතිතුමා යන දවසේ මා බොහොම අමාරුවෙන් ගෙන්වා ගත්තා. ඒකට මාස 7ක් විතර ගත වුණා. යුරෝපා සංගමයට ඒකට මාස හතරක් ගත වෙයි. ඒ ගොල්ලෝ හිතනවා, මා හැමදාම අසත්‍ය ප්‍රකාශ කරනවා, මගේ නිලධාරීන් අසත්‍ය ප්‍රකාශ කරනවා කියලා. නමුත් අපි දැන් මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කරලා, කැබිනට් අනුමැතියත් ලබා ගෙන, අපි හෙට ඒ සමාගමත් එක්ක කටයුතු කරනවා. ඒ එක්කම යුරෝපා සංගමය ඉල්ලපු transpondence 50ක් ඒ ගොල්ලෝ එවා තිබෙනවා. අපි ඒ 50 එකතු කරලා මධ්‍යස්ථානය හදනවා. එතකොට අපට පුළුවන් වෙනවා, මේ ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න. මතක තබා ගන්න, මේ transpondence ගැන. ඔබතුමා ඒ සම්බන්ධයන් නිවැරැදිව කිව්වා. වෙළෙඳ පොළේ තිබෙන transpondence  අමුණන්න බැහැ. මේකේ තිබෙනවා, US National Marine Fisheries Service (NMFS) කියලා. ඒකේ ඉදිරිපත් කර තිබෙන කරුණු තමයි යුරෝපා සංගමය පිළිගන්නේ. ඔබතුමාට ඒ සම්බන්ධයෙන් බලන්න පුළුවන්, යුරෝපා සංගමයේ Website එකෙන්. යුරෝපා සංගමය කියනවා, කම්පැනි 5ක් දැනට brands and models කියලා. ඒකේ එකක් තමයි ජර්මන් Thrane and Thrane කියන එක. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. මතක තබා ගන්න, අපි මේ සමාගමට ගෙවන්නේ රුපියල් 97,60,000යි. දෙවන සමාගමට ගෙවන්නේ රුපියල් මිලියන 10යි; ඇමෙරිකානු ඩොලර් 365යි. තුන්වන සමාගමට ගෙවන්නේ රුපියල් 1,86,34,000යි. ලාභම සහ හොඳම එක තමයි අපි ගන්නේ. සමහර ධීවරයන් හිතනවා, කොහේ හෝ සිංගප්පූරුවේ තිබෙන ලක්ෂ එකහමාරක එක අරගෙන යන්න පුළුවන් කියලා. එහෙම යන්න බැහැ. එහෙම කළාට යුරෝපා සංගමය පිළිගන්නේ නැහැ. යුරෝපා සංගමය EU certified එක විතරයි පිළිගන්නේ. මේකට අපි ධීවර ණය යටතේ ඒ කටයුතු කරලා තිබෙනවා. මේක අපි සම්පූර්ණ කළාම මා බලාපොරොත්තු වනවා, Technical Team එකත් එක්ක Brusselsවලට ගිහිල්ලා මේ ප්‍රශ්නය ඉවර කර ගන්න.


    තහංචි දමන්නේ අපේ ධීවරයන් වෙනත් ආර්ථික කලාපවලට කඩා පනින හින්දායි. ඒක තමයි පළමුවැනිම කාරණය. මේ ගෙනාපු විදේශ යාත්‍රා එකක්වත් ගැන අද වනතුරු ඉන්දියානු සාගර කොමිසමට වාර්තා වෙලා නැහැ. ඒ අයට කොහේවත් රටකදී දඬුවම් දීලා නැහැ. ඒ අය කිසිම රටකට කඩා පැනලා නැහැ. මතක තියාගන්න. අපේ ධීවරයන්ගේ කුඩා යාත්‍රා තමයි, අපේ ලාංකික ධීවරයන් යන යාත්‍රා තමයි හැම දාම වෙනත් රටවලට ගිහිල්ලා IUU - Illegal, Unreported and Unregulated  Fishing - පද්ධතිය යට තිබෙන්නේ. ලොකු යාත්‍රා ගැන IUU එක කියන්නේ මොකක්ද? ලොකු යාත්‍රා එනවා නම්, ඒ ලොකු යාත්‍රාවලට VMS පද්ධතිය බද්ධ කරන්න කියලායි කියන්නේ. ඒ අයගේ බයක් තිබෙනවා ඒ ලොකු යාත්‍රා කඩා පැන්නොත් අර වාගේ සිය ගුණයක හානියක් වේවි කියලා. එච්චරයි. නමුත් ඒ අයගේ නමක්, ගමක්වත් නැහැ. මේ හසු වූ හැම යාත්‍රාවකම සිංහල නම් තමයි තිබෙන්නේ. අපේ ධීවරයන් කරන වැරැද්දෙන් තමයි යුරෝපා සංගමයෙන් තහනම් එන්නේ. එය වළක්වාගන්න තමයි අපි කටයුතු කරන්නේ.


    ජාත්‍යන්තර මුහුදේ ධීවර කටයුතු සම්බන්ධයෙන් ගෙනා පනතේ ජාත්‍යන්තර මුහුදේ වැරැදි කරන මිනිසුන්ට -වෙනත් රටක මුහුදු සීමාවට ගිහිල්ලා වැරැදි කරන මිනිසුන්ට- මිලියන එකහමාරක් දඩ ගහන නීතියක් ගෙන එන්නයි. ඒ අය කිව්වා මිලියන එකහමාර මදි කියලා. දැන් මම කැබිනට් මණ්ඩලයේ අනුමත කරවාගත්තා, මිලියන 150ක් වන කල් ලොකු යාත්‍රාවලටත්, මිලියන එකහමාර ගණනේ පොඩි යාත්‍රාවලටත් දඩ ගහන්න. දැන් ඒ අය ඒකටත් එකඟයි" යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


    NDH/HC

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya