අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සියවස සපුරන ටෙනිස් සංගමය ජාත්‍යන්තරයේ තවත් පියවරක

    නොවැම්බර් 04, 2015

    ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයට වසර 100 ක් පිරීමට සමගාමීව ආසියානු ටෙනිස් සංගමයේ වාර්ෂික මහා සමුළුවට සත්කාරක දායකත්වය ලබාදීමට එම සංගමය මේ වනවිට කටයුතු යොදා තිබේ.

    මෙම සුවිශේෂී සන්ධිස්ථානයට පා තබන ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය ආසියාවේ දෙවැනි පැරණිතම ටෙනිස් සංගමයද වීම විශේෂත්වයකි. එමෙන්ම ආසියානු ටෙනිස් සංගමය සිය වාර්ෂික මහා සමුළුව මෙරටදී පවත්වනු ලබන ප‍්‍රථම අවස්ථාවද මෙයයි. මෙවැනි සුවිශේෂී ඉසව්වක් මෙරටදී පැවැත්වීම මෙරට ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය සහ ආසියානු ටෙනිස් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වන පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ.

     

    ටෙනිස් ක‍්‍රීඩාව යනු මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර තරුණ පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් බවට පත්වී ඇත. මේ නිසා මෙරට තරුණ තරුණියන්ටද ටෙනිස් ක‍්‍රීඩාවට පිවිසීමේ අවස්ථා පුළුල් කිරීම මේ මොහොතේ බෙහෙවින් වැදගත් වන බව ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බින් ඉසාක් මහතා පැවසී ය.

     

    “මෑත කාලයේදී අපේ රටේ කි‍්‍රඩා ලෝලීන් බොහෝ දෙනෙක් ජාත්‍යන්තර ටෙනිස් ක‍්‍රීඩාව ගැන උනන්දු වන්නට පටන් ගෙන තිබෙනවා. ඒ වගේම තරුණ කි‍්‍රඩක කී‍්‍රඩිකාවන් බොහෝ දෙනෙකුත් මේ වනවිට ටෙනිස් ක‍්‍රීඩාවට පිවිසෙමින් සිටිනු අපට දකින්නට පුළුවන්. ඉතාමත් අපූර්ව සහ විවිධත්වයෙන් සපිරි ක‍්‍රීඩා සංස්කෘතියක් අපට තිබෙනවා. නිසි අවස්ථා සහ සහයෝගය ලබාදෙන්නේ නම් ජාත්‍යන්තර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමග කරට කර සිටින්නට අපගේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හැකියාව ලැබේවි. මෙරට පසුගිය කාලයේ පැවති ටෙනිස් තරගාවලි තුළදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් බොහෝ බලාපොරොත්තු තබාගත හැකි ආකාරයේ දස්කම් ප‍්‍රදර්ශනය කළා. පැහැදිලිවම මෙය ආරම්භයක් පමණයි.”

     

    මේ ආකාරයට ශ‍්‍රී ලංකාව තුළ ටෙනිස් ක‍්‍රීඩා සම්බන්ධ උනන්දුව ඉහළ යාම මගින් රටේ පෞද්ගලික අංශයටත් ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය සමග අත්වැල් බැඳගෙන ජාත්‍යන්තර තලයට පිවිසෙමින් රටේ ටෙනිස් ක‍්‍රීඩාව දියුණු කිරීම සඳහා දායක වීමට ස්වර්ණමය අවස්ථාවක් උදා වී ඇති බව ඉසාක් මහතා අවධාරණය කළේ ය.

     

    ශ‍්‍රී ලංකාව ටෙනිස් ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධ වීමත් සමග එය සංචාරකයන්ගේ පැමිණීම තවදුරටත් ඉහළ යාමටද හේතුවක් වනු ඇත. එය පොදුවේ ශ‍්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමටද මනා රුකුලක් වේ.

     

    මෙම සියවස් සැමරුමට සමගාමීව මෙම වසර තුළදී ටෙනිස් ක‍්‍රීඩාව ප‍්‍රචලිත කිරීම සඳහා විවිධ ක‍්‍රියාකාරකම් රැසක් සංවිධානය කිරීමටද ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය පියවර ගත්තේ ය. පසුගිය පෙබරවාරි මාසයේ සිට අඛණ්ඩව දේශීය ටෙනිස් තරගාවලි කිහිපයක් පැවැත්වීමට කටයුතු කිරීම ඒ අතරින් ප‍්‍රධාන වේ.

     

    එහි වෘත්තීය මට්ටමේ මුල් ඉසව් තුන මෙරට දක්ෂතාවලින් පිරිපුන් ක‍්‍රීඩකයන්ට සිය කුසලතා ප‍්‍රදර්ශනය කිරීමට මනා වේදිකාවක් සපයා දුන් අතර ඉන් අනතුරුව ජූලි මාසයේදී කනිෂ්ඨ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් තරග ඉසව් තුනක් පවත්වන ලදි. අවසාන වසයෙන් ඔක්තෝබර් මාසයේදී අවුරුදු 18 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙනුවෙන් පැවති ජාත්‍යන්තර ටෙනිස් සංගම් තරග ඉසව් මාලාව සාර්ථකව නිමාවට පත්විය.

     

    මෙම තරගවලට සහභාගී වීම සඳහා ජාත්‍යන්තර තරගකරුවන්, ඔවුන්ගේ දෙමාපියන් හා පුහුණුකරුවන් ඇතුළු 120 කට අධික පිරිසක් දිවයිනට පැමිණියහ. මෙය ශ‍්‍රී ලාංකික තරගකරුවන්ගේ දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමටද මහඟු අවස්ථාවක් සැපයූ අතර එය ඔවුන්ට ජාත්‍යන්තර තලයේ අත්දැකීමක් ලැබුණු අවස්ථාවක්ද විය. ටෙනිස් ක‍්‍රීඩාව ඔස්සේ මිත‍්‍රත්වය ඇතිකරගැනීම සම්බන්ධයෙන් එය නවක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ලද අපූර්ව අත්දැකීමක් ලෙසද අවිවාදයෙන් හැඳින්විය හැකි වේ.

     

    1868 වසරේදී බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන පී. එෆ්. හැඩෝ, ෆොන්බ්ලාන්ක් සහ සී. එච්. ඒ. රොස් විසින් ශ‍්‍රී ලංකාවට ටෙනිස් ක‍්‍රීඩාව හඳුන්වා දෙන ලදි. 1915 වසරේදී ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය පිහිටුවන ලද අතර එහි මුල්ම සභාපතිවරයා ලෙස කටයුතු කළේ ශ‍්‍රීමත් රොබට් චාල්ස් ආණ්ඩුකාරතුමන් ය. එදා පටන් අද දක්වා සිය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන සනිටුහන් කිරීමට ශ‍්‍රී ලංකා ටෙනිස් සංගමය සමත් වී තිබේ. මෙරට ජනතාව තුළ ටෙනිස් ක‍්‍රීඩාව සම්බන්ධ උනන්දුව කවදත් ඉහළ මට්ටමක පැවතුණු අතර 1990 වසරේදී සංගමයේ 75 වන සංවත්සරය වෙනුවෙන් ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතාගේ රජය මගින් සමරු මුද්දරයක්ද නිකුත් කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya