Print this page

රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ සංගණනය - 2016

නොවැම්බර් 15, 2016
ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින් පිළිබඳ  සංගණනය, නොවැම්බර් මස 17දා රට පුරා පැවැත්වේ. 
 
තොරතුරු රැස් කිරීමේ කටයුතු සාර්ථකව ඉටු කර ගැනීම සඳහා මෙම සංගණනය සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින්ගේ සහභාගීත්වයෙන්නොවැම්බර් මස 17දා පෙ.ව. 9:30ත් පෙ.ව.11:30ත් දක්වා කාලය තුළ සිදු කෙරේ.
 
ලංකාවේ මුල්වරට රාජ්‍ය අංශයේ සංගණනයක් පවත්වා ඇත්තේ  1968 දී වන අතර ඉන් අනතුරුව 1972, 1976 වර්ෂවලදී රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය පිළිබඳ සංගණනයන් පවත්වා ඇත. එහිදී සංගණනය සඳහා ගණන් ගැනීම සිදුකර ඇත්තේ ස්ථිර රාජ්‍ය සේවකයින් පමණක් වන අතර, එම සංගණනය පවත්වා ඇත්තේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණ සහය ඇතිව, රාජ්‍ය  පරිපාලන අමාත්‍යාංශය විසිනි. පළමු වරට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය  සේවක සංගණනයක් පවත්වා ඇත්තේ 1980 දී වන අතර, එහිදී සියලුම ස්ථිර, තාවකාලික, අනියම්, කොන්ත්‍රාත් පදනම මත, ද්විතීයික පදනම මත, දෛනික වැටුප් ලබන, ආදී  සියලු කාර්ය මණ්ඩල ගණන් ගන්නා ලදී. එතැන් සිට  1980, 1985, 1990, 1994, 1998, 2002 සහ 2006 වසර වල දී ද මෙම සංගණනය පවත්වා ඇත.  සාමාන්‍යයෙන් වසර හතරකට වරක් පැවැත්වෙන මෙම සංගණනය මෙවර පැවැත්වෙන්නේ එකොළොස්වන වරටයි.
 
මෙම සංගණනයේ අරමුණ වන්නේ සංගණන දින වන විට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය  අංශයේ සේවයේ නියුතු කාර්යය මණ්ඩලය ගණන් ගැනීම සහ එම කාර්යය මණ්ඩලය පිළිබඳව ප්‍රජා විද්‍යාත්මක, සමාජයීය සහ ආර්ථික තොරතුරු තොරතුරු රැස්කිරීමයි. මෙම තොරතුරු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ගුණාත්මක භාවය තවදුරටත් ඉහල නැංවීමට උපකාරී වේ.
මෙවර සංගණනය යටතේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ස්ථිර, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් පදනම මත සේවය කරන සියළුම සේවා නියුක්තිකයන් ප්‍රමාණය සහ ඔවුන්ගේ වයස්, ස්ත්‍රී පුරුෂ භාවයන්, වර්තමාන සේවා ස්ථානය,  තනතුර, පත්වීමට අදාළ තොරතුරු, වැටුපට අදාළ තොරතුරු,   නිවාඩු පිළිබද විස්තර,  භාෂා ප්‍රවීණතාව, අධ්‍යාපන සුදුසුකම්,  වෘත්තීය සුදුසුකම්, පදිංචිය පිළිබද විස්තර, ගමනාගමනයට අදාළ විස්තර, තොරතුරු තාක්ෂණය පිළිබඳ දැනුම,  බෝ නොවන රෝග පිළිබඳ තොරතුරු  ආදී තොරතුරු රාශියක් රැස් කෙරේ. 
 
මෙවර සංගණනය පවත්වන ක්‍රමවේදයේ වෙනස්කම්  කිහිපයක් සිදුකර ඇත. පළමු වරට රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ ආයතන පිළිබඳ විධිමත් ලැයිස්තුවක් සකස් කිරීම ඉන් එකක් වන අතර, ඒ යටතේ ආයතන 28000ක් පමණ ලැයිස්තුගත කර  ඇත. තව ද, ආයතනයට අයත් සේවකයින් පදනම් කරගෙන තොරතුරු රැස් කිරීම වෙනුවට රාජ්‍ය සේවකයින් සේවය කරන ස්ථානය පදනම් කරගෙන තොරතුරු රැස් කිරීමත්(Institutional Base vs Location Base), රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ වතු කම්කරුවන් සංගණනයට ඇතුලත් කිරීමත්, මුලු රටම ආවරණය වන පරිදි සියලුම රාජ්‍ය හා අර්ධරාජ්‍ය සේවකයින් එක් දිනක් හා එකම වෙලාවක් තුළ ගණන් ගැනීමත්, ආයතනික වත්කම් පිළිබඳ සීමිත තොරතුරු ප්‍රමාණයක් රැස් කිරීමත් ආදිය මෙවර සංගණනයේ තවත් විශේෂත්වයන් කිහිපයකි.
 
එමෙන්ම, රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයේ සේවා නියුක්තිකයින් පිළිබඳ  සංගණනයේ සියලු තොරතුරු ඇතුලත් වෙබ් පිටුවක් එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන www.statistics.gov.lk  හි ඇතුලත් කොට ඇත. එහි සංගණනය සඳහා භාවිතා කරන සියලු ලේඛනවල (ප්‍රශ්ණාවලි, උපදෙස්, කේත ලැයිස්තු ආදී) පිටපත් සහ සංගනන ප්‍රශ්ණාවලියේ සියලුම ප්‍රශ්න පිරවීම  සඳහා  උපදෙස්, ශ්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවලින්, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ඇතුලත් කොට ඇත.
 
සංගණනය පිළිබඳව එහි ඇතුලත් කොට ඇති අදාල තොරතුරු සංගණන දිනට පෙර පරිශීලනය කොට 2016 නොවැම්බර් මස 17 වන දින පෙ.ව. 9:30ත් පෙ.ව.11:30ත් දක්වා කාලය අතරතුර දි සංගණන ප්‍රශ්නාවලිය (Emp-1) නිවැරදිව සම්පූර්ණ කොට මෙම සංගණනය සාර්ථක කර ගැනීමට සහය වන ලෙස ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවා නියුක්තිකයින්ගෙන් ඉල්ලා සිටී.