Print this page

නිවාස සඳහා ජල සම්බන්ධතාව 18 ලක්ෂය ඉක්මවලා

නොවැම්බර් 11, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) 2005 දී නිවෙස් සඳහා ජල සම්බන්ධතාව ලක්ෂ 09ක් පැවති බවත් අද එය 18 ලක්ෂය ඉක්මවා 100%කින් වැඩි වී ඇති බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයේ 166 වැය ශීර්ෂය ද වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශයේ 152 හා 282 වැය ශීර්ෂයන් ද අද පස්වරු 1.00 සිට විවාදයට ගැනේ.

ජලය වැදගත්ම ක්‍රියාදාමය ලෙස හැඳින්විය හැකියි. 2013 වසරේ ජල සම්පාදන මණ්ඩලය රුපියල් බිලියනයකට වැඩි ලාභයක් ඉපැයුවා. 2014 වසරේ රුපියල් බිලියන 7.5ක ලාභයක් ඉපැයිය හැකි යැයි විශ්වාස කරනවා. මූල්‍ය ප්‍රතිපාදන හා ණය ලබා දුන් රටවල් වන චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව, කොරියාව නෙදර්ලන්තය, මැන්ඩරින් යන රටවල් මෙන් ම ආසියානු සංවර්ධන බැංකුව, ජයිකා ආයතනය වැනි ආයතනත් අතිගරු ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළ නිසා මේ ව්‍යාපෘති රටපුරා ක්‍රියාත්මක කරන්න හැකි වූ බව ඔහු පෙන්වා දුන්නේය.

අවුරුදු 30ක ත්‍රස්තවාදයෙන් පසු උතුරු නැගෙනහිර ජනතාව සඳහා අවශය පානීය ජලය ගම් දනව් කරා ගෙනයන්න ජල සම්පාදන මණ්ඩලය ගෙන ගිය ක්‍රියාදාමය, ඉටුකළ මෙහෙය ඉතා වැදගත් බව ද ඔහු අවධාරණය කළේය.

පසුගිය වසරේ පාසල්, රෝහල්, රාජ්‍ය ආයතනවලට ජල සැපයුම් ලබා දී ඇත. ඒ නිසා ඒ ප්‍රදේශවල 20%ක පමණ ආර්ථික වර්ධනයක් පවතී. අද රට පුරා උතුර දකුණ යා කරමින් සංක්‍රමණ සිදු වන නිසා ජනාකීර්ණ වෙමින් පවතී.  ඒ අයට අවශ්‍ය පානීය ජලය සැපයිය යුතුයි. ඉදිරියේදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සඳහා 270,800කට අලුත් ජල සම්බන්ධතා ලබාදීමට නියමිතය. නව ව්‍යාපෘති සඳහා 190,000කට අලුතින් ජල සම්බන්ධතා ලබා දෙන බවත් සාම්පූර් ප්‍රදේශයේ ඉදිකළ ජල ව්‍යාපෘතිය පසුගියදා ජනතා අයිතියට පත් කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි මාස කිහිපය තුළ කිලිනොච්චියේ ඉදිකරන නව ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. අපවිත්‍ර ජලය යළි පවිත්‍ර කොට භාවිතයට ගත හැකි ක්‍රමවේදයක් සැකසිය යුතු බවත් නාගරික, ග්‍රාමීය වැසි ජල රැස්කිරීම හා අනෙකුත් සනීපාරක්ෂක කටයුත සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

NDH/HC