අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුදල් ප‍්‍රතිපත්ති විවරණය - 2014 ජූලි

    ජූලි 15, 2014

    අඩු උද්ධමනාත්මක පරිසරය තවදුරටත් අඛණ්ඩව පවතින බව පෙන්නුම් කරමින්, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන උද්ධමනය 2012 පෙබරවාරි මාසයේ සිට වාර්තා වන අඩුම අගය 2014 ජූනි මාසයේදී වාර්තා කළ අතර වාර්ෂික සාමාන්‍ය උද්ධමනය ද අඩු වන ප‍්‍රවණතාවක් පෙන්නුම් කරන ලදී. 


    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මනිනු ලබන මතුපිට උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 3.2 සිට 2014 ජූනි මාසයේදී සියයට 2.8 ක් දක්වා පහළ ගිය අතර මූලික උද්ධමනය 2014 ජූනි මාසයේදී සියයට 3.5ක අඩු මට්ටමක පැවතුණි. එය 2014 මැයි මස පැවති සියයට 3.3ට වඩා සුළු වශයෙන් ඉහළ යෑමකි. ආහාර කාණ්ඩයේ ඇතැම් අයිතමවල මිල ඉහළ ගිය ද පසුගිය වසරේදී වාර්තා වූ අගයෙහි බලපෑම සහ ආහාර නොවන ඇතැම් භාණ්ඩවල මිල ගණන් පහළ යෑම මෙම මාසයේ අඩු උද්ධමනය සඳහා හේතු පාදක විය. කාලගුණික වෙනස්වීම් හේතුවෙන් කෘෂිකාර්මික නිෂ්පාදනවල විචලනයන් සිදු විය හැකි වුවද වසරේ ඉදිරි කාලයේ දී වාර්ෂික උද්ධමනය මධ්‍ය තනි අගයක මට්ටමේ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    විදේශීය අංශය සලකා බැලීමේදී වර්ධනය වූ කාර්මික සහ කෘෂි අපනයනවල ප‍්‍රතිඵලයක් ලෙස අපනයන ඉපැයීම්වල ඉහළ යෑම සහ ආනයන වියදම් පහළ යෑම හේතුවෙන් අඛණ්ඩ අටවන මාසයටත් වෙළෙඳ හිඟය 2014 මැයි මාසයේදී පහළ ගියේය. විදේශ සේවා නියුක්තිකයන්ගේ පේ‍්‍රෂණ සහ සංචාරක ඉපැයීම් අඛණ්ඩව වර්ධනය විය. මේ අතර රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජන සහ කොළඹ කොටස් හුවමාරුවට මෙන්ම පෞද්ගලික අංශයට ලැබුණු විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ශුද්ධ විදේශීය ගලාඒම්වල ඉහළ යෑමක් වාර්තා විය. ඉහළ විදේශ විනිමය ගලා ඒම් හේතුවෙන් 2014 ජූලි 10 වැනි දින වන විට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් එක්සත් ජනපද ඩොලර් මිලියන 735ක් පමණ දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් අවශෝෂණය කරගෙන ඇත. ‍2014 මැයි මස අවසානය වන විට දළ නිල සංචිත ප‍්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 8.8 ක ශක්තිමත් මට්ටමක පැවති අතර එය ආනයනික මාස 5.9 කට සමාන වේ. 

    2014 මැයි මාසයේදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත පුළුල් මුදල් සැපයුම (M2b)  සියයට 13ක වර්ධනයක් වාර්තා කරන ලදී. මාසය තුළදී පුළුල් මුදල් සැපයුමේ වර්ධනය සඳහා බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම්වල සිදුවූ වර්ධනය විශාල වශයෙන් දායක විය. හිතකර ප‍්‍රවණතාවක් පෙන්නුම් කරමින් රජය වෙත ලබාදුන් ණය ප‍්‍රමාණය මැයි මාසය තුළදී රුපියල් බිලියන 11.5කින් පමණ අඩු වූ අතර රාජ්‍ය සංස්ථාවලට ලබාදුන් ණය ප‍්‍රමාණයේ ද සුළු අඩුවීමක් වාර්තා විය. එසේ වුවද රන් උකස් ණය අත්තිකාරම්වල සිදුවූ අඩු වීමට සමගාමීව වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප‍්‍රමාණය පහළ යෑමේ ප‍්‍රතිඵලයක් ලෙස බැංකු අංශය මඟින් පෞද්ගලික අංශයට ලබාදුන් ණය ප‍්‍රමාණයේ වාර්ෂික ලක්ෂ්‍යමය වර්ධනය 2014 මැයි මාසයේ දී සියයට 2.2 දක්වා මන්දගාමී විය. වෙළෙඳපොළ ප‍්‍රමාණවත් ලෙස ද්‍රවශීලව පැවතීම හේතුවෙන් ණය පොලී අනුපාතිකවල සිදුවන ක‍්‍රමික හැඩගැසීම අනුව පෞද්ගලික අංශයට ලබාදෙන ණය වර්ධනයේ පවතින මන්දගාමී ස්වභාවය තාවකාලික තත්ත්වයක් වනු ඇතැයි සැලකේ. එසේම, පවතින අඩු උද්ධමනකාදී වාතාවරණය යටතේ පෞද්ගලික අංශය විසින් බැංකු ණය සඳහා කරන ඉල්ලුම තවදුරටත් දිරිගැන්වීම සඳහා පොලී අනුපාතික පරතරය තවදුරටත් අවම කරන අතරම සිය වෙළෙඳපොළ ණය පොලී අනුපාතික තවදුරටත් අඩු කිරීම සඳහා පවතින අවකාශය භාවිත කිරීමට වාණිජ බැංකු දිරිමත් කිරීම සඳහා මහ බැංකුව තවදුරටත් කටයුතු කරනු ඇත. තවද, උකස් ගනුදෙනුවල නිරතවන බලපත‍්‍රලාභී වාණිජ බැංකු සහ බලපත‍්‍රලාභී විශේෂිත බැංකුවල පාරිභෝගිකයන් සඳහා ඉහළ ණය උකස් අත්තිකාරම් ප‍්‍රමාණයක් ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 ජූනි මාසයේදී උකස් ණය අත්තිකාරම් මත බලපාන නව ණය ඇප ආවරණ යෝජනා ක‍්‍රමයක් හඳුන්වා දෙන ලදී. මෙම නව වැඩපිළිවෙළ යටතේ සිය ආර්ථික සහ ව්‍යාපාර කටයුතු සඳහා උකස් ණය අත්තිකාරම් භාවිත කරන ගොවීන්, සුළු ව්‍යාපාර හිමියන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට පහසුකම් සැලසෙනු ඇත.


     
    ඒ අතරම, මහ බැංකුවෙහි අධීක්ෂණය යටතේ පවතින බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන විසින්, පොලී ආදායම මත යැපෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අරමුණු කරගත් දීර්ඝකාලීන ප‍්‍රතිලාභ ලබාදෙන ආයෝජන උපකරණ ගණනාවක් හඳුන්වාදීමට මූලික අඩිතාලම තබා ඇති බව මහ බැංකුව සතුටින් සඳහන් කර සිටියි. 

    දිගුකාලීන අඩු උද්ධමන වාතාවරණය හමුවේ නව මූල්‍ය උපකරණ සහ යෝජනා ක‍්‍රම මඟින් ජනගහනය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසි කාණ්ඩයට අත්‍යවශ්‍ය සහනයක් ලබා දෙනු ඇත. දැනට සිදුවෙමින් පවතින වෙළෙඳපොළ ණය පොලී අනුපාතික අඛණ්ඩව පහළට නැඹුරුවීමේ ප‍්‍රතිඵලයක් ලෙස, අඩු පිරිවැය සහිතව මූල්‍ය පහසුකම් ලබා ගැනීම තුළින් අපේක්ෂිත ප‍්‍රතිඵල ආර්ථිකයේ ඵලදායී අංශ කරා සම්පූර්ණයෙන් සම්පේ‍්‍රෂණය වීමට ඇති හැකියාව පිළිබඳව ද 2014 ජූලි 11 වැනි දින පැවති රැස්වීමේදී මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළේය.


    මෙම පසුබිම යටතේ, මහ බැංකුවේ ප‍්‍රතිපත්ති පොලී අනුපාතික වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) වර්තමානයේ පවතින සියයට 6.50 සහ සියයට 8.00 මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට මුදල් මණ්ඩලය තීරණය කරන ලදී.
     

    - ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව/ ශ්‍රී ලංකා මහ බැංකුව

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya