අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලොව රාජ්‍ය නායකයන්ගේ අවධානය දිනාගත් දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමට හැකි වුණා - ජනපති

    ජනවාරි 26, 2015
    ලොව සියලු රාජ්‍ය නායකයන්ගේ අවධානය දිනාගත් නව දේශපාලන සංස්කෘතියක් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳ පුලතිසිපුර ජනතාව ප්‍රමුඛ සමස්ත රටවාසී ජනතාවටම තම ගෞරවයත්, ස්තූතියත් පුද කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    සියලු පක්ෂ පාට, ජාති, ආගම් භේද පසෙකලා සියලුදෙනා මේ නිර්මාණය කර දී ඇත්තේ පුංචි මිනිසුන්ගේ ආණ්ඩුවක් බව පැවසූ ජනාධිපතිතුමා ගමන අසීරු වුවත් සියලු ජනතාවගේ යහපත වෙනුවෙන් රට ජයග්‍රහණය කරා මෙහෙයවන බව ද අවධාරණය කළේය.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (25) පස්වරුවේ හිඟුරක්ගොඩ ඩඩ්ලි සේනානායක ක්‍රීඩාංගණයේ දී පුලතිසිපුර ජනතාව අමතමිනි.
     
    ලබන 29දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතුරු අය-වැය තුළින් මෙතෙක් කිසිදු රජයක් ජනතාවට ලබා නොදුන් සහන රැසක් ජනතාවට ලබා දෙමින් අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කර රටත්, ජනතාවත් දුගී භාවයෙන් මුදා ගැනීමේ වැඩපිළිවෙළ අරඹන බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    මේ රටේ ජනතාව දුගී භාවයෙන් මුදා ගනිමින් ප්‍රචණ්ඩත්වය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ගොඩනගමින් ජනතාව අපේක්ෂා කළ වෙනස රට තුළ ඇති කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
     
    කවුරුන් කෙසේ කීව ද කෘෂිකාර්මික රටක් ලෙස මේ රට දියුණු කිරීමට ඇති එකම මාර්ගය ගොවි ජනතාවගේ ආර්ථීකය ශක්තිමත් කිරීම බව ද පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ද කිසිඳු රජයක් ඉටු නො කළ වැඩකොටසක් ඉදිරියේ දී ඉටුකරන බව කියා සිටියේය.
     
    රටක් දියුණුවීම යනු පාරවල්, ගොඩනැගිලි ඉදිකිරීම පමණක් නොව ජනතාවගේ අධ්‍යාත්මය ද ගොඩනැඟීම බව පෙන්වා දුන් අතර වෛරය, ක්‍රෝධය බැහැර කර, එකිනෙකාට ගරු කරන සමාජයක් රට තුළ ගොඩනගන බවද ප්‍රකාශ කළේය.
     
    ජනතාවගේ ප්‍රාර්ථනා ඉටු කීරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළේ දී දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව සියලුදෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බවද ජනාධිපතිතුමා පැවසීය.
     
    ඉතිහාසයේ කිසිඳු මැතිවරණයක දී කිසිඳු අපේක්ෂකයෙකුට එල්ල නොවූ නින්දා අපහාසවලට මුහුණදීමට පසුගිය ජනාධිපතිවරණයේ දී තමාට සිදුවූ බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා එහිදී තමාට එරෙහිව කටයුතු කළ දේශපාලඥයන්ගේ සිට ගමේ අවසාන සමාජිකයා දක්වා සියලු දෙනාට රට පෙරට යන ගමනට එක්වන ලෙස තමා සහෝදරත්වයේ දෑත් දිගු කරන බවද පැවසීය.
     
     
    මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රාජිත සේනාරත්න යන මහත්වරුන් ද, උතුරුමැද පළාත් අමාත්‍ය පේෂල ජයරත්න මහතා ඇතුළු උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya