මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්ෂණික නූඩ්ලස්වල ඊයම් අඩංගුවීම පිළිබඳ ව ආහාර පාලන ඒකකය මඟින් ගන්නා ලද විවිධ ක‍්‍රියාමාර්ග

    ජූනි 25, 2015
    පසුගිය දිනවල මාධ්‍යයන්හි වාර්තාවූ ඉන්දියාවේ ක්ෂණික නූඩ්ලස්වල අධික ප‍්‍රමාණයෙන් ඊයම් අඩංගුවීම පිළිබඳ ව පසුගිය සති කිහිපයක කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය මඟින් ගන්නා ලද විවිධ ක‍්‍රියාමාර්ගවලට අමරතව ප‍්‍රධාන ආහාර බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (24) විශේෂ ආහාර උපදේශක කමිටු රැස්වීමේදී එම ක‍්‍රියා මාර්ග සමාලෝචනය හා පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය ඇතුළු අනෙකුත් ආයතන සම්බන්ධකර ගනිමින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
     
    මෙහිදී ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපොළේ ඇති විවිධ ක්ෂණික නූඩ්ලස් වර්ග පිළිබඳව හා ඒවායේ සම්භවය, නිෂ්පාදන ක‍්‍රියාවලිය සහ භාවිතා කරන අමුද්‍රව්‍ය ආදිය පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. ශ‍්‍රී ලංකාවට ක්ෂණික නූඩ්ලස් ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයනය නොකරන බවත් "මොනෝ සෝඩියම් ග්ලූටමේට්" නම් රසායන ද්‍රව්‍ය හැර සියළු අමුද්‍රව්‍ය ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනම බව අනාවරණය කරන ලදී. 
     
    ඊට අතිරේකව මේවන විට බලයලත් නිලධාරීන් විසින් ලබාගත් ක්ෂණික නූඩ්ල්ස් නියැදි කාර්මික තාක්ෂණ ආයතනයට යොමුකිරීමෙන් පසු ලබාගත් විශ්ලේෂණ වාර්තා ද සාකච්ඡාවට භාජනය කරන ලදී. මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂ තොරතුරු මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාගේ උපදෙස් ලබා ගන්නා ලදී.
     
    මෙහිදී අනාවරණය වූයේ දැනට විශ්ලේෂණ වාර්තා ලබාගෙන ඇති ආහාර කාණ්ඩවල අඩංගු ඊයම් ප‍්‍රමාණය විවිධ රටවල මෙවැනි ආහාර සඳහා අඩංගු විය හැකි බවට නිර්දේශ කර ඇති ඊයම් ප‍්‍රමාණයන් හා සංසන්ධනාත්මකව අඩු බවය. ආහාර උපදේශක කමිටු රැස්වීමේදී අනාවරණය වූ පරිදි ශ‍්‍රී ලංකාව සඳහා ක්ෂණික නූඩ්ලස්වල අඩංගු විය හැකි උපරිම ඊයම් ප‍්‍රමාණයක් සම්මත කර නොමැත. එමෙන්ම පහත සඳහන් රටවල මීට සමාන ආහාර සඳහා තිබිය හැකි උපරිම ඊයම් ප‍්‍රමාණය පහත දක්වා ඇත.
     
    ඉන්දියාව        - 2.5mg/Kg
    මැලේසියාව     - 2.0mg/Kg
    සිංගප්පූරුව      - 2.0mg/Kg
    ඕස්ටේ‍්‍රලියාව    - 0.3mg/Kg
     
    ශ‍්‍රී ලංකාවේ වෙළඳාමට ඉදිරිපත් කර ඇති නියැදි ලබාගෙන විශ්ලේෂණයට යවන ලද කිසිදු ක්ෂණික නූඩ්ලස් වර්ග කාණ්ඩවල විශ්ලේෂණ වාර්තා මඟින් සොයාගත් අගයන් ඉහත අවම අගය වන 0.3mg/Kg අගයක් ඉක්මවා ගොස් නොමැත. කෙසේ වුවද පාරිභෝගික සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන ශ‍්‍රී ලංකාවේ වෙළෙඳාමට ඉදිරිපත් කර ඇති සියලූම ක්ෂණික නූඩ්ලස් වර්ග පිළිබඳව පහත සඳහන් ක‍්‍රියා මාර්ග ගැනීමට ආහාර උපදේශක කමිටුව තීරණය කරන ලදී.
     
    1. ශ‍්‍රී ලංකාව ආනයනය කරනු ලබන සියලූම නූඩ්ලස් වර්ග රට තුළට ඇතුල්වීමට ප‍්‍රථම ඊයම්, රසදිය, ආසනික් හා කැඩ්මියම් යන බැර ලෝහ පරීක්ෂාවට ලක් කිරීම.
     
    2. වෙළෙඳපොළේ පවතින සියළුම වර්ගවල ක්ෂණික නූඩ්ලස් කාණ්ඩවලින් සාම්පල් ලබාගෙන ඊයම් ප‍්‍රමාණය නිශ්චය කිරීම සඳහා අදාළ රසායනාගාර වෙත යොමුකරන ලෙස නිෂ්පාදකයින් වෙත දැනුම්දීම හා එය අධීක්ෂණයට දිවයින පුරා සිටින ආහාර පනත යටතේ පත්කර ඇති නිලධාරීන් වෙත විධාන කිරීම.
     
    3. මේ අනුව විශ්ලේෂණ සඳහා රසායනාගාරවලට යොමුකරන සාම්පලවල ඊයම් ප‍්‍රමාණය 0.3mg/Kg ඉක්මවා පවතින බවට වාර්තා වන්නේ නම් වහාම එම කාණ්ඩවල ක්ෂණික නූඩ්ලස් වෙළෙඳපළින් ඉවත් කිරීමට කටයුතු කිරීම.
     
    4. පවතින තත්ත්වය සමනය වනතුරු සියලූම නූඩ්ලස් වර්ග සඳහා කරනු ලබන සියලූම වෙළඳ ප‍්‍රවර්ධන කටයුතු නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස අදාළ නිෂ්පාදකයන්ට දැනුම්දීම හා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයන් දැනුවත් කිරීම. 
       

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya