මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රේෂ්ඨ රටක් හා ජාතියක් ගොඩනැගීමේ වගකීම හා යුතුකම අප සියලු දෙනා වෙත පැවරී තිබෙනවා - ජනපති

    මාර්තු 01, 2017

    ලාංකීය ජනතාවගේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණ තුළ මහා සංඝරත්නයේ අවවාද අනුශාසන මත ආර්ථික සමාජීය සමෘද්ධිය ඇති කරගනිමින් ලෝකයේ අනෙකුත් රටවලට නොදෙවැනි ලෙස ශ්‍රේෂ්ඨ රටක් ලෙස ජාතියක් ලෙස ගොඩනැගීමේ වගකීම හා යුතුකම ඔබ අප හැමදෙනා වෙත පැවරී තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.

    දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන්, මේ රටේ විද්වතුන්, විශේෂඥයින්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීනයන් බහුශ්‍රතයන්, රටේ සාමාන්‍ය පොදු ජනතාව, රාජ්‍ය නොවන විශේෂයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍ර ඒ සෑම කෙනෙකුමට පාසල් දරුවාගේ පටන් ඒ යුතුකම හා වගකීම ඉටු කිරීම අද දවසේ හෙට වෙනුවෙන් පැවරී ඇති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    ඌව වෙල්ලස්ස අරගලයේ විරුවන් දේශප්‍රේමීන් ලෙස ප්‍රකාශයට කිරීමේ  මහෝත්සවය අද (01) මහනුවර මඟුල් මඩුවේ දී පැවති අතර එහිදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

    අද ඔබ අප සියලු දෙනාට මේ රට ලක් වැසි ජනතාවට සිංහල බෞද්ධ ජනතාවට ඉතා වැදගත් ඓතිතාහසික දිනයක්. 1818 දී ඉංග්‍රීසි පාලකයින්ගේ ක්‍රියාව මීට පෙර නිවැරදි කළ යුතු කාර්යක් ප්‍රමාද වී හෝ සිදු කිරීම පසුගිය නොවැම්බර් මාසයේ සිදු කිරීමට හැකි වීම පිළිබඳව ඉමහත් සතුටට පත් වන අවස්ථාවක් මෙන්ම මේ රටේ සෑම කෙනෙක්ම ඉමහත් සතුටට පත් වන අවස්ථාවටක්. අපට වසර දහස් ගණන ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙනවා. මීට වසර පන්දහකට පෙර මේ රටේ කර්මාන්ත හා යකඩ තිබූ බව අපේ ඉතිහාසඥයින් සොයා ගෙන තිබෙනවා. එදා මෙදා කාලය තුළ අපේ ශ්‍රී ලාංකියයා මානව වර්ගයා මේ ඉතිහාස ගමන් මග තුළ විශිෂ්ට වූ ජයග්‍රහණ ලබා තිබෙන වගේම ඇතැම් අවස්ථාවල යම් යම් තාවකාලික පසුබැසීම්වලට ලක් වී තිබෙන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    1505 සිට 1948 දක්වා කාලය තුළ මේ රට වෙනුවෙන් මේ රටේ දේශප්‍රේමී ජනතාව ගෙන ගිය නිදහස් අරගල තුළ දිවි පිදූවන්ගේ ගණන මෙතැකැයි කිව නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිතුමා මේ රට ජාතිය වෙනුවෙන් බ්‍රිතාන්‍ය පාලකයන්ට විරුද්ධව අභිමාණවත් සිංහ හඩක් නැගූ ගෞරවනීය වන්දනීය වාරියපොළ ශ්‍රී සුමංගල හිමිපාණන්ගේ දිනය හෙට අප සිහිපත් කළ යුතු බව ද පැවසීය.

    නිදහස් ස්වාධීන රටක් ලෙස යටත් විජිතවාදයට විරුද්ධව වගේම විදේශ ආක්‍රමණවලට විරුද්ධව මේ රටේ ඉතිහාසය පුරා මේ රටේ ජනතාව ගෙන ගිය සිය නිදහස් දේශප්‍රේමී අරගල තුළ දිවි පිදීමෙන්පමණක් නොව සිය දේපොළ වත්කම් සියල්ල විනාශ කර ගනිමින් ඉතිහාසයේ කරන ලද පරිත්‍යාග අප විසින් කිසිවිටෙක අමතක නොකළ යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මෑත භාගයේ 1980 දශකයේ මුල් භාගයේ සිට 2009 දක්වා මේ රටේ පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදී යුද්ධය මේ රට දෙකඩ කිරීමට, ඊළාම් රාජ්‍යක් හදන්න, මේ භූමිය වෙන් කරන්න, ස්වාධීනත්වය අත්හිටුවන්න, අපගේ භෞමික අඛණ්ඩතාවය අභියෝග කරන්න, මිලේච්ඡ ත්‍රස්තවාදීන් ගෙන ගිය මිලේච්ඡ සටන පරාජය කර අපේ රට නිදහස් සාමකාමී රටක් කරන්නට ඒ වසර 30ක ආසන්න කාලයක කුරිරු යුද්ධයට මුහුණ දුන්න ජීවිත පරිත්‍යාග කළ අතපය අහිමි වූ තම දරු පවුල් නැති කර ගනිමින් යුද නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක රණවිරුවන් මෙන්ම එල්ටීටීඊ ප්‍රහාර හේතුවෙන් පීඩාවට පත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ජාතියේ ගෞරවය අභිමානය පුද කළ යුතු බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    අහෝසි කර තිබෙන උඩරට ගැමි පුනරුත්ථාපන කොමිෂම නැවත ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බවත් එම කොමිෂමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රී දළදා මාළිගාවට අයත් ඉඩම්වල තිබෙන ආරවුල් තත්ත්වයන් නිරවුල් කිරීමට ද කඩිනමින් පියවර ගන්නා බවත් මහනුවර ඓතිහාසික හා සංස්කෘතික වැදගත් පසුබිමක් ඇති කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.

    වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ පිළිරුවට සහ වීර කැප්පෙටිපොළ විරුවන්ගේ ස්මාර්කයට පුෂ්පෝපහාර දැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

    මහා සංඝරත්නය, පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා, බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා, අමාත්‍යවරුන්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය, මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා,  දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සිවු දේවාල බස්නායක නිලමේවරුන්, දිසාපතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක්, අද දින දේශප්‍රේම විරුවන් ලෙස නම් කෙරුණු පවුල්වල ඥාතීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya