මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දළඳා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ල පූජා කෙරේ

    ජනවාරි 25, 2017
    මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ ඉදි කරන ලද බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණයේ පළමු අදියර දළදා මාළිගාවට උරුම කොට  පූජා කිරීම අද (25) මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ දී මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 
     
    මිලියන 37ක් වැය කොට ඉදි කරන ලද මෙම ගොඩනැගිල්ල සඳහා රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික ධන පරිත්‍යාගයන් ද ලබා දී තිබේ. බහුකාර්ය ගොඩනැගිල්ල දළදා මාළිගාවට උරුම කොට පූජා කිරීමේ අවස්ථාවෙන් අනතුරුව එහි දෙවැනි අදියර සඳහා මුල්ගල් තැබීම ද මෙහිදී සිදුවිය.
     
    දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍ය සහ වාර්ෂිකව පැවැත්වෙන විවිධ මංගල්‍යයන් සඳහා පැමිණෙන කලා ශිල්පීන් ඇතුළු විවිධ රාජකාරී සඳහා පැමිණෙන සේවකයන්ගේ අවශ්‍යතා සඳහා  ප්‍රමාණවත් පහසුකම් නොවූයෙන් ඊට විසඳුමක් ලෙස මෙම බහුකාර්යය ගොඩනැගිල්ල ඉදි කොට තිබේ. අද දින දළදා මාළිගාවට පූජා කළ මෙම ගොඩනැගිල්ල නිසා මෙතෙක් පැවති කලා ශිල්පීන්ට පැවති බොහෝ අපහසුතා ඉවත් කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඉදිකිරීමට යෝජිත බහුකාර්ය ගොඩනැගිල්ලේ දෙවැනි අදියර සඳහා තවත් මිලියන 35 කට ආසන්න මුදලක් වැය කිරීමට මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය මගින් කටයුතු යොදා තිබේ.
     
    උත්සව සභාව ඇමතූ පාඨලී චමිපික රණවක අමාත්‍යවරයා පැවසුවේ ශ්‍රී දළදා මාළිගාව පමණක් නොව දළදාව වැඩ සිටින මහනුවර නගරය සංවර්ධනය කිරීම සඳහා මෙම වසරේ දී තවත් දස ලක්ෂ පහලොස්දහසක මුදලක් වැය කිරීමට කටයුතු යොදා ඇති බවයි. එම වැඩසටහනට ලංකාවේ  ඉදිකරන ප්‍රථම බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ද ඇතුළත් බව පැවසූ අමාත්‍යවරයා ජලාපවාහන සහ මළාපවාහන කටයුතු සංවර්ධනය කිරීම ද එම සැලසුම්වලට අයත් බව පැවසීය.
     
    මීට අමතරව අනුරාධපුරයේ අටමස්ථානය, කතරගම කිරිවෙහෙර ආශ්‍රිත ප්‍රදේශ ආගමික සහ සංචාරකමය වශයෙන් දියුණු කිරීමට කටයුතු සැලසුම් කොට අවසන් බව පැවසූ අමාත්‍යවරයා, යාපනය උපාය මාර්ගික නගරයක් බවට පත් කිරීමට ද තම අමාත්‍යංශය මගින් ඉදිරියේදී කටයුතු යොදන බව පැවසීය. 
     
    මෙම අවස්ථාව සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සහ සිව් මහා දේවාලවල බස්නායක නිලමේවරුන් ඇතුළු තවත් පිරිසක් ද සහභාගි වූහ. ජාතික ඉංජිනේරු සංස්ථාවේ මෙහෙයවීම මත ශ්‍රී ලංකා නාවුක හමුදාවේ ද සහයෝගයෙන් මෙහි ඉදි කිරීම් සිදු කර තිබේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya