Print this page

‍2014 අද වන විට මෙට්රික් ටොන් 396,000ක මාළු නිෂ්පාදනයක්

නොවැම්බර් 11, 2014

(දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) මේ වන විට මාළු නිෂ්පාදනය ඉහළ ගොස් ඇති බවත් 2014 වසරේ අද වන විට මෙට්රික් ටොන් 396,000කට ආසන්න මාළු නිෂ්පාදනයක් ඇති බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.


අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ හත් වෙනි දින විවාදයට එක්වෙමිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ 139, 290 වැය ශීර්ෂයන් අද පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා  විවාදයට ගැනිණි.

2013 වසරේ මත්ස්‍ය නිෂ්පාදනය මෙට්රික් ටොන් 5 ලක්ෂ 12,000කි. මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ද 21%කින් ඉහළ ගොස් ඇත. අද යාත්‍රා ප්‍රමාණය 62,786කි. එය 50%කින් වර්ධනය වී ඇත. බහුදින යාත්‍රා, පාරම්පරික යාත්‍රා ප්‍රමාණය ද වසරින් වසර වැඩි වෙලා. මත්ස්‍ය නිෂ්පාදනයෙන් 2014 වසරේ මෙට්රික් ටොන් 19,709ක් අපනයනය කර ඇත. ගිය වසරට සාපේක්ෂව මේ වසරේ යුරෝපයේ රටවල්වලට පමණක් මත්ස්‍ය අපනයනය 31.7%ක් වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

කරවල ආනයනය 32%කින් ද උම්බලකඩ 26%කින්ද අඩු වී ඇත.  මාළු එක් දින පාරිභෝජනය මේ වන විට 43.2%කින් වර්ධනය වී ඇත. උතුරේ මත්ස්‍ය වගාව මෙන් ම මුහුදු පැළෑටි වගාව ද ආරම්භ කළා. මුහුදු කූඩැල්ලන් වගාව නිසා රැකියා බිහි වී තියෙනවා. මුලින්ම මඩකළපුවේ කිවුල් දිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් හැදුවා. අක්කර 200ක ඉස්සන් ගොවිපොළක් ද හැදූ අතර මේ වන විට මිරිදිය ඉස්සන් අභිජනන මධ්‍යස්ථානයක් ද මඩකළපුවේ පිහිටුවන්න කටයුතු කරන බව ඔහු පැවසීය.

මෝදා මත්ස්‍ය ව්‍යාපාරය ත්‍රීකුණාමලයේ හා හලාවත ආරම්භ කර රැකියා අවස්ථා 175ක් උත්පාදනය කර ඇත. බෙල්ලන් වගාව මෙන් ම මුහුදු පැළෑටි හා පොකිරිස්සන් ව්‍යාපෘතිය ද අද අරඹා ඇත. කොරල් අපනයනය සඳහා ජීවී පාෂාණ නිෂ්පාදනය කරනු ඇත. 2012 සිට අද දක්වා මාළු මිල ස්ථාවර ව පවතිනවා. මේ සඳහා ලංකා ධීවර සංස්ථාව වෙළෙඳපොළෙහි 10%ක හිමිකමක් තිබීම හේතු වන බව ද මෙවර අයවැයෙන් ශීතාගාර හා ධීවර වෙළෙඳ මධ්‍යස්ථාන ඉදිකරන්න රුපියල් මිලියන 1500ක් වෙන් කර ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අද ධීවරයා ආදායම් බද්දෙන් නිදහස් කළා. ධීවර බලපත්‍ර ගාස්තු ද නිදහස්. උතුරේ ධීවර ණයවලින් 25%ක් ගෙවන්නේ රජයයි. දැල් කට්ටල 2,250,000ක් ද ආරක්ෂක කබා 37,000ක් ද බෙදා දී ඇත. ධීවරයා වෙනුවෙන් විශ්‍රාම වැටුපක් පිහිටුවා තිබෙන අතර පූර්ණ හානියක් පැවති විට පමණක් පැවති ධීවර රක්ෂණය අද අර්ධ හානි සඳහා ද ගෙවන බව ඔහු කීය. ධීවර දරුවන් සඳහා කොරියාවේ රැකියා අවස්ථා පවතී. උතුර තමා අපේ ධීවර කර්මාන්තයේ මධ්‍යස්ථානය. උතුරේ සංවර්ධනයට රුපියල් මිලියන 1800ක් වැය කර ඇති බවත් 23.8%කින් උතුරේත් 23%ක් නැගෙනහිරත් ධීවර කර්මාන්තය වර්ධනය වී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

 

NDH/HC