අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාරි ව්‍යාපෘති කඩිනම් කර ගොවි ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ යුතුයි - ජනපති

    පෙබරවාරි 17, 2017

    එදා කඩිනම් මහවැලි මහ සැලැස්ම ආරම්භ වූයේ දැවැන්ත වාරි ව්‍යාපෘති එකවර කි‍්‍රයාත්මක කිරීමට බවත් වත්මන් රජය විසින් ද කි‍්‍රයාත්මක කර ඇති වාරි ව්‍යාපෘති කඩිනම් කර ගොවි ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීමට කටයුතු කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප‍්‍රකාශ කළේය.

    ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (16) මහවැලි අධිකාරි ශ‍්‍රවණාගාරයේ පැවති මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

    ශී‍්‍ර ලංකා මහවැලි අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ඇතුළු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ප‍්‍රධානින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී එම ආයතනවල 2016 ප‍්‍රාග්ධන වියදම්වලට අදාළ ප‍්‍රගතිය මෙන්ම 2017 සංවර්ධන සැලසුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

    මොරගහකන්ද, කළුගඟ, පහළ නිම්න සංවර්ධනය, උමා ඔය, වේලි ආරක්ෂණ ව්‍යාපෘති යන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ දැනට කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර අදාළ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට නැංවීමේදී සියලු ආයතන එක්ව රජයේ වැඩසටහනක් ලෙස සාමූහික වගකීමකින් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් කටයුතුවලින් සියයට හැත්තෑ හයක් පමණ මේ වන විට අවසන්ව ඇති බවත් උමා ඔය ඉදිකිරීම්වල ද සියයට හැත්තෑවක් පමණ අවසන් කර ඇති අතර වයඹ ඇළ සංවර්ධන ව්‍යාපෘතියේ පරිසර ගැටලු නිරාකරණය කිරීම කඩිනමන් අවසන් කරන බව ද නිලධාරින් පෙන්වා දුන්හ.

    මහවැලි කලාපය මුල්කර ගනිමින් කුඩා වැව් 300 ක් ප‍්‍රතිසංස්කරණ කිරීම ඉදිරියේදී ආරම්භ කෙරෙන අතර ප‍්‍රාදේශීය වැව් සංවර්ධනයේ දී ගමේ ගොවි සංවිධාන දැනුවත් කරමින් ඔවුන්ද දායක කර ගැනීමේ වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. මෙම සියලු සංවර්ධන කටයුතු විධිමත් භාවයෙන් සහ විනිවිද භාවයෙන් යුතුව සිදුවීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ පවතින සියලු සංචාරක බංගලාවල පහසුකම් ඉහළ නංවමින් ඒවා නවීකරණය කිරීමේ කටයුතු කඩිනම් කර තිබෙන අතර මෙම මැයි මාසය වන විට ඕනෑම අයෙකුට අන්තර්ජාලය ඔස්සේ එම සංචාරක බංගලා වෙන් කරවාගත හැකි වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කෙරෙන බව ද මෙහිදී සඳහන් කෙරිණි.

    2017 වසර සඳහා අමාත්‍යාංශය වෙත වෙන් කර තිබෙන සියලු මුදල් විධිමත් අයුරින් අදාළ ව්‍යාපෘති සඳහා යෙදවීමට නිලධාරීන් කටයුතු කළ යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. මහවැලි අධිකාරිය යටතේ මහවැලි කලාපවල ඉඩම් ඔප්පු 60,000 ක් ඉදිරි මාස කිහිපය තුළ ලබාදීමට නියමිත අතර එම කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

    මෙරට වන සම්පත ආරක්ෂා කර ගනිමින් වන ඝනත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ යටතේ කි‍්‍රයාත්මක කිරීමට නියමිත පැළ සිටුවීමේ වැඩසටහන ලබන මාර්තු, අපේ‍්‍රල් වැසි සමය සමග ආරම්භ කිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා සෑම මහවැලි කලාපයකම පවතින පැළ තවාන වැඩිදියුණු කරමින් පවත්වාගෙන යාමට ද උපදෙස් දුන්නේය.

    නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මීට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya