මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔයාමඩුවේ දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියට වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක්

    ජූලි 16, 2014
    අනුරාධපුර, ඔයාමඩුවේ පැවති දැයට කිරුළ ප‍්‍රදර්ශන භූමියේ අක්කර 25ක වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ඉදිකිරීම් කටයුතු ඇරඹීමට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා සමඟ අද (16) උතුරු පළාත් සභා ශ‍්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවක දී එකඟතාව පළ වූ බව උතුරු මැද පළාත් සභාව පවසයි.

    මෙම වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීම පිළිබඳව ප‍්‍රදේශයේ ඇතැම් දේශපාලඥයන් හා සමහර ගම්වාසිහු පසුගිය කාලයේ දැඩි විරෝධතාවක් දැක්වූහ. උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීමෙන් පරිසරයට හෝ ප‍්‍රදේශයට කිසිදු හානියක් සිදු නොවන බවට දිගින් දිගටම රජය හා ජනතාව දැනුවත් කළේය.

     

    ඒ අනුව වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඉදිකිරීමට එරෙහිව විටින් විට උද්ඝෝෂණ හා විරෝධතා දැක්වූ ප‍්‍රදේශවාසීන් සමඟත් තන්තිරිමලේ රාජමහා විහාරස්ථානාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ද අන්‍ය ආගමික පූජකවරු ද මධ්‍යම නුවරගම් පළාත් ප‍්‍රාදේශීය සභාවේ සභාපති පි.බී.එන්. ජයසුන්දර මහතා ප‍්‍රමුඛ දේශපාලන අධිකාරියද මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    මෙහිදි අදහස් දැක්වූ ප‍්‍රධාන අමාත්‍යවරයා, දැයට කිරුළ භූමියේ වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීම සඳහා ආරක්‍ෂක අමාත්‍යාංශය හා පරිසර අමාත්‍යාංශය අවසර දී තිබුණි. මෙම කර්මාන්ත ශාලාව ඇරඹීමෙන් පරිසරයට හෝ මිනිස් ජීවිතවලට කිසිදු හානියක් තර්ජනයක් වෙන්නේ නැහැ. එසේ වෙනවා නම් පළමුවෙන්ම විරුද්ධ වෙන්නේ තමා බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

     

    කර්මාන්ත ශාලාව ඇරඹීමෙන් ප‍්‍රදේශයේ දෙදහසකට පමණ රැකියා අවස්ථා උදාවන බව සිහිපත් කළ අමාත්‍යවරයා ගමට ප‍්‍රදේශයට රටට යහපතක් වන හැම අවස්ථාවකදීම ඇතැමුන් විරෝධතා දැක්වීම පුරුද්දක් කරගෙන සිටින බව කීය. ප‍්‍රදේශයේ විරෝධතා දැක්වූ ජනතාව සත්‍ය අවබෝධ කොට ගෙන මෙම වෙඩි බෙහෙත් නිෂ්පාදන කර්මාන්ත ශාලාව අරඹන ලෙස ඉල්ලා සිටීම ඉතා අගය කරන බවද ඔහු පැවසීය. 

     

    මෙම කර්මාන්ත ශාලාව හැකි පමණ කඩිනමින් ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සාකච්ඡාව අවසානයේ දී ප‍්‍රධාන අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය.

     

    මෙහිදී අදහස් දැක්වූ තන්තිරිමලේ රාජමහා විහාරස්ථානාධිපති තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියෝ, මේ කර්මාන්ත ශාලාව ඇරඹීමට තීරණය කිරීම විලච්චිය ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ජනතාව ලැබූ දැවන්ත ජයග‍්‍රහණයක් බව ප්‍රකාශ කළහ. කර්මාන්ත ශාලාවෙන් ප‍්‍රදේශයේ දුගී දුප්පත් ජනතාවට රැකියා අවස්ථා උදාවෙනවා. රටේ සංවර්ධනයට මහා දායකත්වයක් ලැබෙනවා. උතුරු මැද ප‍්‍රධාන අමාත්‍යතුමා ප‍්‍රමුඛ දේශපාලන අධිකාරිය කර්මාන්ත ශාලාව ඇරඹීමට තීරණය කිරීම පිළිබඳ ප‍්‍රදේශයේ මහා සංඝරත්නය ආශිර්වාද කරනවා යැයි සඳහන් කළහ.

     

    මෙහිදී අදහස් දැක්වූ ප‍්‍රාදේශීය සභා සභාපති පි.බී.එන්. ජයසුන්දර මහතා පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාව පිහිටුවීමෙන් කිසිදු අකටයුත්තක් සිදුවන්නේ නැති බවත් ප‍්‍රදේශවාසීන්ට රැකියා අවස්ථා ලැබී ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් වීමට හේතු වන බවයි. පරිසර විනාශයක් හෝ තර්ජනයක් සිදුවෙනවා නම් පළමුවෙන්ම තමා ඊට විරුද්ධ වන බවත් ඔහු කීය. 

     

    මෙහිදී අදහස් දැක්වූ මධ්‍යම නුවරගම් පළාත් විපක්‍ෂ මන්ත‍්‍රී අනුර බණ්ඩාර මහතා, මෙම වෙඩි බෙහෙත් කර්මාන්ත ශාලාව ඉදිකිරීම පිළිබඳව ප‍්‍රබලව විරෝධතාව දැක්වීමට සිදු වූයේ ප‍්‍රදේශවාසි අප, වෙනත් වෙඩි බෙහෙත් කර්මාන්තශාලා හිමිකරුවන් විසින් ප‍්‍රයෝගයෙන් නොමග යැවීම නිසා බව ප්‍රකාශ කරන ලදී.

    අද වන විට අපට සත්‍ය අවබෝධ කැර ගත හැකි වී තිබෙනවා. යෝජිත කර්මාන්ත ශාලාව 
    ඉදිකිරීමෙන් ප‍්‍රදේශවාසීන්ට යහපතක් සිදුවෙනවා. මින් කිසිදු හානියක් සිදු නොවන බැවින් කඩිනමින් මෙම කර්මාන්ත ශාලාව ඇරඹීමට පියවර ගන්නා ලෙස ප‍්‍රධාන අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය. 

     

    NDH/HC

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya