අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දෙන් පසු වාහන සංදර්ශනකරුවන් පැදුරටත් නොකියා 21දා ඌවෙන් පිටවෙනවා

    සැප්තැම්බර් 15, 2014

    ඡන්දෙන් පසු වාහන සංදර්ශනකරුවන් පැදුරටත් නොකියා 21දා ඌවෙන් පිටවන බව ජනතාව හඳුනාගෙන ඇති බවත් ඒ නිසා ඌව පළාත් සභා මැතිවරණයට විපක්ෂය පවත්වන වාහන සංදර්ශනය ඌවේ ජනතාව දැනටමත් ප‍්‍රතික්ෂේප කර තිබෙන බවත් ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසීය. 


    අමාත්‍යතුමා මේ බව පැවසුවේ ඌව පළාත් මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග‍්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ බදුල්ල දිස්ත‍්‍රික් මැතිවරණ ප‍්‍රචාරක රැළියකට සහභාගී වෙමිනි. බදුල්ල 2 කණුව ප‍්‍රදේශයේ ඊයේ (14) පැවති මෙම අවස්ථාවට වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා, වයඹ ප‍්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    දේශපාලනය කරනවා කියන්නේ කළකිරීම් ඇති වෙනවා කියන එක තමයි. සියලු දේ හරියට වෙනවා නම් එතන දේශපාලනය ඉතුරු වෙන්න බැහැ. නමුත් බදුල්ල ගත්තොත් ඓතිහාසිකව විශාල අසාධාරණකම්වලට ලක් වුණ තැනක්. මේ ප‍්‍රදේශයේ මංමාවත්, නළ ජලය, මහ රෝහලේ ඉඳලා විශාල වැඩ කොටසක් අපේ ආණ්ඩුව කරලා තියෙනවා. මේ විශාල වැඩ කොටස කොයි වෙලාවකවත් තමුන්නාන්සේලා අවතක්සේරු කරන්න එපා යැයි ද අමාත්‍යතුමා පැවසීය.

     

    මීට දශක කීපයක සංවර්ධනය පිළිබඳ ව සලකා බලන විට බදුල්ල දිස්ත‍්‍රික්කයේ මාර්ග අබලන් ව පැවති බවත් අඩු පහසුකම් තිබුණ දිස්ත‍්‍රික්කයක් ලෙස සැලකූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලෙඩක් සඳහා විශේෂඥ වෛද්‍යවරයකු මුණගැසීමට අවශ්‍ය වූ විට නුවර යෑමට සිදු වූ බවත් පැවසීය. අද එය වෙනස් කර ඇත. අංග සම්පූර්ණ හෘද ඒකකයක්, පිළිකා සඳහා ප‍්‍රතිතාර ගැනීමට අවශ්‍ය ඒකකයක් අතුළු සියලු පහසුකම් බදුල්ල මහ රෝහලේ පවතින බව පෙන්වා දුන් ඔහු රජයේ කාර්යාල බොහොමයක් අංග සම්පූර්ණ ව තිබෙන බවත් අතුරු මාර්ග බොහොමයක් සංවර්ධනය කර තිබෙන බවත් කීය. නමුත් තව සංවර්ධනය කළ යුතු අංශ තිබේ. එක දවසකින් ලෝකේ අවසන් වෙන්නෙත් නැහැ, වැඩ ඉවර කරන්නත් බැහැ. ඒවා කළමනාකරණ ප‍්‍රශ්නයි. ඒවා විසඳගන්නත් අවශ්‍ය යැයි ද එතුමා පෙන්වා දුන්නේය.  

     

    සංවර්ධන ක‍්‍රියාවලියේ ප‍්‍රතිලාභ ජනතාවට ලැබෙන නිසා ගම්බද ජනතාව රජය කරන මහා පරිමාණ වැඩ ගැන ප‍්‍රසාදයකින් සිටී. රැකියා ගැටලු යම් ප‍්‍රමාණයකට තිබෙන බවත් අධ්‍යාපනය නිමකරන සියලු දෙනා රජයේ රැකියාවක් ලැබිය යුතුයි කියා විශ්වාස කරන නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇත. බදුල්ල දිස්ත‍්‍රික්කයේ සෑම කෙනෙකුගේ ම විශ්වාසය එය බවට පත් වී තිබෙන බවත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යතුමා ඒ අරමුණ තවත් වැඩි කර තිබෙන බවත් ඔහු කීය. බදුල්ලේ සෑම නිවසකට ම රැකියාවක් ලබාදී පවුලේ ආර්ථිකය ශක්තිමත් කිරීමට නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා කටයුතු කර තිබේ. රජයේ සෑම ප‍්‍රතිලාභයක් ම අනෙක් දිස්ත‍්‍රික්කවලට වඩා වැඩි ප‍්‍රමාණයෙන් බදුල්ලට ලැබී ඇත. විපක්ෂය නඟන බොරු චෝදනා ජනතාව පිළිනොගන්නා බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය. 

    රටක් නව රැකියා උත්පාදන කිරීමට නම් ආර්ථික වශයෙන් ඉහළ යා යුතුයි. රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය වන්නේ ආර්ථික වශයෙන් ඉහළ වර්ධනයක් ළඟා කර ගැනීමයි. ඒ සඳහා ශක්තිමත් ජනතා විශ්වාසයක් ගොඩනැගී ඇත. සෑම විට ම ජනතාව රජයේ ප‍්‍රතිපත්තිය විශ්වාස කර තිබෙන අතර එය ඌව පළාත් සභා මැතිවරණයෙන් ද ලොවට පෙන්වා දිය යුතු බව අමාත්‍යතුමා තවදුරටත් පැවසීය. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya