අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභාවප්‍රාප්ත සුනිල් දයානන්ද කෝනාරයන් වෙනුවෙන් අගමැති සොව පළ කරයි

    දෙසැම්බර් 08, 2016

    ප්‍රවීණ සංගීතවේදී, ගේය පද රචක, සංගීත ආචාර්ය සුනිල් දයානන්ද කෝනාර මහතා ජීවිතයෙන් සමුගන්නේ සංගීත ක්ෂේත්‍රයට අගනා නිර්මාණ රැසක් මෙන්ම දක්ෂ නිර්මාණකරුවන් රැසක් ද, දැන උගත් ශිෂ්‍ය පරපුරක්ද දායාද කරමින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඒ මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එම සම්පූර්ණ පණිවුඩය පහත සඳහන් වේ.

     

    "ප්‍රවීණ සංගීතවේදී, ගේය පද රචක, සංගීත ආචාර්ය සුනිල් දයානන්ද කෝනාර මහතා ජීවිතයෙන් සමුගන්නේ සංගීත ක්ෂේත්‍රයට අගනා නිර්මාණ රැසක් මෙන්ම දක්ෂ නිර්මාණකරුවන් රැසක් ද, දැන උගත් ශිෂ්‍ය පරපුරක්ද දායාද කරමිනි.

     

    තනු නිර්මාණයට මෙන්ම ගේය පද රචනයටත් එක සේ දස්කම් පෑ සංගීතවේදීන් අතිශය දුර්ලභ ය. සුනිල් දයානන්ද කෝනාරයන් එම සුදුර්ලභ ප්‍රතිභාව මැනවින් විදහා පෑ කලාකරුවෙකි. ඔහු විසින් රචිත ගේය පද මානව හිතවාදී ගුණයෙන් පිරිපුන් හෘදයාංගම ගී නිර්මාණ වූ අතර, ඔහු විසින් නිමැවූ ස්වර රචනා ගීතයන්හි භාවමය ගුණ වැඩිදියුණු කරමින් රසික හදවත් තුළ ලැගුම් ගන්නට සමත් විය.


     
    වෘත්තීයෙන් සංගීත ගුරුවරයකු වූ ඒ මහතා දීර්ඝ කාලයක් ගිරිඋල්ල වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලයේ සංගීතාචාර්ය ලෙස කටයුතු කර විශ්‍රාම ලබා ඇති අතර තමන්ගෙන් ශිල්ප ලැබූ සිසු දරු දැරියන්ට පමණක් නොව තමන් වෙත පැමිණි අනෙකුත් අංකුර නිර්මාණ කරුවන්ටත් ධෛර්යය දුන්, අවශ්‍ය උපදෙස්, දැනුම, පුහුණුව ලබා දුන් පරමාදර්ශී ගුරුවරයකු ලෙස ගෞරවාදරයට පාත්‍ර වේ.

     

    සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් පවා පිදුම් ලැබූ මෙම ප්‍රවීණ සංගීතවේදීයා අප අතරින් සමුගැනීම ලාංකේය කලා ක්ෂේත්‍රයට පිරිමැසිය නොහෙන අඩුවක් වන බව නිසැක ය.

     

    ඔහු ගේ වියෝ වීමෙන් වේදනාවට පත් පවුලේ සැමට,  ඥාති හිත මිත්‍රාදීන්ට මාගේත් මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේත් බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, සුනිල් දයානන්ද කෝනාර ප්‍රවීණ සංගීතවේදියාණන්ට අමා මහ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමි."

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya