අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දියානු අතහිතෙන් බැදුණු සහෝදරත්වයේ යාත්‍රාව

    මාර්තු 16, 2015
    උතුරු - දකුණු ජනතාවගේ බිඳිණු සිත්සතන් යළි සෙනහසින් හා සහෝදරත්වයෙන් පුරවාලමින් තලෙයිමන්නාරම් තොට දක්වා වූ දුම්රිය මාර්ගය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමා විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණු අතර අද (16) සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මීට විසිපස් වසරකට පෙර මෙන් ම මාතොට බලා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කරනු ඇත.
     
    කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මාතොට බලා යන දුම්රිය සංඥාවක් මෙන් ම දුම්රිය ස්ථානයේ ඇති යකඩ කටින් ඒ පිළිබඳ පෙර දැනුම්දීමේ හඬ අවසන් වරට ඇසුණායි අනතුරුව මාතොට ජනතාවගේත් කොළඹ ජනතාවත් අතර තිබූ බැඳීම දිනෙන් දින දියාරු වූවා මිස එය දළු ලා නොවැඩුණි. නමුත් ඒ සහෝදරත්වය යළි දළු ලා ලියලන්නට වැඩි දවස් නොයනු ඇත. ඒ ඒ වෙනුවෙන් වූ මාර්ගයක් දැන් විවෘතව ඇති නිසාය. නුදුරේ දී එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට මන්නාරමේ වැසියන් දකුණට ද, දකුණේ වැසියන් මාතොටට ද නෑගම් යනු ඇත. ඒ හරහා මින් විසිපස් වසරකට පෙර තිබූ ඥාති සම්බන්ධතා දළුලා වැඩෙනු ඇත.
     
    මේ සියලු හිමිකම් අපට ලැබෙන්නේ සහෝදර ඉන්දීය රජයේ ණය ආධාර යටතේ ඉදි වූ මැදවච්චිය සිට තලෙයි මන්නාරම් තොට දක්වා වූ දුම්රිය මාර්ගය නැවත ගොඩනැගීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ සඳහා ඉන්දීය රජය විසින් රුපියල් කෝටි 2530ක් වැය කොට ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබුවේ ද ඉන්දියානු සමාගමක් වන ICRON සමාගම විසිනි.
     
    1990 වසර පමණ වන තෙක් තලෙයි මන්නාරම් තොට දක්වා දුම්රිය ගමන් කොට ඇති අතර එල්ටීටීඊ ත්‍රස්තවාදීන් විසින් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරුවා හැරීමෙන් පසු එදා මෙදා තුර දශක දෙකකට වැඩි කාලයක් තලෙයි මන්නාරම සහ කොළඹ අතර දුම්රිය ධාවනය සහමුලින් ම ඇනහිට තිබිණි. ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් දුම්රිය ධාවනය අඩාල වීම නිසා මන්නාරම් වැසියන් හා දකුණේ වැසියන් අතර තිබූ සම්බන්ධතා ටිකෙන් ටික ඈත් විය. මේ නිසා ඉන්දියාව හා ලංකාව අතර තලෙයි මන්නාරම් තොට හරහා සිදුවුණු ගමනාගමනය ද ඇනහිටියේය. ඒ හරහා සිදු වූයේ ද අති විශාල ආර්ථික පරිහානියකි.
     
    මැදවච්චියේ සිට තලෙයි මන්නාරම් තොට දක්වා වුමාර්ගයේ සියලු ම දුම්රිය ස්ථාන, පාලම් බෝක්කු හා සංඥා පද්ධති සන්නිවේදන පද්ධති සියල්ල අලුතින්ම නිම කොට ඇත. මැදවච්චියේ සිට තලෙයි මන්නාරම් තොට දක්වා දිවෙන මාර්ගය කිලෝමීටර් 106 කි. මේ මාර්ගයේ ඉදිරීම් කටයුතු අදියර දෙකක් යටතේ සිදු කොට ඇත. පළමු අදියරේ දී මැදවච්චියේ සිට මඩුපාර දක්වා මාර්ග කොටස ඉදි කොට 2013 වසරේ මැයි මස 14වන දින විවෘත කරන ලදී. එහි දුර ප්‍රමාණය කිලෝමීටර් 43 කි. මඩු පාර සිට තලෙයි මන්නාරම් තොට දක්වා වන මාර්ග කොටස දෙවන අදියර යටත් ක්‍රියාත්මක කොට ඇති අතර එහි දුර කිලෝ මීටර් 63කි.
     
    මැදවච්චියේ සිට තලෙයි මන්නාරම් තොට දක්වා ප්‍රධාන දුම්රිය ස්ථාන හා උප දුම්රිය ස්ථාන 10කි. ඒ මැදවච්චිය, සෙට්ටිකුලම, මඩුපාර, මුරුක්කන්, මනල්කුලම්, මන්නාරම, තෝට්ටවේලි, පේසාලෙයි, තලෙයි මන්නාරම හා තලෙයි මන්නාරම් තොට වශයෙනි. දුම්රිය ගමනාගමනය නැවත ආරම්භවීම හේතුවෙන් ජනතාවට ඉතා සුළු මුදලකින් ගමනා ගමන පහසුකම් ලබාගැනීමට හැකිවේ. ඒ අනුව කොළඹ සිට තලෙයි මන්නාරම් තොට දක්වා තුන්වෙනි පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 230ක් ද, දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 420ක් හා පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 740ක් ද වශයෙනි. මීට අමතර ම මැදවච්චිය සිට තලෙයි මන්නාරම් තොට දක්වා දුම්රිය බස් සේවාවන් ද ක්‍රියාත්මක වේ. 
     
    1990 වසරට පෙර තලෙයි මන්නාරම් තොට සිට නැව් මාර්ගයෙන් ඉන්දියාවේ සංචාරය කිරීමේ පහසුකම් ද තිබුණි. 
     
    ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ඉන්දියාවට දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලබාගැනීමෙන් ඉන්දියාවට ගමන් කිරීමේ පහසුකම් තිබුණි. දුම්රිය ගමනාගමනය නතරවීමත් සමග මේ සියලු පහසුකම් ද නැති වී ගියේය. මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ පළමු සංඥාවෙන් ඇරඹි තලෙයිමන්නාරම් තොට සිට දුම්රිය ගමනාගමනය හරහා අතීතයේ දී මෙන් ම ඒ සියලු දේ නුදුරේ දී ම අප සතු වනු ඇත.
     
    දුම්රිය ගමනාගමනය පමණක් නොව බෝට්ටු සේවාවන් ද නැවත ආරම්භ කළ යුතුය. ඒ හරහා විශාල ආදායමක් ලැබෙනවා පමණක් නොව නව රැකියා අවස්ථාවන් ඇතිවීම හරහා එහි ජනතාවගේ ජීවන තත්ත්වය ද උසස් වන බව මෙම මංගල දුම්රිය ගමන නැරඹීමට පැමිණ සිටි මන්නාරම් වැසියෙක් අප සමඟ පැවසීය. 
     
    දශක දෙකකට අධික කාලයක් ත්‍රස්තවාදීන්ගෙන් මෙන් ම ආර්ථික යුද්ධයෙනුත් බැට කෑ මන්නාරම් ජනතාව මේ සියලු දේ සමඟ යළි පැරැණි වෘත්තීන්ට අවතීර්ණ වනු ඇත.
     
    තලෙයි මන්නාරම මාර්ගය විවෘත වීම කිතුනු බැතිමතුන් ලද විශාල ජයග්‍රහණයක් ද වනු ඇත. මඩු වන්දනාවේ යන බැතිමතුන්ට ‘මඩු පාර’ දුම්රිය ස්ථානය දක්වා දුම්රිය මඟින් ගමන් පහසුකම් සලසා ගත හැකි වනු ඇත. 
     
    ඉන්දියානු අතහිතෙන් බැදුණු සහෝදරත්වයේ යාත්‍රාව අද සිට මාතොටින් ගමන් ආරම්භ කොට කලපු, සුන්දර වන වදුල් සිපගනිමින් කොළොම් තොට දක්වා පියනගනු ඇත. ඒ සහෝදරත්වයෙන් පා පහසින් මාතොට වැසියන්ගේ මුවග කඳුළු සිඳී සිනහවක් ම නැඟේවා.
     
    - දිල්හාර බණ්ඩාර - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya