Print this page

අය-වැය යෝජනා ඉදිරිපත් කරන දින පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක සැලැස්මක්

ඔක්තෝබර් 20, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 දින 2015 අය-වැය කතාව ඉදිරිපත් කිරීමට පෙර ආරක්ෂිත පියවරක් වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ ඇති සියලු ම මන්ත්‍රීවරුන්ගේ කාමර සහ අල්මාරි සියල්ල ආරක්ෂක අංශ විසින් පරීක්ෂා කෙරෙන බව කතානායක චමල් රාජපක්ෂ මහතා අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පරීක්ෂා කිරීම අය-වැය දවසේ මෙන් ම ඊට පෙර දිනයේ ද සිදු කරන බවත් පාර්ලිමේන්තු රථගාල අය-වැය ඉදිරිපත් කරන දින වසා තබන බවත් කතානායකවරයා සඳහන් කළේය.

 

එම නිසා මන්ත්‍රීවරුන් විසින් පදවාගෙන එනු ලබන වාහන රථගාල වෙත ගෙන යාම සඳහා මහජන පිවිසුමේ පාර්ලිමේන්තු රියැදුරන් රාජකාරියේ යොදවන බවද අය-වැය ඉදිරිපත් දින පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් මහජන පිවිසුමේදී සිය රථයෙන් බැස ආ යුතු බව ද කතානායකවරයා පැවසීය.

 

අය-වැය දින මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමා කෙරෙන බව ද ඔහු කීය. එසේ පැමිණෙන ආරාධිත අමුත්තන්ට ජයන්තිපුර පිවිසුමේ සිට මහජන පිවිසුම දක්වා විශේෂ ප්‍රවාහන සේවයක් යොදවන බව ද කතානායකවරයා සඳහන් කළේය.

 

අය-වැය දිනයේ හා ඊට පෙර දිනයේ රථවාහන පොලිසිය සහ සමස්ත පොලිස් ස්ථාන විසින් විශේෂ රථවාහන සැලැස්මක් පාර්ලිමේන්තුව අවට මාර්ගවල ක්‍රියාත්මක කරනු ඇතැයි ද කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

NDH/HC