අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැඟුම 6 වන අදියරට පොකුණු 1000ක මසුන් තැන්පත් කිරීම අරඹනවා

    ඔක්තෝබර් 31, 2014

    දිවි නැඟුම ව්‍යාපෘතියට සුවිසල් දායකත්වයක් ධීවර අමාත්‍යාංශයෙන් ලබා දෙන අතර මේ යටතේ ධීවර ක්ෂේත‍්‍රයේ ස්වයංරැකියා සඳහා පුහුණුව මෙන් ම මූල්‍ය ආධාරත් ලබාදුන් බවත් දිවි නැඟුම 6 වන අදියර යටතේ රටපුරා පිහිටි පොකුණු 1000ක මසුන් තැන්පත් කිරීම ආරම්භ කරන බවත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා බේරුවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

    දිවි නැඟුම වැඩසටහනට ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන්නේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයයි. මේ යටතේ ගෙවීගිය කාලයේ ධීවර ව්‍යාපෘති රාශියක් ක‍්‍රියාත්මක කරනු ලැබීය. දිවි නැඟුම 6 වැනි අදියරේ ජාතික වැඩසටහනට සමගාමීව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය රට පුරා දිස්ත‍්‍රික්ක 8ක පොකුණු 1000ක මසුන් තැන්පත් කිරීම සිදු කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.

    ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි රට පුරා ම එක විට ක‍්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල යටතේ අලුතින් තනන ලද මසුන් වගාකරන පොකුණුවල හා දැනටමත් ක‍්‍රියාත්මකව පවතින මත්ස්‍ය වගා පොකුණුවල මෙම මත්ස්‍ය පැටවුන් තැන්පත් කෙරේ.

    මෙම වැඩසටහන යටතේ බස්නාහිර පළාතේ කොළඹ පොකුණු 20ක, ගම්පහ 175ක, කළුතර 70ක ද, දකුණු පළාතේ ගාල්ල පොකුණු 25 ක ද, මාතර 25ක, හම්බන්තොට 40ක ද, මධ්‍යම පළාතේ මහනුවර පොකුණු 100ක, මාතලේ 130ක, නුවරඑළිය 100ක ද, උතුරු මැද පළාතේ අනුරාධපුර පොකුණු 40ක, පොලොන්නරුව 40ක ද, වයඹ පළාතේ කුරුණෑගල 30ක, පුත්තලම 75ක ද මසුන් තැන්පත් කරනු ඇත.

    ඌව පළාතේ බදුල්ල පොකුණු 30ක, මොනරාගල 30ක ද, සබරගමුව පළාතේ කෑගල්ල පොකුණු 30ක, රත්නපුර 30ක ද, නැගෙනහිර පළාතේ අම්පාර පොකුණු 60ක, මඩකළපුව 25ක හා ත‍්‍රීකුණාමලය 25ක ද මසුන් තැන්පත් කෙරේ. මේ සඳහා රුපියල් මිලියන 50ක් වෙන්කර තිබේ.

    මෙහිදී අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය. මේ දිවි නැඟුම වැඩසටහන හැදුවේ ඔබේ ජීවන මග දියුණු කිරීමටයි. අපේ රජය මේ රටේ දැවැන්ත යෝජනා ක‍්‍රම ආරම්භ කළා. වරායවල්, ගුවන්තොටුපොළවල්, තාප බලාගාර, අධිවේගී මාර්ග, මහා දැවැන්ත වාරි යෝජනාක‍්‍රම ආරම්භ කළා. ඒවා හදන්නේ තව අවුරුදු දහස් ගණනකටයි.  2012 වසරේ  එක ග‍්‍රාම නිලධාරී කොට්ඨාසයකින් පවුල් 100ක් තෝරාගෙන දිවි නැඟුම ආරම්භ කළේ. 2013දී රජය තීන්දු කළා මේ දිවි නැඟුම දිළිඳු කට්ටියට විතරක් නෙවෙයි මධ්‍යම පාන්තිකයන්ටත් දෙනවා. ඊට පස්සේ ණය යෝජනා ක‍්‍රමත් මේ හරහා දෙනවා. ඒ නිසා මෙය තවත් පුළුල් කළා. මේ දිවි නැඟුමෙන් අපි ධීවර කර්මාන්තය 25%ක් කළා. දිවි නැගුමේ සාර්ථකම ව්‍යාපෘතිය ධීවර කර්මාන්තයයි. මේ නිසා මේ රටට ගේන උම්බලකඩ ප‍්‍රමාණය 50%කින් විතර අඩුකර ගන්න හැකිවුණා. අපේ රටට ගේන කරවල ප‍්‍රමාණය 26%කින් අඩුකර ගන්න හැකිවුණා. ඒ මොකද ගෘහ කර්මාන්තයක් විදියට කරවල, උම්බලකඩ, ජාඩි හදන්න පටන් ගත්තා.

     දිවි නැඟුමත්, ධීවර අමාත්‍යාංශයත් එක්වෙලා විසිතුරු මසුන් හදනවා. ගිය වසරේ විසිතුරු මසුන් අපනයනය රු. බිලියනය පහුකළා. ඒ අපනයනයට වැඩි ම මාළු සපයන්නේ මේ කළුතර දිස්ත‍්‍රික්කයෙන්. හොරණ කාන්තාවක් විසිතුරු මසුන් අපනයනයෙන් රු. ලක්‍ෂ 1 1/2ක් මාසයකට උපයනවා. ඔබ මතක තියාගන්න මේකෙන් ලබන ආදායම ඉමක් කොනක් නැහැ.
       
    අපි වෙන ම ස්වයංරැකියා වැඩසටහනක් මේ ආසනයේ ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා ලංකා කාර්මික තාක්ෂණ ආයතනය මඟින් අවශ්‍ය දැනුම ලබාදෙනවා යැයි ඔහු පැවසීය.
       
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya