අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආර්.ඇම්. අප්පුහාමි මැතිතුමාට පාර්ලිමේන්තුවේ ශෝකය පළ වේ

    ජූලි 25, 2014

    බණ්ඩාරවෙල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.ඇම්. අප්පුහාමි මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැත් වූ කතාව.

     
    ගරු කථානායකතුමනි,

     
    බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ පොදු මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් හා  දිසා අමාත්‍යවරයකු වශයෙන් මෙම උත්තරීතර සභාවේ රැඳී සිටිමින් උදාර මහජන සේවාවක නිරතවූ ප්‍රවීණ දේශපාලනඥ ආර්.ඇම්. අප්පුහාමි මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කර‍න‍්නෙමි.

     
    වැලිමඩ, දික්කාපිටිය, කොස්කණුවල ගමේ ප්‍රභූ පරපුරකට අයත් ආර්.ඇම්. කිරිබණ්ඩා මහතාගේත්, එච්.ඇම්. ලොකුමැණිකා මහත්මියගේත් දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහතා 1925 නොවැම්බර් මස 15 වැනි දින මෙලොව එළිය දුටුවේය.

     
    දික්කාපිටිය ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලද එතුමා වැඩිදුර අධ්‍යාපනය එවකට බණ්ඩාරවෙල වැස්ලින් විද්‍යාලය යනුවෙන් හැඳින්වුනු වර්තමාන ධර්මපාල මහා විද්‍යාලයෙන්ද, බණ්ඩාරවෙල පිරිවෙනින්ද ලබාගත්තේය. පාසල් අධ්‍යාපනය නිමා කිරීමෙන් අනතුරුව ව්‍යාපාර ක්‍ෂේත්‍රයට පිවිසුණු අප්පුහාමි මහතා කෘෂිකර්මාන්තයේද නියැළෙමින් සාර්ථක ජීවිතයක් සඳහා අඩිතාලම දමා ගත්තේය.

     
    පසුකාලීනව තේ කර්මාන්තයේ යෙදෙමින් ප්‍රදේශයේ ඉතා සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වූ එතුමා හපුතලේ, යහලබැද්දේ ප්‍රභූ පවුලක දියණියක වූ දිසානායක මුදියන්සේලාගේ කරුණාවතී මෙනෙවිය සමගින් විවාහ ජීවිතයට ඇතුළත් විය.‍ එම විවාහයෙන් පද්මලතා, කුසුමලතා, මල්ලිකා, හේමලතා සහ ලීලා යනුවෙන් දියණියන් පස් දෙනෙකුත්, කරුණාතිලක රත්නායක නමින් එක් පුතෙකුත් සමාජයට දායාද කළේය.  

     
    ජීවිතයේ තරුණ කාලයේදීම සමාජසේවා කාර්යයන් හා සම්බන්ධවූ අප්පුහාමි මහතා 1956 පටන් එක්සත් ජාතික පක්ෂය සමග අත්වැල් බැඳගනිමින් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත විය. ඒ අනුව 1963 වසරේදී බණ්ඩාරවෙල නගර සභාවේ අංක 3 කොට්ඨාසය සඳහා තර‍ගකොට ජයග්‍රහණය අත්පත් කරගනිමින් නගර වාසීන්ගේ දියුණුව වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළේය.  ජනතා ආදරය නොමඳව දිනා සිටි එතුමා 1965 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හපුතලේ ආසනයටද, 1970 දී බණ්ඩාරවෙල ආසනයටද තරග කළත්, ඉතා සුළු ඡන්ද සංඛ්‍යාවක් අඩුවූ බැවින් ජයග්‍රහණය ලබාගත නොහැකි විය.

     
    යළි 1977 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී බණ්ඩාරවෙල ආසනය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැදුනු එතුමා විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කරගනිමින් මෙම උත්තරීතර සභාවේ අසුන් ගැනීමේ භාග්‍යය උදාකර ගත්තේය.  එවකට ජනාධිපති ධූරය හෙබවූ ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් බදුල්ල දිස්ත්‍රික් අමාත්‍යවරයා වශයෙන් 1978දී පත්කරන ලද ආර්.ඇම්. අප්පුහාමි මහතා එතැන් පටන් සමස්ත දිස්ත්‍රික්කයේම අභිවෘද්ධිය සඳහා විවිධ යෝජනා ක්‍රම දියත් කරනු ලැබීය.


    බණ්ඩාරවෙල ප්‍රදේශයේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගා සිටුවීම සඳහා නිරන්තරයෙන්ම කැපවූ අප්පුහාමි මහතා ජාතික පාසල් හයක්ද, කුඩා පාසල්වලට ගොඩනැගිලිද, විද්‍යාගාර පහසුකම් හා ක්‍රීඩා පහසුකම්ද සපයා දෙමින් විශිෂ්ට සේවාවක් ඉටු කළේය. ඉතා දුෂ්කර තත්ත්වයේ පැවති ගම්මාන රාශියකටම විදුලි බලය සපයා දෙමින්ද, ජල පහසුකම් ලබා දෙමින්ද, මංමාවත් සංවර්ධනය කරමින් ජනතාවගේ ගමනා ගමන පහසුකම් වැඩිදියුණු කරමින්ද, සෞඛ්‍ය තත්ත්වය නංවාලීම සඳහා සියලු පහසුකම් සපයා දෙමින්ද දැක්වූ සහයෝගය ජනතා සිත් සතන් තුළ සදාකාලිකවම රැඳී පවතියි. එපමණක් නොව එවකට කඩා වැටී තිබුණු බණ්ඩාරවෙල සමුපකාර සේවාව ප්‍රතිසංස්කරණය කර ඉතා සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීමේ ගෞරවයද එතුමාට හිමිවෙයි.
     

    උදාගම් සංකල්පය යටතේ බණ්ඩාරවෙල නගර සභා නිවාස යෝජනා ක්‍රමය ඇතුළු උදාගම් 15කට වැඩියෙන් ආරම්භ කර නිවාස පහළොස් දහසක් පමණ දුගී දුප්පත් ජනතාව අතරේ බෙදාදීමද එතුමාගේ ප්‍රශංසනීය මහජන සේවාවකි. සාප්පු සංකීර්ණය හා අතුරු මාර්ග ආදී නව නිර්මාණ බිහිකරලමින් නගරය ඉතා දැකුම්කලු සංචාරක පුරවරයක් බවට පත්කරලීමටද එතුමා දැරූ ප්‍රයත්නය සුළුපටු නො වේ.
     

    ජර්මනිය, ජපානය හා සයිප්‍රසය වැනි රටවල්වල සංචාරයේ යෙදෙමින්ද, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සම්මේලන ආදියට සහභාගිවෙමින්ද ශ්‍රී ලංකාවේ ගෞරවය රැක ගැනීමට උත්සාහ ගත් අප්පුහාමි මහතා එම චාරිකාවන්හිදී ලද දැනුම උපයෝගී කරගනිමින් තම ප්‍රදේශයේ උන්නතිය වෙනුවෙන්ද කැපවුණු උදාර පුද්ගලයෙකි. 1989 දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ මෙම කීර්තිමත් දේශපාලනඥයා එම කාලය තුළදී නගරයේ විහාරස්ථානය හා අනෙකුත් ආගමික සිද්ධස්ථාන සියල්ලටම ආධාර උපකාර කරමින් ආගමික සහජීවනය උදෙසාද පියවර ගත්තේ මහා සංඝ රත්නයේ අවවාද අනුශාසනා හිස් මුදුනින් පිළිගනිමිනි.

     
    90 දශකයේ මුල් අවදියේදී බණ්ඩාරවෙල නගර සභා මැතිවරණය සඳහා තරගකොට ජයග්‍රහණය හිමිකරගත් අප්පුහාමි මහතාට පක්ෂ විපක්ෂ කාගේත් ආශිර්වාදය මත එහි නගරාධිපති ධූරය භාරගැනීමට සිදුවිණි. බණ්ඩාරවෙල නගරයේ ප්‍රථම පුරවැසියා වශයෙන් කටයුතු කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද ස‍හයෝගය නොඅඩුවම ලබාගත් එතුමා නගරයේ එතෙක් පැවති අඩුපාඩු රාශියක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකාවේ දර්ශනීයම නගරයක් බවට පත්කිරීමට ගත් උත්සාහය කාගේත් පැසසුමට භාජනය වූවකි. පියකරු බණ්ඩාරවෙල දේශීය හා විදේශීය සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් සුන්දර පුරවරයක් බවට පත්කරලීමේ ගෞරවය නිතැතින්ම එතුමාට හිමිවන්නේ එබැවිනි.
     

    පොදුජන එක්සත් පෙරමුණු රජය මගින් රටේ සංවර්ධනය උදෙසා දියත් කරනු ලබන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රසාදයට පත්වූ  ආර්.ඇම්. අප්පුහාමි නමැති මානව හිතවාදියා 2000 වසරේදී රජය හා එක්වෙමින් එම ක්‍රියාදාමය ඉදිරියට ගෙනයාමට විශාල සහයෝගයක් ලබාදුන්නේය. රට, ජාතිය සම්බන්ධයෙන් පමණක් නොව, පක්ෂය සම්බන්ධයෙන්ද ඇති දැඩි කැපවීම පිළිබඳ ප්‍රසාදයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලධාරීන් විසින් බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු වශයෙන් එතුමාව පත්කරන ලදී.

     
    ලොකු කුඩා, ඇති නැති, පක්ෂ විපක්ෂ කාගේත් ආදරය හා ගෞරවය නොමඳවම දිනාගනිමින් වසර ගණනාවක් තිස්සේ පොදුජන සේවාවන් රැසක් ඉටුකළ මෙම යුග පුරුෂයා වසර 89ක් පමණ ආයු වළඳා භාර්යාව ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ප්‍රදේශවාසී ජනතාවටත් ඉමහත් වේදනාවක් ගෙනදෙමින් 2014 මාර්තු මස 11 වැනි දින අවසන් හුස්ම හෙළුවේය.


    ගරු කතානායකතුමනි,


    අඩු පහසුකම් සහිත ජනතාවක් වෙසෙන බණ්ඩාරවෙල වැනි ප්‍රදේශයක උපත ලබා තම ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම ඇපකැප වෙමින් නගර සභා නියෝජිතයකු වශයෙන්ද, නගර සභා සභාපති වශයෙන්ද, මහජන මන්ත්‍රීවරයකු වශයෙන් හා දිස්ත්‍රික් අමාත්‍යවරයකු වශයෙන්ද කටයුතු කරමින් ජනතාවගේ හදවත් තුළ ජීවත්වූ රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි නම් වූ කීර්තිමත් දේශපාලනඥයාගේ අභාවය වෙනුවෙන් මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාවටත්, දූ දරුවන් ඇතුළු ඥාතීන්ටත් දන්වා යවන ලෙස යෝජනා කරමි.


    හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි / නිරංජලා දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya