අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශපාලන මෙහෙයවීමෙන් තොරව පුත්තලම දිස්ත්‍රික්කය එල්ලේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණ අත් කරගෙන තියෙනවා

    අගෝස්තු 22, 2014

    එල්ලේ ක්‍රීඩාවට පුත්තලම් දිස්ත්‍රික්කයේ පිරිමි රන් පදක්කම අරගෙන තියනවා. කාන්තා රිදී පදක්කම අරගෙන තියනවා. දේශපාලන නායකත්වයෙන් තොරව ඒ ජයග්‍රහණ ලබාගත් බව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 
     
    අමාත්‍යවරයා  මේ බව පැවසුවේ, ඊයේ (21) වයඹ පළාත් සභාවේ පැවති වයඹ පළාත් එල්ලේ  සම්මේලනය පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
     

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අද දවසේ අපි විශේෂ කාර්යයක් විදියට වයඹ පළාතේ එල්ලේ සංගමය පිහිටුවනවා. මේ සංගමය පළාත් මට්ටමින් පිහිටුවන්න යෝෂිත රාජපක්ෂ මහතා අපට ආරාධනා කළා. ඒ වෙනුවෙන් ක්‍රීඩා ලේකම්වරයාත්,  සන්ධ්‍ය කුමාර අමාත්‍යවරයාත්, අපිට විශාල ශක්තියක් දෙනවා. අනාගතයේ විශාල වැඩකොටසක් කරන්න කටයුතු කරනවා. ක්‍රීඩා සංගම්වලට දේශපාලන නායකත්වය දෙන එක ගැන අපි කතාකරා. මට තනතුරු ගන්න උවමනාවක් නෑ. වැඩ කරන්නයි ඕනේ. දේශපාලන අධිකාරිය විදියට අපිට පුළුවන් අවශ්‍ය උපකරණ අරන් දීලා තමුන්නාන්සේලා එක්ක ඉදිරියට ගිහින් ඒ වෙනුවෙන් ශක්තිය දෙන්න. මමත් කුඩා කාලයේ එල්ලේ ක්‍රීඩා කරා. අවුරුදු ක්‍රීඩාවක් ලෙසත් එල්ලේ ක්‍රීඩාව ප්‍රචලිතයි.  එල්ලේ ගැන කතා කරන කොට වල්ටි රේමන් වැනි අමතක නොවන චරිත අපිට මතක් වෙනවා. එදා රටක් වශයෙන් ජාත්‍යන්තරේ අපි ජනප්‍රිය නැති වුණාට රට ඇතුළේ එල්ලේ ක්‍රීඩාවෙන් අපි ජනප්‍රිය වුණා. ඒ වගේම ක්‍රීඩාවේ නව නැම්මක් ඇති කරන්න අපි කටයුතු කරනවා.  
     
     
    ජනාධිපතිතුමාගේ මෙහෙයවීම පරිදි අපි වයඹ පළාතේ ක්‍රීඩා සංකීර්ණය ඉදිකරනවා. කුරුණෑගල අටමුනේ ප්‍රදේශයේ අක්කර 16ක මෙය ඉදිවෙනවා. ඒ වගේම මහින්දානන්ද අලුත්ගමගේ  අමාත්‍යවරයා පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක් ලබා දෙන්න කටයුතු කරලා තියනවා. ඒ වගේම අනාගතයේ ක්‍රීඩාවට සම්බන්ධ වන දරුවන්ට විශේෂ ලකුණු ක්‍රමයක් හඳුන්වාදෙන්න කටයුතු කරනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ පමණක් නොවෙයි විශ්වවිද්‍යාලය දක්වා ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක කරනවා. එවිට දැවැන්ත ලෙස දරුවන් ක්‍රීඩාවට යොමුවෙනවා. විශේෂයෙන් CSN නාලිකාව ගැන කියනවා නම් වොලි බෝල්, රගර්, කබඩි වගේ සමස්ත ක්‍රීඩාවකට ම ප්‍රචාරය ලබා දෙනවා. පසුගිය ඉතිහාසයේ අති දැවැන්ත පිබිදීමක් ක්‍රීඩා ක්‍ෂේත්‍රයට ගෙනල්ලා තියනවා. ක්‍රීඩා නිලධාරීන් එල්ලේ ක්‍රීඩාව ගැන විශේෂ සාකච්ඡාවක් තියලා මේ පළාතේ දියුණුවට ක්‍රීඩාව  යොදවන්න. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක ම  එල්ලේ සංගම් පිහිටුවලා වයඹ තරග පවත්වලා ජාතික ක්‍රීඩාවලට තල්ලු කරන සංචිතයක් හදන්න. අපි සියලුදෙනාට එකතුවෙලා මේ ක්‍රීඩාව හොඳ ක්‍රීඩාවක් බවට පළාත තුළ පත් කර ගන්නට හැකියාව, ශක්තිය,  ‍‍ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරණවා. “

    මෙහිදී  ශ්‍රී ලංකා එල්ලේ සංගමයේ ලේකම් සිරිපාල  රණසිංහ මහතා ද අදහස් දැක්විය.
     
    මෙම අවස්ථාවට වයඹ පළාත් පරිවාස හා ළමාරක්ෂක අමාත්‍ය සන්ධ්‍ය කුමාර රාජපක්ෂ, වයඹ ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් පී. බී. එම් සිරිසේන, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ටී.බී. වික්‍රමසිංහ, ශ්‍රී ලංකා එල්ලේ සංගමයේ ලේකම් සිරිපාල රණසිංහ, වයඹ පළාත් එල්ලේ සංගමයේ ලේකම් විපුලසිරි  සිල්වා, ක්‍රීඩා නිලධාරීන් ඇතුළු පිරිසක් අහභාගී වූහ.

    ECB/DM_cmu
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya