මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුළු දිවයිනේ ම බස් නැවතුම් පර්යන්ත එක ම සැලැස්මකට අනුව ස්ථාපිත කිරීමට පියවර

    ඔක්තෝබර් 24, 2014

    මුළු දිවයින ම ආවරණය වන පරිදි බස් නැවතුම් පර්යන්ත එක ම සැලැස්මකට අනුව ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසයි.


    ඊයේ (23) පෙරවරුවේ කොළඹ පැවති පළාත් ප‍්‍රවාහන අමාත්‍යවරුන්ගේ සමුළුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.


     
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා බස් නැවතුම් ස්ථානද එක ම සැලැස්මකට අනුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ඉදිකෙරෙන බස් පර්යන්ත උප තැපැල් කාර්යාලයක්, සන්නිවේදන මධ්‍යස්ථානයක්, පොලිස් මුරපොළක්, මගී විවේකාගාරයක් හා බැංකු පහසුකම්වලින් සමන්විත වේ. පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරී කාර්යාලයන්හී පාලන මැදිරි ස්ථාපිත කෙරෙන අතර ඒවා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ප‍්‍රධාන පාලන මැදිරිය සමඟ සම්බන්ධ කෙරේ. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම හා යටිතල පහසුකම් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සපයනු ඇත.


     පාසල් ප‍්‍රවාහන සේවාව සඳහා කි‍්‍රයාත්මක සිසු සැරිය පාසල් බස් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීම සඳහා 2015 වසරේදී අමතර මිලියන 100ක් රජය මගින් ලබා දී ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය. 


     
    මෙම අවස්ථාවට එක් වූ දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා තම පළාත තුළ ඒකාබද්ධ කාලසටහන් සාර්ථක ව කි‍්‍රයාත්මක වන බවත්, එබැවින් මගී ප‍්‍රවාහන ක්‍ෂේත‍්‍රයේ ගැටලු අවම වී ඇති බවත් කීය.




    සිසු සැරිය පාසල් බස් රථ සේවාව වයඹ පළාත තුළ සාර්ථක ව කි‍්‍රයාත්මක වන බැවින් නව සිසු සැරිය බස් රථ සේවා තම පළාත තුළ කි‍්‍රයාත්මක කිරීමට අවස්ථාව ලබාදෙන මෙන් වයඹ පළාත් ප‍්‍රවාහන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා මෙහිදී ඉල්ලා සිටින ලදී.


    උතුරු මැද පළාත් ප‍්‍රවාහන අමාත්‍ය එච්.බී. සේමසිංහ මහතා අදහස් දක්වමින් දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපනශාලා පිළිබඳ ව සෑහීමකට පත්විය නොහැකි බැවින් ඒවා විධිමත් කිරීමේ වැඩපිළිවෙළක් කඩිනමින් දියත් කළ යුතු බව කීය. පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න මහතා අදහස් දක්වමින් ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් රට තුළ ස්ථාපිත කිරීම සඳහා අමාත්‍යාංශය වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කර ඇති බවත්, එය සාර්ථක කර ගැනීම සඳහා පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීන්හී සහාය අත්‍යාවශය බවත් කීය. 


     මෙහිදි අදහස් දැක් වු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රේණුක දුශ්‍යන්ත පෙරේරා මහතා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින් සිසු සැරිය, ගැමි සැරිය හා නිසි සැරිය ප‍්‍රවාහන සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බව කීය. 
    පෞද්ගලික බස් රථ සඳහා අමතර කොටස් සහනදායී මිලකට ලබාදීම, බස් රථ මිලදී ගැනීමේදී මුල්‍ය ආයතනන මඟින් අය කරන පොලී අනුපාතය අඩුකර ගැනීමට කටයුතු කිරීම, බස් රථ නැවතුම්පළවල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ඒකාබද්ධ කාලසටහන කි‍්‍රයාත්මක කිරීම, රියැදුරු කොන්දොස්තර පුහුණුව ආදි කරුණු රැසක් පිළිබඳ ව මෙහිදී අවධානය යොමු කෙරිණ. ගුණාත්මක මගී ප‍්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී ගනු ලබන තීරණ ජනාධිපතිතුමා වෙත යොමු කිරීමට පියවර ගැනේ.



    මෙම අවස්ථාවට පළාත් ප‍්‍රවාහන අමාත්‍යාංශයන්හී ලේකම්වරුන්, පළාත් මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරීන්හී සභාපතිවරුන් හා සාමාන්‍යාධිකාරීවරුන්, උතුරු පළාත් දිසා ලේකම් කාර්යාලයන්හී නියෝජිතයින්ද, පුද්ගලික ප‍්‍රවාහන සේවා අමාත්‍යාංශයේ හා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීහු පිරිසක් ද එක් ව සිටියහ.



    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya