අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය වසර 9 දී නිවාස ලක්ෂ 20කට විදුලිය ලබා දී තිබෙනවා

    නොවැම්බර් 07, 2014

    අද රටේ විදුලි සැපයුම 98%ක් වී ඇති අතර එය පාරිභෝගික සංඛ්‍යාව අනුව මිලියන 5.5ක් බවත් පසුගිය වසර 9 තුළ නිවාස පමණක් ලක්ෂ 20කට විදුලිය ලබා දී ඇති බවත් විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.


    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (07) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ සිව්වැනි දින විවාදයට එක්වෙමිනි.

    විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ 119 වැනි වැය ශීර්ෂයත් සහ ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ 115 වැනි වැය ශීර්ෂයත් අද පස්වරුවේ විවාදයට ගැනිණි.

    අපේ රටේ වර්තමානය දෙස බලද්දී මිනිසාට අත්‍යවශ්‍ය ම සාධකයක් ලෙස විදුලි බලය හැඳින්වීම පිළිබඳ ව කවුරුවත් විරුද්ධවන එකක් නැහැ. අපේ සම්පත වන දරුවන්ගේ අධ්‍යාපනය වඩාත් කාර්යක්ෂම ලෙස කරගෙන යාමේදී විදුලිබලයේ අවශ්‍යතාව තදින්ම වැටහෙනවා. අතිගරු ජනාධිපතිතුමාගේ මහින්ද චින්තන ඉදිරි වැඩපිළිවෙළ යටතේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වන ද්විතීයක පාසල් හා ළමා මිතුරු පාසල් නව ලෝකයට ගැළපෙන පරිදි දියුණු වෙද්දී එයට ශක්තිය සපයන්නේ විදුලි බලයයි. ආසියාවේ වඩාත් ඉහළ මට්ටමක පවතින අපේ රටේ ජනතාවගේ නිරෝගීකම වෙනුවෙන් (ශල්‍යකර්ම, ‍ඖෂධ ආරක්ෂාව, හා දෛනික කටයුතු වෙනුවෙන්) සෞඛ්‍ය සේවාවට විදුලිබලය තුළින් සැපයෙන්නේ ඉහළ දායකත්වයකි. ලංකාවේ මේ වන විට ආශ්චර්යමත් ගමන් මගෙහි වැදගත් සන්ධි ස්ථානයක් වෙලා තිබෙන අධිවේගී මාර්ග පාලනය කිරීමටත්, නගර අලංකරණයටත් විදුලි බලයෙන් සැපයෙන්නේ යෝධ ශක්තියක් යැයි ඔහු කීය.

    වරාය, ගුවන්තොටුපොළ, අහස උසට ඉදිවන ගොඩනැගිලි හා රාජ්‍ය ආයතන පවත්වාගෙන යාමට විදුලියේ අවශ්‍යතාව ගැන පැහැදිලි කළ යුතු නැහැ.

    දරුවන්‍ සමඟ සතුටින් ජීවත්වන පවුලකින් සමන්විත ගෙදරකට විදුලි බලය ලැබුණහම එහි වැඩ කඩිනම් වෙනවා. අවට කර්මාන්ත ස්ථානගත වෙනවා . ග්‍රාමීය හා නාගරික ප්‍රදේශ දියුණු තත්ත්වයට පත්වෙන්න විදුලිබලය මඟින් සිදුවන දායකත්වය අසීමිතයි. විපක්ෂයේ බොහො කථිකයෝ උගුර ලේ රහ වෙනකම් කෑගහල ආණ්ඩුවට බනින ගමන් අහනවා “මිනිස්සුන්ට විදුලිය කන්නද?” කියලා. විදුලිය දෙනකොට අහනවා “කන්න ද” කියලා. නොදී හි‍ටියොත් “මේ ආණ්ඩුවට ලයිට් ටිකවත් දීගන්න බැරිවුණා” කියලා අපට බනිනවා. ලංකාවේ විදුලිය 100%ක් සම්පූර්ණ කරන මේ වර්ෂය අවසානයේදී ඒ සතුට බෙදාගන්න අපිත් එක්ක එකතුවෙන්න කියලා විපක්ෂයට ආරාධනා කරනවා යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 2005 මේ රට භාර ගනිද්දී ලංකාවේ විදුලිය දීලා තිබුණේ 73%ක් වගේ ප්‍රමාණයකට විතරයි. පාරිභෝගිකයින් වශයෙන් ගතහොත් මිලියන 3.3යි. මේ රට ත්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන එක්සේසත් කරද්දී උතුරු නැගෙනහිර ප්‍රදේශ සම්පූර්ණ විනාශවෙලා තිබුණා. පාරවල්, පාලම්, ගොඩනැගිලි වගේම විදුලි ට්‍රාන්ස්පෝමර් , සම්ප්‍රේෂණ ස්ථාන , පාරිභෝගික මධ්‍යස්ථාන මේ සියල්ල විනාශවෙලා තිබුණේ. අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා ලබාදුන් ප්‍රතිපාදන මත නැගෙනහිර නවෝදය, උතුරු වසන්තය වැඩසටහන්වලට සමගාමී ව මුළු උතුරටත්, නැගෙනහිරටත් විදුලිය ලබාදෙන්න පුළුවන් වුණා. විශේෂයෙන් කි.මි. 67ක් දුර වූ වව්නියා - කිලිනොච්චි (ධාරිතාව කි.වො. 132කි) උපපොළත්, කි.මි. 72ක් දුර වූ කිලිනොච්චි- චුන්නාකම් (ධාරිතාව කි.වො. 132කි) වූ උපපොළවල් සම්බන්ධ කිරීමේ යෝධ පියවරත් සමඟ අද උතුරත්, දකුණත් විදුලියෙන් එකට යාවෙලා තියෙනවා  යැයි ඔහු පෙන්වා දුන්නේය.

    අපේ රටේ විදුලිය බෙදා හැරීම ඉක්මන් කරන්න පසුගිය කාලසීමාව තුළ උපපොළවල් 15ක් අලුතින් ආරම්භ කරලා තියෙනවා. 2005  උපපොළවල් 166ක් හා 2014 උපපොළවල් 181 විවෘත කළා. උතුරේ අලුතින් පදිංචි කරන ජනතාවගේ නිවාසවලට සම්බන්ධතා ගාස්තුවකින් තොර ව විදුලි සැපයුම ලබාදෙන්න අතිගරු ජනාධිපතිතුමා තීන්දු කළා. ඒ යටතේ පවුල් 50,849කට රුපියල් මිලියන 1,704ක් වැය කරමින් නොමිලේ විදුලිය සපයා දුන් බව ඔහු සඳහන් කළේය.

    උතුරේ විතරක් නෙමෙයි, දකුණේ ජනතාවට ගෙවල් ළඟට විදුලිය ඇවිල්ලා තියෙද්දි විදුලි සම්බන්ධතාව ලබාගන්න මුදල් නැතුව අවුරුදු ගණනක් බලා හිටපු දුප්පත් ජනතාවට “විදුලි අත්වැල” නමැති ණය යෝජනා ක්‍රමය මඟින් විදුලි සම්බන්ධතා ලබාදෙන්න හැකිවුණා. ඒ අනුව ප්‍රතිලාභීන් 76,000කට ආසන්න පිරිසකට රුපියල් මිලියන 700කට වැඩි ඉතා සහන ණය යෝජනා ක්‍රමයක් යටතේ විදුලිය ලබා දෙන්න අපට හැකි වුණා. මේ විදියට ලංකාව පුරා 100%ක් විදුලි ලබාදෙන කොට උත්පාදනය පිළිබඳ ව ගැඹුරින් හිතන්න වෙනවා.

    ඒ අනුව 2005 වර්ෂයේ අපේ රජය භාරගන්න කොට විදුලි උත්පාදනය පුද්ගලික බලාගාරත් සමඟ මෙ.වො. 2,400කට ආසන්න වුණා. නමුත් අද ඒ හැකියාව මෙ.වො. 3,703 දක්වා වර්ධනය කරන්න අපට හැකියාව ලැබිලා තියෙනවා.
    එදා මේ උත්පාදන බලාගාර ගණන 81ක් ව පැවති අතර, අද වෙනකොට 193ක් දක්වා වර්ධනය කර ගන්න හැකි විය. අපේ ප්‍රධාන විදුලි බලාගාර වන ලක්ෂපාන, සමනළ වැව, වික්ටෝරියා, රන්දෙනිගල, කොත්මලේ ආදීය හැරුණු විට පුද්ගලික කුඩා බලාගාර මඟින් අපට සැපයෙන්නේ මුළු උත්පාදනයෙන් ඉතා ම සුළු ප්‍රමාණයක් පමණයි. මේ සියලු බලාගාර ක්‍රියාත්මක වුණත් මුළු අවශ්‍යතාවෙන් 50%කට වත් එය ප්‍රමාණවත් නෑ. මේ නිසා ඉන්ධන භාවිත කර නොකඩවා විදුලිය ලබාදීමේ විශාල අර්බුදයකට ලංකාව කාලයක් තිස්සේ ගොදුරු වෙලා තිබුණා. ලංකාවේ අවසාන වශයෙන් ඉදිවිය යුතුව තිබුණු ප්‍රධාන ජල විදුලි බලාගාරයක් වන ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය කාලෙන් කාලෙට විවිධ හේතූන් මත ඉදිකිරීම් ප්‍රමාද වුණා. ඒ වගේම විකල්ප ප්‍රභවයක් වෙච්ච නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය පටන් ගැනීම ඇණ හිටියා.

     

    එඩිතර නායකයෙක් විදියට රටට තීන්දු ගන්න ඕනෑ වෙලාවේ ඒක ක්‍රියාත්මක කරන අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කළා. අද වන විට මෙ.වො. 1,050ක් ජාතික පද්ධතියට එක් කරලා තියෙනවා  යැයි ද ඔහු පැවසීය.


    අපි බලාගාර ඉදිකර අවසන් නෑ. මෙ.වො. 35කින් යුතු බ්‍රෝඩ්ලන්ඩ් ව්‍යාපෘතියත්, මෙ.වො. 120කින් යුතු උමාඔය ව්‍යාපෘතියත්, මෙ.වො. 500කින් යුතු සාම්පූර් බලාගාරයත් ඉදිකිරීමේ මූලික කටයුතු මේ වන විට පටන් අරන් තියෙනවා. මේ රජය අනාගතයේ බලශක්ති අර්බුදයක් ඇති නොවෙන්න ශක්තිමත් අඩිතාලමක් දාලා තියෙනවා. පුද්ගලික අංශය හා රජය එක් ව අනාගතයේ සූර්ය විද්‍යුත් බලාගාර හා සුළං බලාගාර ඉදිකරමින් පරිසර හිතකාමී විදුලිය උත්පාදනය කරන්න අපි සැලසුම් කරලයි තියෙන්නේ. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයත්, විදුලි පුද්ගලික සමාගමත් එක් ව විශාල කැප කිරීමක් කරනවා. අදත් රටේ යම් ආපදාවක් වූ විට අපේ සේවක මණ්ඩලය එතනට ගිහිල්ලා වැඩ කරන ආකාරය ඔබ දැකලා ඇති. මේ සියල්ල කරන්න මැනවින් පුහුණු කරපු කාර්යක්ෂම සේවක මණ්ඩලයක් අප සතුව ඉන්නවා. ආයතනික ඵලදායීතාව වැඩි කිරීම සඳහා සෑම ඩිපෝ එකකම හා සෑම කාර්යාලයකම “එස් පහ” සංකල්පය ක්‍රියාත්මක වෙනවා. සෑම පාරිභෝගිකයෙකුටම ඒ තුළින් වඩාත් ඵලදායී සේවයක් සලසන්න පුළුවන් වෙලා තියෙනවා යැයි ඔහු කීය.

    පාසල් අධ්‍යාපනය නිමකර විශ්වවිද්‍යාලයට යන්න බැරිවුණු අ.පො.ස (සා/පෙළ) හා අ.පො.ස. (උ/ පෙළ) මට්ටම්වලදී පාසල් හැර යන පිරිමි දරුවන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ මූලික පුහුණුව ලබාදී දෛනික දීමනාවක් යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රායෝගික පුහුණුව ලබාදෙන්න 2012 වසරේදී ආරම්භ කළා. අමාත්‍යාංශ දෙකේ ලේකම්තුමන්ලා අතර ඇති වූ ගිවිසුම් අනුව වසරක් පාසා විදුලි කාර්මික හැකියාව සහිත 400ක් ජාතික ශ්‍රම පද්ධතියට එකතු කරන්න ලංකා විදුලිබල මණ්ඩලය දායක වෙනවා. අපේ රටේ මේ විදුලි බෙදාහැරීම හා උත්පාදනය කුමන මට්ටමකට දියුණු වුණත් දෛනිකව යම් යම් පිරිස් මේ විදුලිය අයථා ක්‍රම මඟින් පරිහරණය කිරීම විශාල ගැටලුවක් වී ඇති බව කී අමාත්‍යවරයා ඒ මඟින් මණ්ඩලයට සිදුවන පාඩුව වලක්වා ගැනීමේ අභියෝගය 2011 වර්ෂයේදී ජයග්‍රහණය කිරීම ආරම්භ කළ බව ද පැවසීය.

    ඒ අනුව විදුලි වැටලීම් අංශයට පහසුකම් ලබාදීලා නව ක්‍රමවේදයන් යටතේ අයථා විදුලි භාවිතය වලක්වන්න හැකිවුණා. 2014 වසරේ මැද වන විට වැටලීම් 2,572ක් කර රුපියල් මිලියන 150ක මුදලක් මණ්ඩලයට එකතු කරන්න අපට හැකිවුණා. මේ මොන සේවයක් සැපයුවත් ජනතාව විදුලි ගාස්තුව වැඩියි කියල විවිධ අවස්ථාවලදී අතිගරු ජනාධිපතිතුමාට ප්‍රකාශ කළා. ජනතාවට කන්දෙන නිහතමානී නායකයෙක් වශයෙන් අපේ ජනාධිපතිතුමා පසුගිය සති කිහිපය තුළ ගෘහස්ත පාරිභෝගිකයින්ට 25%කින් විදුලි බිලෙන් සහන සලසන්න තීරණය කළා. ඒ සමඟ ම ඒකක 300ට අඩු විදුලි පාරිභෝජනය කරන කර්මාන්ත හා සේවාවන්වලට ද වෙන ම ගාස්තු කාණ්ඩයක් සකස් කර,  සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, හෝටල්, කුඩා කඩසාප්පු හා  සාප්පුවලට ද 25%කින් ද, අනෙකුත් ක්ෂේත්‍ර සඳහා  15%කිනුත් විදුලිබිල අඩුකරන්න පියවර ගත්තා. ජනාධිපතිතුමා ලබා දුන් යෝධ සහනය පිළිබඳ ව අද විපක්ෂයට කතා කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අනාගතයේ මැතිවරණ පොරොන්දු වශයෙන් ජනතාවට විදුලිය ලබාදීම ගැනවත්, විදුලි බිල අඩු කිරීම ගැනවත් පොරොන්දු දීලා කරන්න දෙයක් විපක්ෂයට ඉතුරු වෙලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා මෙවර ඉදිරිපත් කරපු ජනතාවාදී අය-වැය රටේ ජනතාවගේ දැඩි ප්‍රසංශාවට ලක් වෙලා තියෙනවා කියන එක අපට නිතර අසන්න ලැබෙනවා. විපක්ෂය මොන මඩ ප්‍රචාර අරන් ගියත් ජනතාව ඉන්නේ ආණ්ඩුව හා ජනාධිපතිතුමා එක්ක බව ඉතා ම පැහැදිලියි. ළඟ එන මැතිවරණයෙන් අපේ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරන්නේ යෝධ වාර්තාවක් තියලා යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya