මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසුන්ට ආදරේ මිනිහෙක්

    සැප්තැම්බර් 15, 2014

    කුමාර දිවියෙන් පහළට ඇද වැටී නිරා දුක් විඳ, යළිත් ඔටුනු අරා රජවන කතන්දර හැම රටකම ඇත. එවැනි චීන ජනකතා හෝ ඉතිහාස කතා මා නොදත් මුත් චීන ජනාධිපති ෂී චින්පිං (XI JINPING) මැතිතුමා 16 වැනි අඟහරුවාදා ශ්‍රී ලංකාවට එන්නේ එම ගණයේ සැබෑ කතන්දරයක් සනිටුහන් කරමින් බව සහතිකය.

     

    ජනාධිපති ෂී චින්පිං තරම් බලවත් චීන නායකයෙකු මෙතෙක් මෙරටට පැමිණ නැත. චීන විප්ලවයේ ශ්‍රේෂ්ඨ නායකයන් අතුරෙන් කෙනකු වූ චෞඑන් ලායි දෙවරක් මෙහි පැමිණිය ද ඒ හැම කලකම චීනයේ අසහාය බලවතා වූයේ සභාපති මාඕ සේතුං මිස අගමැති චෞ එන් ලායි නො වේ.

     

    හිටපු චීන ජනාධිපති ලී ෂියන්තියන් 1986 මාර්තු 10 දා මෙහි පැමිණිය ද එදා චීනයේ නියම බලවතා වූයේ රජයේ යුද කොමිසමේ සභාපති වූ ඩෙං ශියාඕපිං ය.

     

    එහෙත් ජනාධිපති ෂී චින්පිං අනිද්දා මෙහි එන මොහොතේ ඔහුට වඩා බලවත් අන් කිසිදු නායකයකු චීනයේ නැත. චීන නායක ධූරාවලිය අනුව චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ද, චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ද, රාජ්‍ය යුද්ධ කොමිසමේ සභාපති ද චීන ආරක්ෂක කොමිසමේ සභාපති ද වශයෙන් සියලු බලාධිකාරයන් කේන්ද්‍රගත නායකයා ඔහු පමණය.

     

    ලෝකයේ ආර්ථිකයේ දෙවැනි ශක්තිමත් රාජ්‍යය ද, දැවැන්ත සන්නද්ධ බලයක් ද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ඉන් පිටත සුවිශාල රාජ්‍යතාන්ත්‍රික හා දේශපාලන ශක්තියක් ද ඇති රට වශයෙන් වත්මන් චීනය තක්සේරු කළ කල, ලෝක පරිමාණයෙන් චීන ජනාධිපති ෂී චින්පිං උසුලන ස්ථානය කෙනකුට සිතාගත හැකිය.

     

    ජනපති සිය පියා සමඟ 

    Xi Zhongxun pictured with his son Xi Jinping

    එහෙත් ඔහු මෙතැනට පැමිණයේ අතිශයින් කටුක ගමන් මාර්ගයක දුක් වේදනා තරණය කිරීමෙන් අනතුරුවය. ෂී චින් පිං ගේ කීර්තියෙන් කොටසක් ද දුක්ඛ දෝමනස්සයෙන් සමස්තය ද ඔහු සිය පිය උරුමයෙන් බුක්ති වින්දේය. ඒ කීර්තිය ද ඒ ශෝක වේදනා සම්භාරය ද ෂී චින්පිං ලබා උපන්නේ ඔහුගේ පියා වූ ෂී ශොන්ෂුන් (Xi Zhongxun) චීන විප්ලවයේ මුල් නායක පරපුරේ වීරයකු වූ නිසාය.

     

    1928 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලැබූ ෂී ශොන්ෂුන් 1935 වන විට විප්ලවවාදී රතු ගරිල්ලා නායකයකු ව සිටියේ ය. චීනයේ දක්ෂිණාංශික රජයේ හමුදාවලට එරෙහි ව නිරන්තර සන්නද්ධ අරගලවලට නායකත්වය දුන් ඔහු රතු ගරිල්ලා භටයන්ගේ හමුදාව විසින් රට අභ්‍යන්තර දුරබැහැර පළාත් සීමාබද ව පිහිටුවන ලද ප්‍රාදේශීය සෝවියට් ස්වයං පාලන මණ්ඩලයක සභාපති වූයේය.

     

    වරක් දක්ෂිණාංශික හමුදාවලට ඔහුගේ රතු බල ඇණිය පරාජය වූ විට මරණීය දණ්ඩනයට නියම ව සිටි ෂී චින් පිං ගේ පියා ගලවා ගන්නා ලද්දේ ජයග්‍රාහික මාඕ සේතුංගේ හමුදාව විසිනි. එහිදී ෂි චින් පිංගේ පියා සභාපති මාඕ සේතුංව යෙනාන් කඳුකරයේ විප්ලවවාදී මූල කඳවුරු පාලනාධිකාරය පිහිටුවා මුදාගත් ප්‍රදේශයක් ගොඩනැගීමට ආධාර කළේය.

     

     

     

    XI JINPING 1979

    XI JINPINGs father xi-zhongxun1949 චීන විප්ලවයේ ජයග්‍රහණය තෙක් විවිධ සටන් පෙරමුණුවල නායක කාර්යයක් ඉටු කළ වත්මන් ජනාධිපතිගේ පියා 1956 දී චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද රජයේ ප්‍රචාරක හා අධ්‍යාපන ඇමැති පදවියට ද, 1959 දී චීන මහජන සමූහාණ්ඩුවේ උප අගමැති පදවියකට ද රාජ්‍ය මණ්ඩලයේ ලේකම් තනතුරට ද, පත් කරන ලදි.

     

    සිය පියා උප අගමැති වශයෙන් අග්‍රාමාත්‍ය චෞඑන්ලායි සහ සහෝදර අනෙක් උප අගමැති ඩෙං ශියාඕ පිං සමඟ උරෙන් උර ගැටී රාජ්‍ය නායකත්ව කාර්ය භාරයක් උසුලන්නට පටන් ගනිද්දී 1953 ජනවාරි 15 දා උපන් වත්මන් ජනාධිපති ෂී චින්පිං යන්තම් හය අවුරුදු කොලු පැටියකුව සිටියේය.

     

    ළදරු ෂී චින්පිං තම සොහොයුරු සොහොයුරියන් හත්දෙනා හා දෙමවුපියන් සමඟ එකල සිටියේ රාජ්‍ය නායකයන්ගේ නිවාස පැවැති සුදුසු මට්ටමේ පහසුකම් තිබූ බෙයිජිං නුවර සුවිශේෂ කොටසක් තුළය. උප අගමැති ද, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ද වශයෙන් ෂී ශොන්ෂුන් පියා චීනයේ පළමු පෙළේ නායකයකුව සිටියේ ය.

     

    එහෙත් එම සමාජ බලය හා රාජ්‍ය නායකත්වය සිය පියා බුක්ති විඳිනු ෂී චින්පිංට දකින්නට සිදු වූයේ ටික කලක් පමණකි. ඔහුට වයස අවුරුදු නවයක් වෙද්දී ඔහුගේ පවුල බුක්ති විඳි සමාජ තත්ත්වය හා වරප්‍රසාද අහෝසි විය. සිය පියා සියලු තනතුරු සහ බලතලවලින් නෙරපා දමා, ඉහළ ම සමාජ ස්ථරයෙන් පහළ ම නින්දා සහගත තත්වයකට ඇද දැමීමත් ඉන් පසු ඇති වූ සියලු පීඩාවලට මුහුණ දීමටත් පුංචි ෂී චින්පිං සහ මුළු පවුලට ම බලකරනු ලැබීය.

     

    Xi second left as an educated youth volunteer in 1973         XI JINPING inbeijing in 1972

    Xi second left as an educated youth volunteer in 1973                                 XI JINPING in beijing in 1972

     

    ෂී චින්පිං ගේ පියා කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන අදීන මිනිසෙකි. ඔහු විසින් දරන ලද ස්ථාවරයක් පිළිබඳ ව ඇති වූ මතභේදයක් හේතුකොට ගෙන 1962 දී සියලු තනතුරුවලින් පහත හෙළනු ලැබූ ඔහුට අතිශයින් දුෂ්කර ෂාංෂි පළාතට පවුලේ සාමාජිකයන් සමඟ යවන ලදී.

     

    සංස්කෘතික විප්ලවය පටන් ගත් පසු ඔහු හිරභාරයට ගෙන, මහත් වධ බන්ධනවලට ලක් කෙරිණි. සංස්කෘතික විප්ලව කලබැගෑනිය පැවති මුළු කාලය තුළ බන්ධනාගාර ගත කරන ලද ෂී ශොන්ෂුන් නිදහස් කරන ලද්දේ 1975 මැයි මාසයේ දී ය.

     

    Xi Jinping and younger brother Xi Yuanping with their father           Xi Jinping centre pictured in 1993 in front of the cave where he spent his teenage years

    Xi Jinping and younger brother Xi Yuanping with their father             Xi Jinping centre pictured in 1993 in front of the                                                                                                 cave where he spent his teenage years

     

    සිය පියා සිරභාරයට ගත් පසු 15 වියේ සිටි ෂී චින්පිංටද තුන් හතර වතාවක් අත්අඩංගුවේ සිටීමට සිදුවිය. යෙනාන් ප්‍රදේශයේ දුෂ්කර ගම්මානවල ඔහු කායික ශ්‍රමයේ යෙදුණේය.

     

    පියා ද පුතා ද මුළු පවුල ද මහත් පීඩාවට පත් කරන ලද දස වසරක යුගය තුළ ෂී චින්පිං ලබන ලද පන්නරය කෙබඳු විය හැකි ද? අනාගත ජනාධිපති කෙනකු බිහි කිරීමට කලක් උප අගමැති පුතකු ව ඉන් පසු හිරභාරයට ගන්නා ලද පියාගේ පීඩාවට පත් කරන ලද පුත්‍රයා, චරිත ශක්තිය හා උගත්කම ගොඩනගා ගත්තේ කෙසේ ද?

     

    බෙයිජිං අගනුවර සිට තම පියාගේ ගම් පළාත වූ ෂාංෂි දුෂ්කර ප්‍රාන්තයට ෂී පවුල නෙරපා හරිද්දී ගැටවරයකු වූ ෂී චින්පිං වයස අවුරුදු 16 දී කෘෂිකාර්මික කම්කරුවකු වශයෙන් ගොවිතැන් කිරීමට යොදවන ලදී. ගොවියන් අතර වැඩ කරද්දී ගොවියන්ට ආදරය කරන්නට වූ ෂි චින්පිං ඔවුන් අතර සමාජ දේශපාලන කටයුතුවල නිරත වන්නට විය.

     

    1971 දී 18 වැනි වියේ සිටි ඔහු කොමියුනිස්ට් තරුණ සමිතියට බැඳුණේය. 1974 දී ඔහු චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. ඊළඟ අවුරුද්දේ ඔහු පක්ෂ ශාඛාවේ ලේකම් වූයේ ය. චීන මහජන විමුක්ති හමුදාවේ ගොවි කම්කරු අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ 1975 සිට 1979 දක්වා බෙයිජිං අගනුවර චීන්හුආ විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු පාඨමාලාව හැදෑරීමට ෂී චින් පිං තෝරා ගන්නා ලදි.

     

    1969 සිට 1975 දක්වා කෘෂි කම්කරුවකු වශයෙන් ගොවියන් සමඟ වැඩ කළ මේ තරුණයා කොපමණ ආදරයට ලක් වූවාද යත්, චීන්හුආ සරසවිය බලා යන්නට පිටත් වෙද්දී ගොවීන් සමූහයක් කිලෝ මීර් 30ක පා ගමනින් ඔහු සමඟ දුම්රිය ස්ථානය දක්වා ගමන් කළ බව වාර්තා ගතවී ඇත.

     

    සිරගතව සිටි ඔහුගේ පියා මේ වන විට නිදහස ලබා සිටියේය. සංස්කෘතික විප්ලව සමය තුළ වැඩි මහලු ෂී ශොන් ෂුන් අසාධාරණයට ලක් කරන ලද ඔබ චීනයේ නව නායකත්වය පිළිගෙන තිබිණි. එහෙයින් යළිත් ක්‍රමයෙන් සිය පියා පක්ෂයේ හා රජයේ වගකීම් කරට ගනිද්දී තරුණ ෂි චින් පිං තාක්ෂණික අධ්‍යාපනයේ ද, නීතිය හැදෑරීමේ ද නිරත වෙමින් දිගට ම චීන කොමියුනිස්ට් පක්ෂයේ විවිධ කාර්ය භාරයන්ට කර උර දුන්නේ ය.

     

    ප්‍රාන්තයක සේවය කරද්දී දියණිය සමඟ

    Xi Jinping with his daughter in Fuzhou     Xi Jinping in his office in Zhengding Hebei province in 1983

    Xi Jinping with his daughter in Fuzhou                                          Xi Jinping in his office in Zhengding

                                                                                                    Hebei province in 1983

     

    මේ යුගයේදී කලක් තම පියා යටතේ පක්ෂයේ තනතුරු දරා පසුව උප අගමැති පදවියකට පත්ව සිටි ගෙන් බියඩ්ගේ ලේකම් වශයෙන් ක්‍රියා කිරීමේ අවස්ථාව 1979 සිට 1982 දක්වා ෂි චින් පිං ට උදාවිය.

     

    මේ යුගය ඔහුගේ දක්ෂතා වර්ධනයට මහෝපකාරී වූ බව සැලකේ. එය මූලික වශයෙන් චීන මහජන විමුක්ති හමුදාවට ද සම්බන්ධ වූ කාර්ය භාරයක් වූ හෙයින් ෂී චින් පිං චීන සන්නද්ධ හමුදාවල ආදරයට ලක් වීමට, ඉන් ඉමහත් සේවයක් සැලසිණි.

     

    1998 සිට 2002 තෙක් මාක්ස්වාදී දර්ශනය හදාළ ෂී චින් පිං චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය ඉහළම දෘෂ්ටිමය අධ්‍යාපනය ලැබුවේ ඒ යුගය තුළ යැයි ප්‍රකාශ කර ඇත.

     

    ෂී චින් පිං පක්ෂයේ මධ්‍යම නායකත්ව මණ්ඩලයකට පත්වූයේ මේ යුගය තුළය. 1997 පැවැති පක්ෂයේ 15 වෙනි ජාතික සම්මේලනයේ මධ්‍යම කාරක සභාවේ විකල්ප සාමාජිකයකු වූ ඔහු 2002 පැවැති 16 වෙනි සම්මේලනයේ දී එහි පූර්ණ සාමාජිකත්වය ලැබීය.

     

    ෂී චින් පිං තම නායකත්ව ගුණාංග ප්‍රදර්ශනය කරන්නට පටන් ගත්තේ ප්‍රධාන වශයෙන් වර්ෂ 2002න් පසුවය. ඒ වසරේ ඔහු ෂිජියාං පළාතේ පක්ෂ ලේකම් තනතුරට පත් කරන ලදි. ඒ යුගය තුළ ප්‍රතිපත්ති ගරුක තදබල පාලනයක් ගෙන ගිය, පක්ෂයේ හා පාලන තන්ත්‍රයේ දූෂණ මර්දනය කළ, නායකයකු වශයෙන් ඔහු රට පුරා ප්‍රසිද්ධ විය.

     

    එහෙයින් චීනයේ දේශපාලන මෙන් ම ආර්ථික මර්මස්ථානයක් වන ෂැංහයි නුවර පක්ෂ නායකයා සමාජ සුරක්ෂණ අරමුදල් දූෂිතව පරිහරණය කිරීමේ වරදට 2006 සැප්තැම්බරයේ දී තනතුරින් පහ කරනු ලැබූ පසු මාස කීපයක් තුළ ෂැංහයි පක්ෂ නායක තනතුරට ෂී චින් පිං පත් කරන ලදි.

     

    ඒ අවුරුද්දේ පැවැති පක්ෂයේ 17 වන සම්මේලනයේ දී ඔහු මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයට පත්කර 2008 දී රජයේ උප ජනාධිපති ධුරයට පත් කරනු ලැබීය. 2012 නොවැම්බරයේ පක්ෂයේ 18 වන සම්මේලනයේ දී ඔහු චීනයේ දැනට උසස් ම දේශපාලන තනතුර වන පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුරට ද ඊට මාස කීපයකට පසු ජනාධිපති ධුරයට ද පත් කරන ලදි.

     

    Peng-Liyuan first lady  HE Xi-Jinping

     

    අසාර්ථක පළමු විවාහයකින් පසු 1987 දී චීනයේ ජනප්‍රිය සුරූපී ගායිකාවක වශයෙන් ජනාදරයට පත් ව ඇති පෙං ලියුආන් සමග විවාහ විය.

     

    තම පියාගේ දේශපාලන ආභාසය උසස් කොට සලකන චීන ජනාධිපති “චීන සිහිනය” යි නම් කරන තම දේශපාලන ක්‍රියා මාර්ගය සමාජයට ඉදිරිපත් කර ඇත. ඔහු පක්ෂයේ හා රජයේ නායකයා වශයෙන් පත් වූ අනතුරුව පක්ෂයේ දේශපාලන මණ්ඩලය වැනි ඉහළ තනතුරු පවා හෙබ වූ දූෂණ ක්‍රියා ගැන චුදිතයින් කීප දෙනෙක් ම ඉවත් කර ඇත.

     

    චීනයේ ජනතාව අතර ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ, “මිනිසුන්ට ආදරේ මිනිහෙක්” වශයෙනි. සිය පියා හා මුළු පවුල සමඟ දස වසරකට වැඩි කාලයක් නිරා දුක් විඳිමින් දුප්පත් ගොවියන් සමඟ ගත කළ ජීවිතය ඔහුට මිනිසුන්ට ආදරේ කරන්නට උගන්වා ඇත!

     

    - නීතිඥ ආනන්ද ගුණතිලක

    ශ්‍රී ලංකා - චීන මිත්‍ර සංගමයේ සභාපති

    චීන ජනාධිපති ෂී චින් පිං මැතිතුමා දෙදින නිල සංචාරයක් සඳහා සැප්තැම්බර් 16 දිවයිනට සැපත් වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි. අනුග්‍රහය: සිළුමිණ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya