අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ කසල බැහැර කිරීමේ විධිමත් නිසි ක්‍රමවේදයකට එළැඹිය යුතුයි- ජනපති

    මාර්තු 10, 2017

    කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ බැහැර කිරීම් විධිමත් කිරීම සඳහා අදාළ සියලු ආයතන එක්ව නිසි ක‍්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

    කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ප‍්‍රධාන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම කසළ කළමනාකරණය දුර්වලවීමට ප‍්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී එක් එක් ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

    කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

    කොළඹ නගරයේ කසළ කළමනාකරණය මෙන්ම අලංකරණ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර විහාරමහාදේවි උද්‍යානය, බේරේ වැව අවට පරිසර කලාපය ඇතුළු ස්ථාන කිහිපයක සිදුකළ යුතුව තිබෙන අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද කඩිනම් පියවර ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    අවිධිමත් ලෙස කුණු බැහැර කිරීම් වැටලීම් විධිමත් කිරීමට ද මෙහිදී පරිසර පොලිස් ඒකකය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා අවිධිමත් ලෙස කසළ බැහැර කරන ආයතන මාධ්‍ය මගින් පෙන්වා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කළේය.

    කසළ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව මහල් නිවාස, වතු නිවාස සහ අඩුකුලී නිවාසවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල ඇවිදීමේ මංතීරු නඩත්තුව සහ ඒවායේ සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

    කසළ කළමණාකරණයේදී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරුණු අතර කසළ එක් රැස් කිරීමේ රථ ප‍්‍රමාණවත් නොවීම සහ සේවක හිඟය පිළිබඳව ද එහිදී අවධානය යොමුකෙරිණි.

    මහා නගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, පලාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවප‍්‍රිය, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා යන මහත්වරුන් ද පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ රාජ්‍ය නිළධාරින් සාකච්ඡාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya