අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බෝයාවේ නළය පිපිරීමෙන් උද්ගත ව ඇති තත්ත්වය ගැන ඇමති අනුර යාපා කරුණු පහදයි

    ජූලි 24, 2014

    බෝයාවේ නළය පිපිරීමෙන් තෙල් ගොඩබෑම අඩපණවීමෙන් ඇති වූ තත්ත්වය මත කිසිදු ප්‍රමාද ගාස්තුවක් මේ දක්වා ගෙවා නැති බවත් කිසිදු සමාගමක් ද ප්‍රමාද ගාස්තුවක් ඉල්ලා නොමැති බවත් ඛනිජතෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) ප්‍රකාශ කළේය.


    ප්‍රමාද ගාස්තුව පිළිබඳව නිශ්චිත භාවයකට පැමිණිය හැක්කේ මෙම සිද්ධියට අදාළ නීතිමය තත්ත්වය යටතේ පමණක් බවත් මෙම සිද්ධියේදී ඛනිජතෙල් සංස්ථාවේ ස්ථාවරය වන්නේ සැපයුම්කරු හෝ ගැනුම්කරුගේ පාලනයෙන් බැහැර තත්ත්වයක් මත නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමේ අවශ්‍යතාවක් නොමැති බවද යාපා මහතා  කීය.


    කොළඹ වරායට සහ මුතුරාජවෙළට තෙල් ගොඩබෑම සඳහා පැමිණි තෙල් නැව්වලට ඒවා ගොඩබෑමට නොහැකි වීම සහ ප්‍රමාද වීම නිසා ඇති තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පත්කළ මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23(2) යටතේ අසා තිබූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.


    පිරිපහදුවේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයත් සංස්ථාව සතු බොරතෙල් ගබඩා කිරීමේ ධාරිතාවත් සැලකිල්ලට ගෙන මාස තුනකට පමණ පෙර තෙල් ඇනවුම් කරන බවත් එසේ තෙල් ඇනවුම් කරන අවස්ථාව වන විට නළ පද්ධතියේ හෝ පිරිපහදුවේ ක්‍රියාවලියන් යථාතත්වයෙන් පැවැතිණි.


    තෙල් ගොඩබෑමට යොදා ගන්නා බෝයාව සම්බන්ධ නළ පද්ධතිය සැපයූ ඉතාලි සමාගමෙන් නෞකා ප්‍රමාදයට අදාළ ගාස්තු අය කරගැනීම පිළිබඳව නීතිමය කටයුතු ආරම්භ කර ඇත. මෙතෙක් නෞකා සඳහා ප්‍රමාද ගාස්තු ගෙවා නොමැත.


    බෝයාවේ පුපුරාගිය නළය වෙනුවට විකල්ප නළයක් ලබාගැනීම සඳහා නළය සැපයූ සමාගමට දැනුම්දී ඇති අතර එයට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් නීතිමය පියවර ගන්නා බවත්, නඩත්තු කටයුතු ප්‍රමාද වුයේ මුහුදේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා බවද ඇමතිවරයා පෙන්වා දුන්නේය.


    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.


    SPBM ආධාරකය (බෝයාව) යොදා ගනිමින් ඛනිජ තෙල් නිෂ්පාදන /බොර තෙල් ගොඩබෑමේ කටයුතු සිදු කරනු ලබයි. නැව්වලින් බොර තෙල් ගොඩබෑමේ කටයුතු සිදු කරන බෝයාව පිහිටා ඇත්තේ කොළඹ වරායේ සිට දළ වශයෙන් කිලෝ මීටර් 09ක් පමණ ඈත මුහුදේ ය. පිරිපහදු කරන ලද තෙල් ගොඩබෑමට යොදා ගන්නා මුතුරාජවෙල ටැංකි ගබඩා සංකීර්ණයට සම්බන්ධිත බෝයාව, ගොඩබිම සිට කිලෝ මීටර් 08ක් පමණ ඈත දුරකින් පිහිටා ඇත. නැවකින් තෙල් ගොඩබෑමේ දී බෝයාවට සම්බන්ධ කරන නළ වර්ග දෙකක් ඇත. ඉන් එකක්, තෙල් ගෙනෙන ලද නැවේ සිට මුහුදේ මතුපිට පවතින බෝයාවට සම්බන්ධ කෙරේ. දෙවැන්න, බෝයාවේ සිට මුහුදු පතුළ දක්වා දිවෙන, එමගින් බෝයාවත් PLEM එකත් එකිනෙකට සම්බන්ධ කරනු ලබන බෝයාව යට සවිකරන නළයයි. ප‍්‍රථමයෙන් සඳහන් කරන ලද නළය බොරතෙල් බෑමෙන් අනතුරුව තෙල් ගෙනෙන ලද නැවෙන් වෙන් කර බෝයාවට සම්බන්ධ කර මුහුද මත පවතී. බෝයාවට යොදන නළය (Under Buoy Hose) ස්ථීරව දිගටම එලෙසම ක‍්‍රියාත්මක වේ.


    ඕමාන් එක්ස්පෝට් බ්ලෙන්ඩ් නමැති බොර තෙල් වර්ගය රැගෙන ආ සිටි එලයිට් නමැති නෞකාවෙන් තෙල් ගොඩබාමින් සිටියදී බෝයාව යටට යොදන ලද නළය පුපුරා යෑම හේතුවෙන් 2014 මැයි 25 දින පැය 15.42ට බොර තෙල් ගොඩබෑමේ කටයුතු නතර කරන ලදී. මෙම ගොඩබෑම් කටයුතු නතර කරන අවස්ථාව වන විට එම නැවේ ඉතිරි වූ තෙල් තොගය දළ වශයෙන් මෙට්රික් ටොන් 57,711.734 වේ. මෙලෙස පුපුරා ගිය බෝයාව යට යොදන ලද නලය විශේෂිත වශයෙන් සකසන ලද්දක් වන අතර ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටිය යටතේ ඉතාලියේ මනුලි රබර් ඉන්ඩස්ටී‍්‍රස් එස්පීඒ සමාගමෙන් මිලදී ගන්නා ලද්දකි.


    මෙම නළය බෝයාවට සවිකරන ලද්දේ 2014 පෙබරවාරි 05 වන දිනයි. එනම්, නළය සවිකල දින සිට දළ වශයෙන් මාස 03ක් සහ දින 20ක් ගෙවීයත්ම මෙම නළය පුපුරා ගොස් ඇත. එසේ වුවත්, මෙම නළය සඳහා අවුරුදු තුනක වගකීම් කාලයක් ඇත. මෙම නළය පිපිරීයාමට හේතුව කුමක්ද යන්න නිශ්චිතව සඳහන් කළ නොහැක. එය නිෂ්පාදන ක‍්‍රියාවලියේ සිදු වූ අඩුපාඩුවක් හෝ මුහුදේ රළු ස්වාභාවය මත සිදු වූ ගැටලුවක් හෝ වෙනත් හේතුවක් හෝ විය හැක. වගකීම් සහිත කාලය තුළ කි‍්‍රයාත්මක වන බැවින්, විකල්ප නළයක් ලබා දෙන ලෙස සැපයුම්කරු වෙත ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දැන්වීය. කෙසේ වුවත්, එම ඉල්ලීම සැපයුම්කරු විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී. එයට හේතු වශයෙන් දක්වා ඇත්තේ, මුහුදු පතුළේ ස්ථාපනය කර ඇති පයිප් ලයින් එන්ඩ් මැනිපෝල් (PLEM) වලට අදාළ දළ සටහන්වල (Drawings) පැවතී යැයි සැලකෙන අඩුපාඩුය. එසේ වුවත්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සැපයුම්කරුගේ මෙම අදහස පිළිනොගන්නා අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීති කටයුතු සිදු කිරීම ආරම්භ කර ඇත. කෙසේ වුවත්, මෙහිදි සඳහන් කළ යුතු වැදගත් කාරණයක් වන්නේ මෙම නිෂ්පාදකයාගෙන් ම මීට කලින් මිලදී ගෙන බෝයාව යට යොදන ලද නලය මෙම ස්ථානයේ ම අවුරුදු තුන හමාරක් තිස්සේ කිසිදු ගැටලුවකින් තොරව ක‍්‍රියාත්මක වීම යි.


    සාමාන්‍ය තත්ත්වයන් යටතේ බෝයාවට සම්බන්ධිතව යොදන අලුත් නලයක් ගැටලුවකින් තොරව අවම වශයෙන් අවුරුදු තුනක්වත් ක‍්‍රියාත්මක විය යුතුය. අලුතින් අතිරේක නල ලබා ගැනීමට කටයුතු කිරීමට එම කාලපරිච්ඡේදය ප‍්‍රමාණවත් ය. එහෙත් අලුතින් සවිකරන ලද අලුත්ම නළය මාස 03කුත් දින 20ක පමණ කාලය තුළ පුපුරා ගිය බැවින් අතිරේක වශයෙන් නව නළයක් ගැනීමට ප‍්‍රසම්පාදන කටයුතු ආරම්භ වී නොපැවතුණි. එබැවින්, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව බෝයාව යට යොදන අමතර අලුත් නළයක් මෙම සිද්ධිය සිදු වන අවස්ථාවේ ගබඩාවල නොතිබුණී. එසේ වුවත්, අලුත්වැඩියා කරන ලද කලින් භාවිතයට ගත් නළ දෙකක් හදිසි අවස්ථාවලදී භාවිත කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබිණ.


    මෙම සංදර්භය තුළ පුපුරා ගිය නළය වෙනුවට මෙම සමාගමෙන් ම මීට ඉහතදී මිලදී ගන්නා ලද අලුත්වැඩියා කර තිබූ කලින් භාවිත කළ නළයක් සවිකරන ලද්දේ 2014 ජුනි 23 වන දිනය. මෙම නළය සවිකිරීම මෙම සමාගම විසින් ම එවන ලද විශේෂඥයෙකුගේ උපදෙස් පරිදි සිදු කෙරුණි. මැයි මස 25 දින සිට ජුනි 23 දින දක්වා තරම් දිගු කාලයක් නළය නැවත සවිකිරීමට ගත විය. එයට හේතු වූයේ නිරිත දිග මෝසම් සුළං කාලපරිච්ඡේදය තුළ මුහුදේ රළු ස්වභාවය වැඩි වූ බැවින් මුහුද යට බෝයාවේ කිසිදු අලුත්වැඩියා කටයුත්තක් නිශ්චිත කාල රාමුවක් ඔස්සේ කළ නොහැකි වීමයි. සාමාන්‍යයෙන් වර්ෂයක අප්‍රේල් මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා බටහිර මුහුදු ප‍්‍රදේශය වාරකන් කාලයකට අයත් බැවින් මුහුද යට අලුත්වැඩියා කටයුතු සඳහා කිමිදුම්කරුවන් යෙදවීම අතිශය භයානක හා අවදානම් සහගත කටයුත්තකි. ඉඳහිට මුහුද නිශ්චල වන අවස්ථාවලදී පමණක් කිමිදුම්කරුවන් යවා බෝයාවේ අදාළ අලුත්වැඩියා කටයුතු කිරීමට සිදු වේ. කෙසේ වුවත්, බොර තෙල් බා ගැනීමේ හදිසි අවශ්‍යතාවයත්, අඛණ්ඩව තෙල් සැපයීමේ ජාතික වගකීමත් පිළිබඳ අවධානය යොමු කරමින්, නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ ද සහෙය ඇතිව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, පැවති අවදානම් තත්ත්වයන් ද නොතකා බෝයාව යට නළය සවිකිරීමේ කටයුතු සිදු කරන ලදී.


    ජුනි මස මුල් සතිය වන විටත් නළය සවිකිරීමේ කටයුතු නිම කළ නොහැකි වු බැවින් බොර තෙල් ගොඩ බෑම සඳහා විකල්ප කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට සංස්ථාවට සිදු විය. එම ක‍්‍රියාමාර්ගයෙන් අපේක්ෂා කරන ලද්දේ බොර තෙල් නොමැතිව පිරිපහදුව වසා තැබීමේ කාලසීමාව අවම කර ගැනීමත්, රටේ ඛනිජතෙල් සැපයුම ස්ථාවර කර ගැනීමත් සහ මෙම සිද්ධිය පාදක කොට ගෙන සහ ඉන් අනතුරුව එයට සම්බන්ධිතව මතුවිය හැකි විවිධ ගෙවීම් සහ වියදම් අවම කර ගැනීමත් ය. කෙසේ වුවත්, මෙම කාලපරිච්ඡේදය තුළ නළය සවිකිරීමේ කාර්ය සම්බන්ධයෙන් නිශ්චිත කාලවකවානුවක් ප‍්‍රකාශ කිරීමට පැවති අයහපත් කාලගුණ තත්ත්වය යටතේ කිසිදු ඉඩකඩක් නොවීය. ඒ අනුව, එම අවස්ථාවේ පැවති එකම විකල්පය වශයෙන් සංස්ථාව විසින් ජුනි මස 06 වන දින කුඩා නැවක සේවය ලබා ගැනීම පිණිස (STS Operation) ටෙන්ඩර් කැඳවීමක් සිදු කරන ලදී. බොර තෙල් ගෙනෙන ලද විශාල නැව් කොළඹ වරාය තුළ පිහිටි ඩොල්පින් ජැටියට ගෙන ඒමට නොහැකි නිසා මුහුදේදී ම එම තෙල් තොගය වරින් වර කුඩා නැවකට මාරු කර, ඩොල්පින් ජැටිය හරහා ගොඩ බෑම ඉන් අපේක්ෂා කරන ලදී. මෙම ටෙන්ඩර් ක‍්‍රියාපටිපාටිය සිදුකරන අතරතුර බෝයාවේ නළය සවිකිරීමේ කටයුතු සිදු කරන නිලධාරින් විසින් ජුනි 23 වන දින එම නළය සවිකරන ලදී. ඒ අනුව, කුඩා නැව ගැනීමේ ටෙන්ඩර් කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් නතර කරන ලදී. එලෙස බොර තෙල් බා ගැනීමේ කටයුතු බෝයාව ඔස්සේ සාමාන්‍ය පරිදි කිරීම අපේක්ෂාව විය.


    කෙසේ වුවත්, මුහුදේ පැවති රළු ස්වභාවය හේතුකොට ගෙන නැවත සවිකරන ලද නළයට ද හානි සිදු වී ඇති බැව් කිමිදුම්කරුවන් විසින් ජුනි මස 25 වන දින දැනුම් දෙන ලදී. එබැවින්, බොර තෙල් බෑමේ කටයුතු යළිත් ඇනහිටිණි. ඒ අනුව, වෙනත් විකල්පයක් නොවූයෙන් මෙම සංදර්භය තුළ යළිත් කුඩා නැවක සේවය ලබා ගෙන බොර තෙල් ගොඩ බෑමේ විකල්පය වෙත යෑමට සංස්ථාවට සිදු විය.


    මේ අතරතුර ජුනි 12 වන දින බොර තෙල් රැගෙන නැවක් කොළඹ වරායට සේන්දු විය. ඒ වන විටත් බෝයාවේ නලය සවිකිරීමේ කටයුතු නිම නො වූ බැවින්, බොර තෙල් නැව වරායෙන් පිටත නැංගුරම් ලා තැබුණි. එමෙන්ම, ඊට අමතරව බොර තෙල් රැගත් නැවක් ජුනි 29 දින කොළඹ වරායට විත් එය ද නැංගුරම් ලා තැබුණි. ඉන් අනතුරුව ජුලි මස 16 දින තවත් බොර තෙල් රැගත් නැවක් කොළඹ වරායට පැමිණ නැංගුරම්ලා නවතා තැබුණි. මෙම බොර තෙල් ආනයන කටයුතු සිදු වූයේ දිගුකාලීන ගිවිසුම් ප‍්‍රකාරවය. එමෙන්ම, එම ආනයන කටයුතු සිදු වනුයේ කලින් තීරණය කර ගත් කාලපරිච්ඡේද ප‍්‍රකාරව ය. පොදුවේ බොර තෙල් ඇණවුම් කළ දින සිට මාස 03ක ඉදිරි කාලයක් එම සැපයුම් සඳහා සැපයුම්කාර සමාගම්වලට අවශ්‍ය වනු ඇත. ගිවිසුම් ප‍්‍රකාරව කලින් ඇණවුම් කරන ලද තෙල් නැවක් ගැනුම්කරුගේ අවශ්‍යතාව පරිදි හදිසියේ අවලංගු කළ නොහැක. එසේ අවලංගු කරන්නේ නම්, එහි පුර්ණ වගකීම සහ අදාළ වියදම් ද ගැනුම්කරු විසින් දැරිය යුතු වේ. එලෙස හදිසියේ ඇණවුමක් අවලංගු කිරීම තුළින් සංස්ථාවට පහත ප‍්‍රකාර අතිරේක සහ නිශ්චය කළ නොහැකි වියදම් දැරීමට සිදු වනු ඇත.


    i.    නැව් ගාස්තු සම්පුර්ණ වශයෙන්

    ii.    පර්යන්ත ගාස්තු

    iii.    ණයවර ලිපි අවලංගු කිරීමේ ගාස්තු

    iv.    සැපයුම්කාර සමාගමට අහිමි වන ලාභ ප‍්‍රතිපූර්ණය කිරීම

    v.    ගිවිසුම්ගත බොර තෙල් තොගය වෙනත් පාර්ශවයකට විකිණීමට සිදු වු අවස්ථාවක එහි අලාභයක් සිදු වූවහොත් එම ගාස්තු

    vi.    එම ගනුදෙනුවට අදාළ විවිධ පාර්ශවයන් විසින් සපයන ලද සේවාවන්ට අදාළ ගාස්තු (උදා:- රක්ෂණ වියදම්)


    ඉහත සඳහන් කරන ලද අධිකතර වියදම් දරමින් නැව් හරවා යැවීම සඳහා සංස්ථා පාලන අධිකාරිය තීරණයක් ගත්තේ නම් ඉන් මතුවිය හැකිව තිබූ ප‍්‍රතිඑල රටට සහ සංස්ථාවට ද අතිශයින් හානිකරයි. අයහපත් කාලගුණික තත්ත්වයන් යටතේ බෝයාව යට නලය සවිකිරීමේ කාලවකවානුවක් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැක. එසේ වුවත්, එම නළය සවිකර ගතහොත් එදින සිට පිරිපහදුව ක‍්‍රියාත්මක කිරීම සඳහා සංස්ථාව සතුව බොර තෙල් එම තීරණය යටතේ නොපවතිනු ඇත. පවත්නා  ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලිය අනුව නැවත බොර තෙල් ලබා ගැනීමට අඩුම තරමින් මාස 04ක කාලයක් ගතවේ. එසේ වුවහොත්, එවැනි කාලයක් පුරාවටම පිරිපහදුව නිතැතින්ම වසා තැබීමට සිදුවේ.


    මේ අතරතුර සංස්ථාව විසින් බොර තෙල් ගොඩබෑමේ බෝයාව යට යොදන ලද නළය නැවත සවිකිරීමට අඛණ්ඩ උත්සාහයක යෙදුණු අතර, අයහපත් කාලගුණය නිසා එම කාර්යය දිගින් දිගටම ප‍්‍රමාද විය. මේ හේතුකොට ගෙන බොර තෙල් ගොඩබෑමේ කටයුතු ප‍්‍රමාද වීම වැළැක්වීම ද පිරිපහදුව ඇරඹීමේ කටයුත්ත තවදුරටත් පමාවීම වැළැක්වීම ද අත්‍යවශ්‍ය කටයුත්තක් වීම නිසා, නැවත වරක් කුඩා නැවක් මගින් බොරතෙල් ගොඩ බෑම පිණිස ජුනි මස 25 වන දින ටෙන්ඩර් කැඳවීමක් සිදුකරන ලදී. ඒ සඳහා පාර්ශ්ව දෙකක් ප‍්‍රතිචාර දැක්වූ අතර, එම පාර්ශ්ව දෙකම ටෙන්ඩර් පටිපාටි ප‍්‍රකාරව පිළිගත නොහැකි විය.


    කුඩා නැවක සේවය ලබා ගැනීම පිණිස මෙයට කලින් ජුනි මස 06 වන දින ටෙන්ඩර් කැඳවීමේදී ලංසුවක් ඉදිරිපත් කරන ලද පාර්ශ්වයක් වන ලුනා ෂිපින් ඇන්ඩ් එන්ටර්ප‍්‍රයිසස් ලිමිටඩ් ආයතනය විසින් මේ පිළිබඳ යෝජනාවක් නැවත ඉදිරිපත් කර තිබුණි. සාකච්ඡාවලින් අනතුරුව බොර තෙල් ගොඩබෑමේ කටයුතු සඳහා එම නැවේ සේවය ලබා ගැනීමට සංස්ථා පාලන අධිකාරිය තීරණය කරන ලදී. පැවැති අසාමාන්‍ය තත්ත්වය යටතේ මෙම නැවේ සේවය ටර්න් කී පදනම මත ලබා ගැනීමට ලංකා ඛනි‍ජතෙල් නීතිගත සංස්ථාවට සිදු විය. මේ වන විටත් සංස්ථාවේ ගබඩාවල තිබූ බොර තෙල් තොග අවසන්ව තිබූ බැවින් පිරිපහදුව ජුනි මස 22 වන දින වසා දැමීමට සිදු විය. පිරිපහදුව වසා දමන කාලය තුළ අතවශ්‍යයෙන් ම එහි සිදු කළ යුතුව තිබු නඩත්තු කටයුතු කරගෙන යන ලදී.


    මේ අතරතුර බෝයාවේ නළය සවිකිරීමේ දෙවනවර යෙදුණ ප‍්‍රයත්නය සාර්ථකව ජුලි මස 12 වන දින නිම කර ගත හැකි විය. ඉන් අනතුරුව බොර තෙල් ගොඩබෑමේ කටයුතු ජුලි මස 13 දින සිට නැවත ආරම්භ කර, එම කටයුතු සිදු කර ගෙන යන ලදී. නැංගුරම්ලා තිබූ බොර තෙල් නැව් 3න් 2ක් මේ වන විට ගොඩ බා නිම කර ඇත. පිරිපහදුවේ ගබඩා පහසුකම් සකස් වී ඇත්තේ දළ වශයෙන් මසකට බොර තෙල් නැව් 2ක් ගබඩා කර තබා ගැනීමටයි. එක දිගට මසක් පිරිපහදුව ක‍්‍රියාත්මක නො වූ නිසාත්, ඉතා කෙටි කාලයක් තුළ බෝයාවේ නළය සවිකිරීමේ කටයුතු නිම කර ගැනීමට නොහැකි වූ නිසාත්, නැව් දෙකක තෙල් එකවර ගොඩබෑම නිසාත් තෙල් ගබඩා පහසුකම් සම්පුර්ණයෙන් ම ඇහිරී ඇත. එබැවින්, ඉතිරි වූ නැවේ බොර තෙල් ගොඩබෑමේ කටයුතු නතර කිරීමට සිදු විය. පිරිපහදුව ක‍්‍රියාත්මක කර ගෙන යන අතරතුර ගබඩා හිස්වන ආකාරයට ඉතිරි තෙල් නැව බා ගැනීමට ද කටයුතු කරනු ඇත.


    මේ අතරතුර පිරිපහදු කරන ලද තෙල් ගොඩ බෑමට යොදා ගන්නා මුතුරාජවෙල ගබඩා සංකීර්ණයට සම්බන්ධ කර ඇති බෝයාවේ නළයක් ද ජුලි මස 04 වන දින පිපිරී ගියේය. එම නළය ද අදාළ මනුලි සමාගමෙන් මිලදී ගන්නා ලද්දකි. මේ පුපුරා ගිය නළය වෙනුවට එම සමාගමෙන්ම මිලදී ගෙන ගබඩා කර තිබූ අලුත් නළයක් සවිකිරීමේ කටයුතු නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ ද සහය ඇතිව තවමත් සිදු කෙරෙමින් පවතින අතර, මුහුදේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් නළය සවිකිරීමේ කටයුතු මේ වන විටත් නිම වී නොමැත.


    මෙම පුපුරා ගිය නළය වෙනුවට විකල්ප නළයක් ලබා ගැනීම සඳහා සිපීඑස්ටීඑල් ආයතනය අදාළ සාමාගමට දන්වා ඇති අතර යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුණහොත් අදාළ නීතිමය පියවර ගැනීමට කටයුතු කරනු ඇත.


    මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 23 (02) යටතේ ඍජුව විමසන ලද ප්‍රශ්න සහ ඒවාට අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු මෙසේය.


    01. බොර තෙල් ආනයනය කළ නැව් 06 ට ගොඩ බෑම ප‍්‍රමාද වීම නිසා ගෙවීමට සිදු වූ සහ සිදු වන ප‍්‍රමාද ගාස්තු මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද?


    බොර තෙල් ආනයනය කළ නැව් සංඛ්‍යාව 03 කි. මෙම නැව් 03හි අබුඩාබියෙන් ගෙන්වන ලද මර්බන් බොර තෙල් අඩංගුය.


    මෙයට අතිරේක වශයෙන් මැයි 25 දින බෝයාවේ නළය පිපිරී යෑම නිසා ඒ වන විට ගොඩ බාමින් තිබූ ඕමාන් එක්ස්පෝට් බ්ලෙන්ඩ් බොර තෙල් වර්ගය තිබූ නැවෙහි (සිටි එලයිට් නැව) ඉතිරි වූ බොර තෙල් ගොඩබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඊට හේතු වී ඇත්තේ දැනට වාර්තා වී ඇති ආකාරයට එම බොර තෙල් සැපයුම්කාර සමාගමත් නැව් සමාගමත් අතර නීතිමය ගැටලුවක් උද්ගතවීමයි. (අපගේ සංස්ථාව සමග නො වේ).


    කිසිදු ප‍්‍රමාද ගාස්තුවක් මේ දක්වා ගෙවා නැති අතර කිසිම සමාගමක් ද ප‍්‍රමාද ගාස්තුවක් ඉල්ලා නැත. ප‍්‍රමාද ගාස්තු පිළිබඳ නිශ්චිතභාවයකට පැමිණිය හැක්කේ මෙම සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් යටතේ පමණි. ඛනි‍ජතෙල් නීතිගත සංස්ථාවේ ස්ථාවරය වනුයේ මෙය ෆෝස් මේජර් තත්ත්වයක් (Force Majeure - සැපයුම්කරු හෝ ගැනුම්කරුගේ පාලනයෙන් බැහැර වූ තත්ත්වයක්) යන්න ය. එබැවින් ප‍්‍රමාද ගාස්තු ගෙවීමේ තත්ත්වයක් මේ දක්වා උදා වී නොමැත.


    02. ගොඩබෑමේ නළ පද්ධතිය අබලන්ව තිබියදී සහ තෙල් ගබඩා කිරීමට ඉඩකඩ ප‍්‍රමාණවත්ව නොතිබියදී බොර තෙල් ඇණවුම් කරන ලද්දේ ඇයි ?
     

    පිරිපහදුවේ සාමාන්‍ය ක‍්‍රියාකාරීත්වයත් සංස්ථාව සතු බොර තෙල් ගබඩා කිරීමේ ධාරිතාවයත් යන කරුණු දෙක සැලකිල්ලට ගෙන, අඩුම තරමින් මාස 03කට තරම් කාලයකට පෙර බොර තෙල් ඇණවුම් කරනු ලබයි. (ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලිය ඊට මාසයක් තරම් කාලයකට පෙර ඇරඹේ.) එවැනි ඉදිරි කාලයක් ඇණවුම් සඳහා ලබා දීමට සිදුව ඇත්තේ ප‍්‍රසම්පාදන ක‍්‍රියාවලි ප‍්‍රකාරව සංස්ථාවට වාසිදායක ප‍්‍රීමියම් අගයක් ද ලබා ගැනීම අරමුණු කර ගෙනය. තෙල් ඇණවුම් කරන අවස්ථාව වන විට නළ පද්ධතියත් පිරිපිහදුවේ කි‍්‍රයාවලියත් යථාතත්ත්වයෙන් පැවතුණි. හදිසි අනතුරුදායක තත්ත්වයක් කල්තබා දැන ගැනීමට හැකියාවක් ද නොමැත.


    03. සිටි එලයිට් නෞකාවේ තෙල් ගොඩබෑම සඳහා යැයි කියමින් එම නැව සමඟ එකඟතාවකට නොපැමිණ ආග්‍රොස් තෙල් නැව කුලියට ගන්නා ලද්දේ කුමක් නිසාද? එයට කොපමණ තෙල් පටවා ඇත්ද? එම නැවට ගෙවන කුලිය කොපමණද?


    ආග්‍රොස් නම් වූ කුඩා තෙල් නැව කුලියට ගැනීමට කටයුතු කරන ලද්දේ ඒ වන විට බොර තෙල් ගොඩ බෑම සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ බැවිනි. බොරතෙල් ගොඩබෑමට යොදා ගන්නා බෝයාවේ නළය සවිකිරීමේ කටයුතු සඳහා ගත වන කාලය පිළිබඳ නිශ්චිතව දිනයක් තීරණය කළ නොහැකි වූ බැවින් ද පැවැති අයහපත් කාලගුණික තත්ත්වය දිගින් දිගටම පවතින නිසා ද බොර තෙල් ගොඩබෑමේ කටයුතු කිසියම් ආකාරයකින් සිදු කරගැනීමේ අපේක්ෂාව මත මෙම ආග්‍රොස් කුඩා තෙල් නැවේ සේවය ලබා ගැනීමට තීරණය කරන ලදී. මේ අතරතුර ජුලි මස 12 දින වන විට බොර තෙල් බෑමට යොදා ගන්නා නලය සවිකිරීමේ කටයුතු සාර්ථකව අවසන් කරන ලදී. එසේ වුවත් මෙවැනි වැඩපිළිවෙළක් හදිසි අවශ්‍යතාවක් ලෙස (Stand by arrangement) සලකා ක‍්‍රියාත්මක කරන ලද්දේ බොර තෙල් බා ගැනීම තහවුරු කර ගැනීමේත්, තෙල් සැපයුම අඛණ්ඩව තහවුරු කරගැනීමේත් අපේක්ෂාවෙනි.


    සිටි එලයිට් නෞකාවේ තෙල් ගොඩ බෑම පිණිස කුඩා ආග්‍රොස් නැව කුලියට ගන්නා ලද්දේ මෙම නැව් සමාගම් දෙකේ එකඟතාව මතය. පසුව සිටි එලයිට් නෞකාවේ හිමිකාර ආයතනය සහ තෙල් සැපයුම්කාර සමාගම අතර නෛතික ගැටලුවක් මතු වීම මත එම තෙල් තොගය ගොඩ බෑමට නොහැකි විය.


    කෙසේ වුවත්, ජුලි 12 දින වන විට බෝයාවේ නලය සවි කිරීම නිසා බොර තෙල් බෑමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන බැවින්, බොර තෙල් ගොඩබෑමට අදාළ අවදානම් තත්ත්වයන් යම් තරමකින් අඩු වී ඇත. මෙම නැවේ සේවය සඳහා අදාළ වන ගාස්තු කොටස් දෙකකට අයත්ය. එනම්, නැවට අදාළ දෛනික කුලිය සහ නැවෙන් නැවට තෙල් බෑමේ වියදම යි. එබැවින්, මෙම නැව සඳහා පළමු වන කොටසට ගැනෙන වියදම් පමණක් මෙම ගැටලුවට අදාළ වේ. ඒ සඳහා දිනකට කුලිය ඇ.ඩො. 21,250 කි. මෙම නැවේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන බැවින් ජුලි 22 වන දින සිට මෙම නැව නිදහස් කර ඇත.


    04. තෙල් ගොඩබෑමට ගන්නා බෝයාව සම්බන්ධ නළ පද්ධතිය ලබා දුන් ඉතාලි සමාගමේ නෞකා ප‍්‍රමාදයට අදාළ ගාස්තු අය කර ගත නොහැක්කේ මන්ද?


    මේ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇත.


    05. කොළඹ වරාය සහ මුතුරාජවෙල නළ පද්ධතිය නිසි ලෙස නඩත්තු කිරීමේ වගකීම ඇත්තේ කාටද?


    නඩත්තු කටයුතු සිදුකරනුයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමට අයත් බද්ධ ව්‍යාපාරයක් වන සීපීඑස්ටීඑල් ආයතනය විසිනි. කොළඹ වරායේ බෝයාවේ නඩත්තු කටයුතු සීපිඑස්ටීඑල් ආයතනය මගින් සිදු කරන අතර ඒ සඳහා අදාළ වන අමතර කොටස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සැපයිය යුතුය. මුතුරාජවෙල නල පද්ධතියේ සියලු නඩත්තු කටයුතු සීපීඑස්ටීඑල් ආයතනය විසින් ම සිදු කරනු ලබයි.


    හරීන්ද්‍රනාත් චන්ද්‍රසිරි/නිරංජලා දිල්රුක්ෂි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya