Print this page

කිරිගව පාලනයෙන් දිවි ජයගන්නා උතුරේ කාන්තාවෝ

මාර්තු 20, 2017

කොටි ත‍්‍රස්තවාදීන් විසින් තම සැමියා ඝාතනය කිරීමත් සමඟ ස්වකීය තාරුණ්‍ය ද අනාගතය ද අහිමි වූ දහසක් වැන්දඹු කාන්තාවෝ අද උතුරු නැගෙනහිර වෙසෙති.

වසර 30 කටත් වැඩි කාලයක් ස්වකීය ස්වාමියා ද අහිමිව නොවිඳිනා දුක්විඳ යළි නැගී සිටීමට වෙර දරන කාන්තාවන් දෙදෙනෙකුගේ කතාවයි මේ.

ඇය පරමේශ්වරීය. 57 වියැතිය. ඇගේ මිතුරිය සෙල්වරාසා අන්ගෞරිය. ඇය 59 වියැතිය. අපට මේ දෙදෙනො හමුවූයේ හරියටම කිලිනොච්චියේ මුලතිව් පරන්තන් පාරේ කිලෝමීටර් 3 ක් පමණ ගිය තැන හමුවන පන්නන්කන්ඩි නම් ගමේ දී ය.

මොවුහු කිරි ගව පාලනය මගින් අද හොඳ ආදායමක් ලබමින් දරුවන්ගේ අනාගතය ද සුරක්ෂිත කර දිනකට ප‍්‍රමාණවත් ආදායමක් ලබමින් ජීවත් වෙති.

මීට අමතරව ගෙවතු වගාව, කුකුළු පාලනය, හඳුන්කූරු නිෂ්පාදනය වැනි අමතර ආදායම් උපදනවන මාර්ග වලට ද යොමු වී ඇත.

ස්වාමි පුරුෂයින් අහිමි වූ මෙබඳු කාන්තාවන් දහස් ගණනකට මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා මූල්‍ය ආධාර සපයනුයේ USAID  ආයතනයයි. මෙම වැඩසටහනේ මැදිහත්කරු ලෙස සංවර්ධන පහසුකම් සැලසීමේ ශ‍්‍රී ලංකා ආයතනය (SLCDF ක්‍රියාත්මක කරයි.

මෙහි පළමු පියවර ලෙස උසස් වර්ගයේ කිරි ගවයෝ 480 ක් ලබා දී ඇති අතර එම ගවයින් කෘතිම සිංචනයට ලක්කර තවත් 480 කට එම පැටවුන් ලබා දීමට ද කටයුතු කරමින් අඛණ්ඩව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට  SLCDF ආයතනය අදහස් කරයි.
 
USAID ආයතනය කිරි ගව පාලනය සඳහා එක පවුලකට රු. ලක්ෂයක් වියදම් කරන බවත් මේ සඳහා ප‍්‍රදේශයේ දිසාපතිතුමා, පශූ වෛද්‍යතුමා, සැලසුම් අධ්‍යක්ෂතුමා ද ඉතා සමීප කි‍්‍රයාකරුවන් බවත් SLCDF ආයතනයේ ව්‍යාපෘති නිලධාරිනී කුෂාන්ති බාලසිංහම් මෙනවිය ප‍්‍රකාශ කළාය.

 

milk 2

රංජිත් හේවාබටගේ