අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටියුඩර් දයාරත්න මැතිතුමාට පාර්ලිමේන්තුවේ ශෝකය පළ වේ

    ජූලි 25, 2014

    කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටියුඩර් දයාරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක යෝජනාව අද (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැත් වූ කතාව.

     

    ගරු කථානායකතුමනි,

     
    කළුතර දිස්ත්‍රික්කයේ පොදු මහජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් මෙම උත්තරීතර සභාවේ රැඳී සිටිමින් පොදුජන සේවාවෙහි නියැළුණු ප්‍රවීණ දේශපාලඥයෙකු වූ ටියුඩර් දයාරත්න මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව මම මේ අවස්ථාවේදී ගරු සභාවට ඉදිරිපත් කරන්නෙමි.


    ශ්‍රී ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සනිටුහන් කළ රයිගම් කෝරළයට අයත්,  බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසයේ, කඹුරුගොඩ ග්‍රාමයේ විසූ රණතුංග ආරච්චිගේ පීටර් පෙරේරා මහතාගේත්, ලියනගේ බේබිනෝනා මහත්මියගේත් පුත්‍ර රත්නයක් ලෙස ටියුඩර් දයාරත්න මහතා 1946 ජූලි මස 31 වැනි දින මෙලොව එළිය දුටුවේය. තම ගමේ පාසල වූ කඹුරුගොඩ රජයේ විද්‍යාලයට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලද එතුමා පානදුර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය ලබා ගත්තේය.

     
    තරුණ වියට පා එස වූ දයාරත්න මහතා චන්ද්‍රා පතිරණ මෙනෙවිය සමගින් යුග දිවි ගමන අරඹා අරුන්දතී, ජගත්, මංගල, ගයානි, චන්‍ද්‍රිකා සහ ජයප්‍රදා‍ නමින් දූ දරුවන් හය දෙනෙකු මෙලොවට දායාද කළේය.

     
    පාසල් සමයේ පටන්ම ධනවාදයට එරෙහිව නැගී සිටි දයාරත්න මහතා එවකට බණ්ඩාරගම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෙබ වූ කේ.ඩී.ඩී. පෙරේරා මහතාගේ සමීපතම හිතවතකු වශයෙන් කටයුතු කරමින් ක්‍රියාකාරී  දේශපාලනයේ නිරත විය. 1969 දී පැවැති බණ්ඩාරගම සුළු නගර සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයකු වූ ඩී.සී.ඩබ්ලිව්. කන්නන්ගර මහතා සමගින් තරග වැදුණු එතුමා, 1970 මහ මැතිවරණයේදී බණ්ඩාරගම ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණු  හර්බට් වික්‍රමසිංහ මහතාට ජයග්‍රහණය අත්කර දීමට ප්‍රබල  සහයෝගයක් දැක්වූවේය.  


    පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් සැමදා ඇපකැපවූ දයාරත්න මහතා 1977 බල පෙරැළියෙන් පසු වාමාංශිකයනට විඳීමට සිදුවූ දුක්ගැහැටවලදී ඔවුනට පිළිසරණ සැපයූවේ විරුද්ධ පාක්ෂිකයන්ගේ තාඩන පීඩන සියල්ලකටම මුහුණ දෙමිනි.  සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විසින් 1979දී බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක වශයෙන් දයාරත්න මහතාව පත්කිරීමෙන් පසු එම පක්‍ෂයේ උන්නතිය වෙනුවෙන් එතුමාගෙන් ලැබුණු ශක්තිය සුළුපටු නොවේ.   
     

    ප්‍රදේශවාසී ජනතාවගේ යහපත වෙනුවෙන් නිරන්ත‍රයෙන්ම කැපවූ ඒ මහතා 1982 පැවති ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාල සහයෝගයක් බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසය තුළින් ලබාදුනි.  එපමණක් නොව‍ ක්‍රියාකාරී වාමාංශිකයකු වීමේ ප්‍රතිපලයක් වශයෙන් නැක්සලයිට් කණ්ඩායම් සාමාජිකයකු ලෙස සැක කිරීම නිසා සිරගත වී සිටීමටද එතුමාට එම කාල වකවානුවේදී සිදුවිණි.   
     

    1984 වර්ෂයේ ශ්‍රී ලංකා මහජන පක්‍ෂය ආරම්භ කළ අවස්ථාවේදී එම පක්ෂය හා සම්බන්ධවෙමින් එහි උප ලේකම් ධූරයටද පත්වූ මෙම මානව හිතවාදියාගේ පක්‍ෂය වෙනුවෙන් වූ දැඩි කැපවීම, මහජන පක්‍ෂයේ ජාතික සංවිධායක තනතුර පවා ලැබීමට බෙහෙවින්ම බලපෑවේය. 1988 වසරේදී පළමුවරට පැවති පළාත් සභා මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ නියෝජනය කරමින් සුවිශේෂී ජයග්‍රහණයක් ලබාගත් එතුමා බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්විණි.  එම තනතුර තුළින් බණ්ඩාරගම හා කළුතර දිස්ත්‍රික් ජනතාවට අමිල සේවාවක් ඉටු කළ එතුමා යළිත් 1993 වසරේදී පැවති පළාත් සභා මැතිවරණයෙන්ද බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූයේ එම සේවාව තවදුරටත් සැපයීමේ පරමාර්ථය පෙරදැරි කරගනිමිනි.
     

    1999 දී පැවති පළාත් සභා මැතිවරණයටද කළුතර දිස්ත්‍රික් කණ්ඩායමේ නායකයා ලෙස තරග කළ ටියුඩර් දයාරත්න මහතා එවර ජයගැනීමෙන් පසු බස්නාහිර පළාත් සභාවේ ප්‍රවාහන, මහාමාර්ග, වනිතා කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කිරීමේ වාසනාව හිමිකර ගත්තේය.   එම අමාත්‍ය ධූර භාරගැනීමෙන් පසු එකී ක්‍ෂේත්‍රයන් තුළින් පළාත්වාසී ජනතාවට ඉටුවිය යුතු කාර්යභාරය නොපිරිහෙළා ඉටු කිරීමට සෑමවිටම වගබලා ගත්තේය.
     

    ප්‍රදේශවාසී ජනතාව අතර ගැවසෙමින්, ඔවුන්ගේ හදවත්වලට සමීපව ජීවත්වූ දයාරත්න මහතා වසර 2000 දී පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරගකොට ජයග්‍රහණය ලබා මෙම උත්තරීතර සභාවේ පළමුවරට අසුන් ගැනීමේ භාග්‍යය හිමිකර ගත්තේය. එවර බලයට පැමිණි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපතිතුමියගේ රජයේ අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් එතුමා සිසු දරුවන්ගේ යහපත වෙනුවෙන් පාසල්වල පවත්නා විවිධ අඩුපාඩු පිළිබඳව සොයා බලමින් ඒවා සම්පූර්ණ කිරීමට සෑහෙන වෙහෙසක් දැරුවේය.

     
    නැවත බණ්ඩාරගම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රධාන සංවිධායක වශයෙන් කටයුතු බාරගත් මෙම කීර්තිමත් දේශපාලනඥයා 2001 පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදීද කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ජයග්‍රහණය ලබා දෙවැනි වරටත් මෙම සභාවට පැමිණියේය. තමන්ගෙන් ප්‍රදේශවාසී ජනතාවට ඉටු විය යුතු සේවාව මනා ලෙස ඉටුකළ ඔහු ප්‍රදේශයේ ගමනාගමනය, සෞඛ්‍යය සහ අධ්‍යාපනය නංවාලීමට නිරතුරුවම ඇපකැප විණි. ජනතාවගේ මූලික අවශ්‍යතාවන් වූ ඉඩම් හා නිවාස සැපයීමටද,  විදුලි බලය නොමැති ප්‍රදේශවලට විදුලිය ලබාදීමටද, රැකියා විරහිත තරුණ පිරිසගේ රැකියා ප්‍රශ්නය විසඳාලීමටද එතුමා ඒ සෑම විටකම පියවර ගත්තේය.


    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ කාල සීමාව තුළදී උතුරු කොරියාවේ පැවති තරුණ සමුළුවකටද, ඩුබායිහි පැවති කම්කරු හා රැකීරක්ෂා උපදේශක කමිටු රැස්වීමකටද, පිලිපීනයේ පැවති අන්තර් ජාතික සමුළුවකටද ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගිවෙමින් රටේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට පියවර ගත් එතුමා එහිදී ලද දැනුම උපයෝගී කරගනිමින් තම රටේ යහපත වෙනුවෙන් ඒවා යොදවා ගැනීමටද සෑහෙන වෙහෙසක් දැරුවේය.
     

    2004 වසරේදී ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ වශයෙන්ද, 2006 මධ්‍යම ගමනාගමන මණ්ඩලයේ සභාපති වශයෙන්ද පත්වූ එතුමා මධ්‍යම ගමනාගමන මණ්ඩලය යළි ලංගමය බවට පත්කරලීමේ සුවිශේෂී කාර්යභාරයද ඉටුකළේය.  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ 2010 වසරේ විජයග්‍රහණය වෙනුවෙන් බණ්ඩාරගම ආසනය තුළින් වෙන කවරදාටත් වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාදුන්නේ තම පක්ෂය වෙනුවෙනුත්, පක්ෂ නායකයා වෙනුවෙනුත් එතුමා තුළ පැවති කැපවීම හා ගෞරවය මනාලෙස ප්‍රදර්ශනය කරමිනි.


    නිහතමානී දේශපාලනඥයකුවූ දයාරත්න මහතා ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන හා භික්ෂූන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේය. කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයක් නොතකමින් බණ්ඩාරගම මැතිවරණ කොට්ඨාසය තුළ පැවති සියලු සමාජ, සංස්කෘතික හා ආගමික කටයුතුවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළේ බණ්ඩාරගම නවෝදයේ  පෙර ගමන්කරුවකු වෙමිනි.

     
    පළාත් පාලන ක්‍ෂේත්‍රයෙන් දේශපාලනයට පිවිස, පළාත් සභා මන්ත්‍රීවරයකු, පළාත් අමාත්‍යවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ නියෝජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිගුකාලීනව පුළුල් ජන මෙහෙවරක නිරතව සිටි රණතුංග ආරච්චිගේ ටියුඩර් දයාරත්න නම් වූ මානව හිතවාදියා සුළු කලක් අසනීප තත්ත්වයෙන් පසුවී අවුරුදු 67ක් ආයු වළඳා 2014 ජනවාරි මස දෙවැනි දින පවුලේ ඥාතීනට පමණක් නොව කළුතර දිස්ත්‍රික් ජනතාවටද වේදනාවක් ගෙනදෙමින් ජීවිතයෙන් සමුගත්තේය.

     
    ගරු කථානායකතුමනි,

     
    අන්‍ය මතධාරීන් සමගද ඉතා සුහදව පටු මතවාදවලින් තොරව මහත්මා දේශපාලනයක නිරත වූ කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය අමාත්‍ය ටියුඩර් දයාරත්න මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, මෙම උත්තරීතර සභාවේ ශෝකය එතුමාගේ දයාබර භාර්යාවටත්, දූ පුතුන්ටත්, බස්නාහිර පළාත් සභා  මන්ත්‍රී නිමල් චන්ද්‍රරත්න සොහොයුරා ඇතුළු පවුලේ ඥාතීන්ටත් දන්වා යවන ලෙස යෝජනා කරමි.


    හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි / නිරංජලා දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya