අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දරුවන්ට පාසල් අධ්‍යාපනය සමඟ දහම් අධ්‍යාපනය ලබා දීම වැදගත් - අමාත්‍ය රාජිත සේනාරත්න

    ජනවාරි 16, 2017

    පාසල් අධ්‍යාපනය සමඟ දහම් අධ්‍යාපනය ලැබීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රයට දරුවන් යොමු කිරිම ඉතා වැදගත් බවත් නොමැති නම් දරුවන් යන්ත්‍ර සුත්‍ර ලෙස ජීවත් වන බවත් ඉන් කෘත්‍රීම උගතුන් බිහි වන බවත් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    කළුතර, කිතුලාවල මිහිකතවත්ත ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ශ්‍රී සෝභිත දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) පැවැත්වුණු අතර ඊට සහභාගීවෙමින් අමාත්‍යවරයා මේ අඳහස පළ කළේ ය.

     

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

    "පාසල් අධ්‍යාපනයත් සමඟ දහම් අධ්‍යාපනය ලැබීම සහ ක්‍රීඩා ක්ෂේත්‍රය සදහා දරුවන් යොමු කිරිම ඉතා වැදගත්, නැතිනම් දරුවන් යන්ත්‍ර සුත්‍ර වගේ ජීවත් වෙනවා. කෘත්‍රීම උගතුන් බිහි වෙනවා. රට ගැන, ජාතිය ගැන, දෙමාපියන් ගැන ඔවුන් කිසිවක් දන්නේ නැහැ. එම නිසා තමයි දහම් අධ්‍යාපනය වැදගත් වන්නේ. බෞද්ධ දර්ශනය මුළු ලෝකයම අද පිළිගන්නවා. එය විඥානවාදී දර්ශනයක්.

     

    විද්‍යාත්මක දර්ශනයක්. නිර්මල බෞද්ධ දර්ශනය ඉතාමත් නිවැරදියි. අපි යථාර්තය ඉගෙන ගත යුතුයි. කැපවීම ඉතා වැදගත්. බෞද්ධ දර්ශනයේ මූලික හරය එයයි. ශ්‍රී ලංකාව සංවර්ධනය කිරිමට නොහැකි වී ඇත්තේ ආත්ම ශක්තියෙන් නැගී සිටින දර්ශනයක් ඉදිරිපත් කිරීමට නායකත්වයක් නොමැති වීම නිසයි.   ව්‍යාපාරයක් සාර්ථක කර ගන්නා අයුරුත් බුදුරජාණන්වහන්සේ දේශනා කර තිඛෙනවා. විදේශීය ජාතිකයින් අද විහාරස්ථාන කරා පැමිණෙන්නේ භාවනා කිරීම සඳහායි. ශ්‍රී ලංකාවේ විහාරස්ථානවලට වඩා විදේශීය රටවල පිහිටි බෞද්ධ විහාරස්ථාන එම භාවනා වැඩසටහන් පස්වරුවේ සිදු කරනවා.

     

    අපට වැළදෙන රෝග වලින් සියයට 50 ක් බුදු දහමට අනුව මනස දියුණු කර ගනිමින් තුරන් කළ හැකියි. බෞද්ධයන් නිර්මල බුදු දහම හැදෑරිය යුතුයි. දැඩි උනන්දුවකින් එය සිදු කළ යුතුයි. ථෙරවාදී බුදු දහම ස්ථාපිත රටවලින් බෞද්ධ ධර්ම ධූත සේවාව සිදු කළ හැකි භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. අනාගතයේ දී ශ්‍රී ලාංකිකයින්ට ලෝකයට දායාද කළ හැකි වැදගත්ම දෙය බුදු දහමයි. ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලාට විදේශීය භාෂා පුහුණුවක් ලබා දිය යුතුයි.

     

    ගම්බද විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා විශාල සේවාවක් ඉටු කරනවා. එම විහාරස්ථානවල පවතින පවතින ප්‍රායෝගික ප්‍රශ්න විසදිය යුතුයි. එම විහාරස්ථානවල ගොඩනැගිලි ඉදිකර දීම රජයේ වගකීමක්. වර්තමානයේ අධ්‍යාපනයත් මුදලට ගොදුරු වී තිඛෙනවා. පෞද්ගලික පන්ති ඊට එක් හේතුවක්. පෞද්ගලික පන්ති සදහා පොස්ටර්, රූපවාහිනි දැන්වීම් අද වැඩි වෙලා. අධ්‍යාපනය ලබාදෙන ගුරුවරු නළු නිළියෝ වගේ වෙළෙද දැන්වීම්වල පෙනී සිටිනවා. හැබැයි දහම් අධ්‍යාපනය ලබාදෙන ගුරුවරුන් කිසිදු මුදලක් අය නොකර සිදු කරන සේවාව අපි අගය කළ යුතුයි යැයි ද අමාත්‍යවරයා  ප්‍රකාශ කළේ ය.


    මෙම අවස්ථාවට විහාරාධිපති, පුජ්‍ය තිනියාවල උපරතන හිමි සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය සුමිත් ලාල් මෙන්ඩිස් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya