අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ප්‍රතිපත්ති විවරණය - 2014 අගෝස්තු

    අගෝස්තු 17, 2014

    අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇතැම් ආහාර මිල ගණන්වල ඉහළ යෑම පිළිබිඹු කරමින් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය පෙර මාසයේ පැවති 2.8% සිට 2014 ජූලි මාසයේ දී 3.6% දක්වා ඉහළ ගිය නමුත් එය තවදුරටත් තනි අංකයක මට්ටමේ පැවතුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ අතර ඉල්ලුම් පීඩනය තුළින් ඇති වන මිල විචලනයන් පිළිබිඹු කරන මූලික උද්ධමනය 2014 ජූනි මාසයේ පැවති 3.5%ට සාපේක්ෂව 2014 ජූලි මාසයේ දී 3.7% දක්වා සුළු වශයෙන් වැඩි වී ඇත. අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සැපයුම් අවහිරතා ඇති විය හැකි වුව ද සාපේක්ෂ වශයෙන් ස්ථාවර ජාත්‍යන්තර වෙළෙඳ භාණ්ඩ මිල ගණන් මෙන්ම මනාව පාලනය වූ ඉල්ලුම් පීඩන සහ අඩු උද්ධමන අපේක්ෂා හේතුවෙන් ඉදිරියේ දී උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.


    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑත කාලීනව ගනු ලැබූ මුදල් ප්‍රතිපත්ති මාර්ගයන්ට
    ප්‍රතිචාර දක්වමින් වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් අඛණ්ඩව පහළ යමින් පවතී. අඩු උද්ධමනකාරී වාතාවරණයෙහි බලපෑම පිළිබිඹු කරමින් රාජ්‍ය සුරැකුම්පත් සඳහා වූ ද්විතීයක වෙළෙඳපොළ ඵලදා වක්‍රය පහළට විතැන් වී ඇත. බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය ඇතුළු කෙටිකාලීන පොලී අනුපාතික මෙතෙක් පැවති අවම මට්ටම දක්වා පහළ ගොස් ඇති අතර නිවාස ණය පොලී අනුපාතික සහ කල්බදු පොලී අනුපාතික වැනි දිගුකාලීන ණය පොලී අනුපාතික ද අපේක්ෂා කළ පරිදි අඩුවෙමින් පවතී. ප්‍රතිපත්ති පොලී අනුපාතික පහළ යෑමට අනුරූපව අඩු වූ තැන්පතු පොලී අනුපාතික, ඒවායේ නව මට්ටම්වල ස්ථාවර වීමක් දක්නට ලැබේ. අඛණ්ඩව පවතින අඩු උද්ධමනය හේතුවෙන් තැන්පතුකරුවන්ට සිය තැන්පතු සඳහා ධනාත්මක මූර්ත පොලී අනුපාතිකයක් ලැබී ඇති අතර ඉතුරුම්කරුවන් සඳහා දිගුකාලීනව ඉහළ ප්‍රතිලාභ ලබා දෙන නව තැන්පතු ක්‍රම හඳුන්වා දීම සඳහා මූල්‍ය ආයතන දිරිගැන්වීමක් සිදු වේ.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන පුළුල් මුදල් සැපයුමෙහි (M2b) වර්ධනය, පෙර මාසයේ වාර්තා වූ 13%ට සාපේක්ෂව 2014 ජූනි මාසයේ දී 13.3%ක් විය. පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය ජූනි මාසය තුළ දී රුපියල් බිලියන 08කින් ඉහළ ගිය නමුත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන පෞද්ගලික අංශයේ ණය වර්ධනය 2014 ජූනි මාසය අවසානයේ 2%ක් දක්වා අඩු විය. දේශීය මුදල් වෙළෙඳපොළෙහි පවතින ඉහළ ද්‍රවශීලතා මට්ටම, කෙටිකාලීන ණය පොලී අනුපාතික අඩුවීම හා අඩුවෙමින් පවතින දිගුකාලීන පොලී අනුපාතික හේතුවෙන් පෞද්ගලික අංශය මඟින් ලබාගන්නා ණය ප්‍රමාණය ක්‍රමයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. වසරේ ප්‍රථම භාගය සඳහා දැනට තිබෙන දත්තවලට අනුව දළ දේශීය නිෂ්පාදිතයෙහි මූර්ත වර්ධනය පුළුල් ලෙස ඉලක්කගත මට්ටමේ පවතිනු ඇත. එසේ වුවත් නොකඩවා පවතින අඩු උද්ධමනකාරී පරිසරය පිළිබිඹු කරමින් ගම්‍ය ද.දේ.නි. අවධමනකය, පෙර පුරෝකතනය කළ 6%ක මට්ටමට වඩා අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස නාමික ද.දේ.නි. වර්ධනය ද මුලින් පුරෝකතනය කළ 14.3%ට වඩා අඩු වනු ඇත. ඒ අනුව වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුමේ වර්ධනය 2014 වසර සඳහා මුලින් ඇස්තමේන්තු කළ 14%ට සාපේක්ෂව 2014 වසර අවසානයේ 13%ක් පමණ වනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.

    මහ බැංකුව සහ රජය විසින් ක්‍රියාත්මක කරන ලද කාලීන සහ යෝග්‍ය ප්‍රතිපත්ති හේතුකොට ගෙන මෑත මාසවල දී විදේශීය අංශය තවදුරටත් ශක්තිමත් විය. 2013 ජූනි සිට අපනයනවල දක්නට ලැබුණු හිතකර වර්ධනයන් 2014 වසරේ ඉතුරු කාලසීමාව තුළ දී ද තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉහළ යෑම සහ සංචාරක කර්මාන්තයේ ඉපැයීම් ඉහළ යෑමත් සමඟ වෙළෙඳ හිඟය අඩුවීම ජංගම ගිණුම සඳහා හිතකර ලෙස බලපාන ලදී. ඒ අනුව දළ නිල සංචිතය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වූ එ.ජ.ඩොලර් බිලියන 09 ඉක්මවා ගිය අතර මේ වන විට එ.ජ.ඩොලර් බිලියන 9.2ක පමණ මට්ටමේ පවතී. මේ අතර මහ බැංකුව විසින් වසරේ මේ දක්වා කාලය තුළ එ.ජ.ඩොලර් බිලියනය ඉක්ම වූ විදේශ විනිමය ප්‍රමාණයක් දේශීය, විදේශීය විනිමය වෙළෙඳපොළෙන් ශුද්ධ පදනම මත මිල දී ගන්නා ලදී. මෙම පසුබිම තුළ 2014 අගෝස්තු 14 වැනි දින පැවති රැස්වීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් වර්තමානයේ පවතින 6.50% සහ 8% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී. මීළඟට නියමිත මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනු ලබන දිනය යථා කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව ද මහ බැංකුව පැවසීය.

    මුදල් ප්‍රතිපත්ති තීරණය අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6.50%ක්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 8%ක් හා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 6%ක් ලෙස ප්‍රතිපත්ති පොලී අනුපාතික
    නොවෙනස්ව පවතින බව ද මහ බැංකුව සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya